Robert Pattinsonගේ නවතම චිත්‍රපටය කුමක් වෙයිද?

Avatar Kavinu Weerakkody | January 29, 2022 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

92වන ඇකඩමි සම්මාන උළෙලෙන් පසු ලෝ පුරා කතාබහට ලක් වූ Parasite කොරියානු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, Bon Joon – Hoගේ නවතම වෘතාන්ත සිනමාපටය පිළිබඳ විස්තර මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා. දකුණු කොරියානු ජාතිකයෙකු වන Bon Joon – Ho විසින් 2019 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ Parasite චිත්‍රපටය ලෝ පුරා රසික ආකර්ෂණය දිනා ගත්තේ කිසිවෙකුත් නොසිතූ ආකාරයට… Academy සම්මාන ඇතුළු ප්‍රධාන ධාරාවේ සම්මාන උත්සවයන් රාශියකදී ජයග්‍රහණ රැසක් ලබා ගන්නට සමත් වූ මෙම කොරියානු චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලකදී “Best Picture” සඳහා වන සම්මානය දිනා ගත් පළමු non-english නිර්මාණය ද වනවා.

කොරියානු සිනමාව යළිත් අලුත් කළ Bon Joon – Ho ගැන ලොව පුරා රසිකයින් තවමත් කතාබහ කරනවා. ඔහුගේ පෙර නිර්මාණ ගැන පවා නැවතත් විමසා බලමින් සිනමා – සංවාද පවා සිදු කරනවා. වර්තමාන ලෝක සිනමාවේ කොරියානු බලපෑම ගැන පවා පසුගිය දිනවල යළි කතාබහක් මතු වුණේ Bon Joon – Ho නිසාවෙනුයි.

සිනමා ඉතිහාසයම වෙනස් කරමින් මෙවැනි පෙරළියක් ඇති කළ Bon Joon – Ho අධ්‍යක්ෂණය කරන්නට යන නවතම චිත්‍රපටය පිළිබඳ මාධ්‍යයට තොරතුරු අණාවරණය වන්නේ මෙවැනි පසුබිමකදීයි. The Hollywood Reporter, Variety වැනි ලෝකයේ මුල් පෙළේ සිනමා ආයතනවල ප්‍රධාන සිරස්තලය බවට මේ ආරංචිය පත් වුණේ මෙවැනි හේතූන් නිසාවෙන්ම යි.

දැනට ලැබෙන පුවත් අනුව Bon Joon – Ho අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා හොලිවුඩ් රංගන ශිල්පී Robert Pattinson සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. කිසිදු රංගන ශිල්පියෙකුට පහසුවෙන් ලබා ගත නොහැකි Batmanගේ චරිතය නිරූපණය කරන්නට තරම් වාසනාවන්ත වූ ඔහු වර්තමාන හොලිවුඩයේ දක්ෂතම චරිතාංග නලුවෙක්. මෙම වසරේදී නිකුත් වීමට නියමිත The Batman සිනමාපටය නිසාවෙන් Robert Pattinson තමන්ගේ ජනප්‍රියත්වයේ උපරිම තැනකට අද ළඟා වී සිටිනවා.

Vanity Fair (2004) හරහා රංගනයට පිවිසි Robert Pattinson හොලිවුඩයේ iconic ප්‍රේමවන්තයෙකු බවට පත් වුණේ Twilight චිත්‍රපට මාලාවත් සමඟයි. මුල්කාලීනව එකම ශානරයේ පෙම්වතාගේ චරිතවලට කොටුවී සිටියත්, තමන්ගේ සිනමා භාවිතය සෙමෙන් සෙමෙන් වෙනස් කරගන්නට Robert සමත් වුනා. The Rover, The Lighthouse, High Life, The King වැනි චිත්‍රපට හරහා Robert Pattinson නැමැති දක්ෂ චරිතාංග නලුවා මතු වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

ලෝකයේ විශිෂ්ටතම සිනමාකරුවෙකු වශයෙන් හැඳින්වෙන Christopher Nolan අධ්‍යක්ෂණය කළ Tenet සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නටත් ඔහු පසුකාලීනව සමත් වුනා.

හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට Bon Joon – Ho සහ Robert Pattinson සුසංයෝගයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ Mickey7 නැමැති ප්‍රබන්ධ කතාවයි. Edward Ashton විසින් රචනා කර තිබෙන Mickey7 නවකතාව විද්‍යා – ප්‍රබන්ධ ගණයට අයත් වන කෘතියක්. නමුත් මේ කෘතිය තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ. 2022 මුල භාගයේදී එය නිකුත් කරන්නට ග්‍රන්ථයේ කතුවරයා සැලසුම් කර තිබෙන බව පැවසුවත් කිසිදු පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු වෙලත් නැහැ. ඒ නිසාම, Mickey7 කතා සාරංශය ගැන තහවුරු කරගත් තොරතුරු තිබෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයකුයි. කෙසේ වුවත් මෙය, Nifheim නැමැති ලෝකයකට පිටත් කර හරින මනුෂ්‍ය සේවකයෙකු වටා ගෙතෙන්නක් බවයි දැනගන්නට ලැබෙන්නේ. Mickey7 නවකතාව ඇසුරෙන් නිර්මාණය වන මේ සිනමාපටයට පාදක වෙන්නේ කිසිවෙකුගේ සම්බන්ධතාවයකින් තොරව ඔහු ඉන් මිදී පැනගන්නට දරන උත්සාහය බවත් පැවසෙනවා.

2019 වසරේදී Parasite චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ Bon Joon – Ho අධ්‍යක්ෂකවරයෙක්ට අමතරව නිෂ්පාදකයෙකු සහ තිර පිටපත් රචකයෙකුද වනවා. Baeksaekin, Memories in My Frame, Incoherence වැනි කෙටි චිත්‍රපට නිපදවමින් සිනමාකරණයට පිවිසි ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන්නේ Barking Dogs Never Bite (2010) යි. ඉන්පසුව Memories of Murder, The Host, Mother වැනි දකුණු කොරියානු නිර්මාණ කිහිපයක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. Chris Evans ප්‍රධාන චරිතය රඟපෑ Snowpiercer (2013) චිත්‍රපටය ඔහුගේ සිනමා ජීවිතයේ ප්‍රධානම සංදිස්ථානයක්. නමුත් ඒ නිර්මාණ සියල්ලම අභිබවමින් Parasite (2019) තුළින් ගෝලීය අවධානයක් දිනාගත් නිර්මාණකරුවෙකු බවට පත් වෙන්නට Bon Joon – Hoට හැකියාව ලැබුනා.

හොඳම විදෙස් චිත්‍රපටයට හිමි Golden Globe සම්මානය දිනාගත් Parasite චිත්‍රපටය 92වන ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධානම සම්මාන හතරක් දිනාගත්තේ කොරියානු සිනමාව දෙසට මුලු ලෝකයේම අවධානය යොමු කරවමින්… එවර අවසන් නිරේදේශවීම් ලැයිස්තුවෙන් Parasite වෙත හිමි වූ nominations ප්‍රමාණය 06ක්!

Best Picture
Best Director
Best Original Screenplay
Best International Feature Film

Warner Bros. ආයතනය තුළින් නිර්මාණය වන Bon Joon – Hoගේ මෙම නවතම චිත්‍රපටයට තවමත් නිශ්චිත නමක් යෝජනා වී නැහැ. Warner Bros කියන්නේ සිනමා ලෝකයේ දැවැන්තම sci – fi චිත්‍රපට නිෂ්පාදනය කළ ඉහළම තාක්ෂණය පිරි පැරණිතම සිනමා සමාගමක්. එනිසා ඔවුන්ගේ මැදිහත්වීම නිසා මේ සිනමාපටයේ ගුණාත්මකබව තවදුරටත් වැඩි වෙන්නට හැකියාව තිබෙනවා.

Deadline වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන්නේ ද අධ්‍යක්ෂක Bong Joon – Ho විසිනි. ඔහුගේ Offscreen සිනමා නිෂ්පාදන ආයතනයට අමතරව Dooho Choiගේ Kate Street Picture Company සහ Plan B සිනමා සමාගම් ද්විත්වයත් මෙහි නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා.

Mickey7 ග්‍රන්ථය පාදක කරගත්තත් අදාළ නවකතාව හා 100%ක් සමපාත වන ආකාරයට මෙම සිනමාපටය නිර්මාණය වෙතැ යි සිතන්නටත් බැහැ. මේ මොහොතේදී අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් Bong Joon – Ho වටා ගොඩ නැඟී තිබෙන කීර්තිය සහ ජනප්‍රියත්වය මත ඔහු විසින් නවකතාවට 100% සමාන චිත්‍රපටයක් නිෂ්පාදනයට පෙළඹීම සිදු විය නොහැක්කක්. බොහෝ විට Mickey7 කතා සාරාංශය ආශ්‍රය කරගනිමින්, අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනය අනුව මුල් පිටපතට වඩා වෙනස් චිත්‍රපටයක් සිනමා රසිකයින්ට දැකගන්න අවස්ථාව ලැබේවි.

Share

79 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.