SIGNIS උත්තමාචාර 2019 – සිනමාවේ සම්මානිත විශිෂ්ටයෝ

Avatar Nisanka Weheraduwa | August 5, 2019 301 Views 0 Likes 0 Ratings

301 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

2019 සිග්නීස් සිනමා සම්මාන උළෙලේ කිරුළ වැඩිම සම්මාන සමග ‘ඝරසරප’ ට

පසුගිය 02 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණය සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටු 42 වෙනි සිග්නීස් උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී , 2018 වර්ෂය වෙනුවෙන් උළෙල නියෝජනය කල සිනමාපට 27 අතුරින් වසරේ ‘නිර්මාණශීලී හොඳම සිනමා නිර්මාණය’ ලෙසින් කිරුළ දැරීමට ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කල සහ අර්ජුන් කමලනාත් නිෂ්පාදනය කල ‘ඝරසරප’ සිනමාපටය සමත්විය. මෙහිදී සිනමාපට 08 ක් ජූරිය විසින් පිරිනැමූ සම්මාන 20කින් පිදුම් ලැබීමට සමත්වූ අතර, එහිදී වැඩිම සම්මාන ලද සිනමා සිත්තම ලෙසින් පෙරමුණ ගැනීමටද ‘ඝරසරප’ සිනමාපටය සමත්විය.

2018 වර්ෂයේ තිරගත වූ සිනමාපට අගයනු වස් පැවති තෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර, මින් පෙර පැවති දෙරණ සම්මාන උලෙළේදී කිරුළ දරමින් චන්ද්‍රන් රත්නම්ගේ ‘අකෝඩින්ග් ටු මැතිව්’ සහ ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී කිරුළ දරමින් සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ අත්පත්කරගත් සම්මාන ආධිපත්‍ය ,සිග්නීස් උළෙලේදී ‘ඝරසරප’ සිනමාපටය අභිමුව බිඳවැටීම සුවිශේෂීත්වයක් සටහන් කිරීමට සමත්විය. එසේම ‘හොඳම චිත්‍රපටය’, ‘හොඳම අධ්‍යක්ෂකවරයා’ සහ ‘හොඳම තිරරචනය’ යනාදි ලෙසින් ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී පිරිනැමූ ප්‍රමුඛතම සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබූ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ , සිග්නීස් උළෙලේදී එකී සම්මාන සදහා වූ නිර්දේශ නාමයන් අතර හෝ එක්වීමට අපොහොසත්වීම කැපීපෙනුනි. එයට අමතරව එක් එක් ජූරි මණ්ඩලය සිනමාව දකින ආකාරය එකිනෙකට වෙනස් බව යලිත් සනාථ කරමින්, දෙරණ ,ජනාධිපති හා සිග්නීස් යන ජූරි මණ්ඩල ත්‍රිත්වය හමුවේම වෙනසකට බඳුන් නොවූ සම්මාන සංඛ්‍යාව දෙකකට ( ‘හොඳම නිළිය’ – අනෝමා ජනාදරී- දැවෙන විහඟුන්/ හොඳම සහාය නිළිය- සමනලී ෆොන්සේකා-දැවෙන විහඟුන්) සීමාවීමද කැපීපෙනුනි. එසේම දශක හයක් ඉක්මවූ මෙරට සිනමා සම්මාන උළෙල ඉතිහාසයේ ‘හොඳම සහාය නළුවා’ට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ලබාලතම රංගන ශිල්පියා ලෙසින් වාර්තා පොත් අතරට එක්වීමට සිග්නීස් උළෙලේදී ළමා නළු සුදම් කටුකිතලේ සමත්වීමද සුවිශේෂීත්වයක් සටහන් කිරීමට සමත්විය.

2018 ජූරි මණ්ඩලය:-
ලාල් පුෂ්පදේව පියතුමා (සභාපති)/ එඩ්වින් ආරියදාස/ එම්.ඩී මහින්දපාල/ නීටා ප්‍රනාන්දු/ ඉන්දික ෆර්ඩිනැන්ඩු/ ජූඩ් රත්නම්/ විදර්ශන කන්නන්ගර

2018 සම්මාන විසිරීම:-
ඝරසරප – සම්මාන 07/ යශෝධරා- සම්මාන 05/ දැවෙන විහඟුන් – සම්මාන 02/ කෝමාලි කිංග්ස් (දමිළ)- සම්මාන 02/ අකෝඩින්ග් ටු මැතිව් (ඉංග්‍රීසි) – සම්මාන 01/ මධුර චාරිකා සම්මාන 01/ සරුංගල්- සම්මාන 01/ උදුම්බරා – සම්මාන 01

ජූරි සම්මාන ඛාණ්ඩය:-
oවිශිෂ්ටතා සම්මාන:
•හොඳම චිත්‍රපටය: ඝරසරප (අර්ජුන් කමලනාත් නිෂ්පාදනය)
•හොඳම අධ්‍යක්ෂකවරයා: ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප)
•හොඳම තිරරචනය: ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප)
•හොඳම නිළිය: අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)
•හොඳම නළුවා: ඇල්ස්ටන් කොච් (අකෝඩින්ග් ටු මැතිව්)
•හොඳම සහාය නිළිය: සමනලී ෆොන්සේකා (දැවෙන විහඟුන්)
•හොඳම සහාය නළුවා: සුදම් කටුකිතලේ (මධුර චාරිකා)
•හොඳම කැමරාකරණය: චන්න දේශප්‍රිය (යශෝධරා)
•හොඳම සංස්කරණය: දිලාන් ගුණවර්ධන (ඝරසරප)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය: චින්තක ජයකොඩි (ඝරසරප)
•හොඳම ශබ්ද විනයාසය: සසික රුවන් මාරසිංහ (යශෝධරා)
•හොඳම කලා අධ්‍යක්ෂණය: බිමල් දුෂ්මන්ත (යශෝධරා)
•හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග (VFX): චත්‍ර වීරමන් (යශෝධරා)
•හොඳම අංග රචනය: වසන්ත පූර්ණවංශ (කෝමාලි කිංග්ස්)
•හොඳම ගී පද රචනය: ජයන්ත චන්ද්‍රසිරි (හැම දෙයක් පෙනේ- ඝරසරප)
•හොඳම ගී තනු නිර්මාණය: චින්තක ජයකොඩි (හැම දෙයක් පෙනේ- ඝරසරප)
•හොඳම පසුබිම් ගායනය: ඉනෝකා අහංගම (නරසීහ ගාථා- යශෝධරා)

oජූරියේ විශේෂ සම්මාන:
•කින්ග් රත්නම් (‘කෝමාලි කිංග්ස්’ අධ්‍යක්ෂණය වෙනුවෙන්)

oනිර්මාණශීලී කුසලතා ඇගයීම් සහතික:
•මංජුල කුමාරතුංග (‘සරුංගල් ‘හි කැමරාකරණය වෙනුවෙන්)
•නදීශානි හෙන්ඩර්සන් (‘උදුම්බරා’ හි රංගනය වෙනුවෙන්)

විශේෂ උපහාර සම්මාන ඛාණ්ඩය:-
•සිග්නීස් සුවිශේෂී අන්තර්ජාතික උපහාර උත්තමාචාර සම්මානය: ශ්‍රියානි අමරසේන (සිනමා රංගනය වෙනුවෙන්)
සටහන – උදිත ලක්මාල් කහඳවාරච්චි

Share

301 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.