Ravi Teja නැවතත් වැඩ අරඹයි – RT69

Avatar Kavinu Weerakkody | December 26, 2021 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

කාලයක පටන් තමන්ගේ සිනමා ජීවිතයේ යම් අසාර්ථකත්වයක් ලබමින් හිටපු දකුණු ඉන්දීය රංගන ශිල්පී Ravi Tejaගේ වාසනාව වෙනස් කරපු සිනමාපටය තමයි Krack කියන්නේ. පසුගිය වසරේදී තිරගත වීම ඇරඹුණු Krack අධ්‍යක්ෂණය කළේ Gopichand Malineni නැමැති අධ්‍යක්ෂකවරයා විසිනුයි. ගෝලීය ව්‍යසනයක් වූ කෝවිඩ් වසංගත මධ්‍යයේ තිරගත වීම ඇරඹුණත්, කවුරුවත් නොහිතපු විදිහට දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් නැවතත් සිනමාහලට රැගෙන එන්නට Krack චිත්‍රපටයට හැකියාව ලැබුනා. ප්‍රාන්තීය සිනමාශාලා පිරී ඉතිරෙන රසික-ජනප්‍රියත්වයක් ඊට ලැබෙන්නට ප්‍රධානම හේතුව වුනේ Krack චිත්‍රපටය පුරාම දක්නට ලැබෙන දැවැන්ත මාසාලා output එක බවයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. කොහොම නමුත්, කෝවිඩ් වසංගතය නිසා අතරමඟ නැවතුණු තෙළිඟු සිනමාව යළිත් නැවුම් ආරම්භයක් ගත්තේ Ravi Tejaගේ මෙම චිත්‍රපටයත් සමඟ බව සිනමාලෝලී සැවොම දන්නා කරුණක්. අවසානයේදී ඉන්දීය කෝටි 60කටත් අධික බොක්ස්-ඔෆිස් ආදායමක් සමගින් තෙළෙඟු නළු Ravi Tejaගේ සිනමා ජීවිතයේ මෑතකාලීන සංදිස්ථානය බවට පත් වූයේත් Krack සිනමාපටයයි.

එහි සාර්ථකත්වය නිසාම යම් කාලයක් තිස්සේ සාර්ථක ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට නොහැකි වුණු Ravi Teja, අද යළිත් විශාල ප්‍රේක්ෂකාගාරයක් තමන් දිහාවට හරවගන්න සමත් වෙලා තියෙනවා. අද වන විට ඔහු නැවතත් තෙළෙඟු සිනමාවේ කාර්යබහුල රංගන ශිල්පියෙක්. මේ අතරතුර Ravi Tejaගේ 69වන චිත්‍රපටයෙ හි නිෂ්පාදන කටයුතුත් ආරම්භ වී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය අවකාශයේ විස්තර පළ වුනා. Trinadha Rao Nakkinaගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙම සිනමාපටය People Media Factory නිෂ්පාදනයක්. Nenu Local, Cinema Choopistha Mava වැනි ප්‍රසිද්ධ තෙළෙඟු සිනමාපට ඔබට හුරුපුරුදු නම් Trinadha Rao Nakkina කියන්නේ කවුරුන්ද යන්න අමුතුවෙන් හඳුන්වා දෙන්නට දෙයක් නැහැ. මෑතකාලීන තෙළෙඟු romantic සිනමාපට අතුරින් බොහෝ දෙනෙක්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබපු Hello Guru Prema Kosame කියන්නෙත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. අන්තර්ජාලයේ සඳහන් වන ආකාරයට ඔක්තෝබර් 04 වෙනිදා මෙහි පළමු අදියරේ රූපගත කිරීම් ඇරඹිලා තිබෙනවා.

”The action begins #RT69.”

යනුවෙන් තමන්ගේ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් Ravi Teja ඒ බව තහවුරු කළේ ඔක්තෝබර් මුල් සතියේ ගාන්ධි ජයන්තියේදීයි. කොහොම නමුත් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා රංගන ශිල්පිනියක තවමත් තෝරාගෙන නැහැ. ඇතැම් තෙළිඟු ගොසිප් අඩවි තුළ Nidhi Agarwalගේ නම මීට ඈඳී තිබුණට නිෂ්පාදකයින්ගෙන් හෝ ඇයගෙන් තවමත් මේ ගැන නිල තහවුරුකිරීමක් සිදු වෙලත් නැහැ.

“Dhamaka” යනුවෙන් title කර තිබෙන මේ චිත්‍රපටය People Media Factory බැනරය වෙනුවෙන් TG Vishwa Prasad, Vivek Kuchibhotla සහ Abhishek Agarwalගේ සම නිෂ්පාදනයක්. පසුගිය ‘දුසේරා’ උත්සවයට සමගාමීව රංගන ශිල්පී Ravi Tejaගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා Dhamaka හි පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් අන්තර්ජාලයට නිකුත් කළා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ Bheems Ceciroleo විසිනුයි. 2015 වසරේ වැඩිම ආදායමක් ලබාගත් තෙළෙඟු සිනමාපටයක් වන Ravi Tejaගේම Bengal Tiger හි සංගීත අධ්‍යක්ෂණය සිදු කළෙත් Bheems Ceciroleoයි. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් Karthik Gattamneni එක් වන අතර කලා අධ්‍යක්ෂණය Sri Nagendraගෙනි. මොවුන් දෙදෙනාම රවි තේජාගේ Disco Raja (2020) චිත්‍රපටයේ කාර්මික ශිල්පීන් වශයෙනුත් එක් වුනා. මෙහි අනෙකුත් තාක්ෂණික ශිල්පීන් පිරිස තවමත් අණාවරණය වී නැතත් ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිපදෙනෙක්ම සම්බන්ධ වීමට නියමිත බවටයි ඉඟි පළ වෙන්නේ. මාධ්‍ය වාර්තා කරන අන්දමට 2022 වසරේ අග භාගයේදී සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරින්නත් නිෂ්පාදකයින් සූදානම්ලු.

Ravi Teja තමන්ගේ Ramarao on Duty සිනමාපටයේ රූපගත කිරීම්වල කාර්යබහුලව සිටි නිසා මෙම නිර්මාණයේ වැඩ කටයුතුත් යම් දුරකට ප්‍රමාද වුනා. ඒ මධ්‍යයේ වුණත් නිෂ්පාදකයින්ගේ සැලසුම ලබන වසර මුල භාගයේදී මෙහි රූපගත කිරීම් අවසන් කරන්නලු. අතිසාර්ථක Kick චිත්‍රපටයට පසු Ravi Tejaගේ ඊළඟ සිනමාපටය වන Khiladi තිරගත කරන්නට මුලින් සැලසුම් කර තිබුණේ මැයි 28දා වුණත්, කෝවිඩ් වසංගතය නිසා ලබන වසර මුල දක්වා එය කල් ගියා. දැනට තහවුරු කර තිබෙන ආකාරයට ඔහුගේ අලුත් සිනමා නිර්මාණ ද්විත්වයක්ම ලබන වසරේ මුල භාගයේදී සිනමාශාලා ප්‍රදර්ශනයට නිකුත් වනවා.

Khiladi – 2022 Feb 11
Rama Rao On Duty – 2022 March 25

Share

53 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.