Sri Lanka's Best Cinema Portal

 


මා සමඟ සජීවි සංවාදයකට එන්න – සෝමරත්න දිසානායක

0
Posted March 7, 2013 by Cinema.lk A in Cine News
somarathne-news

චිත්‍රපටයක් මුදාහැරීමේදී, පිටපත් සීමා කර චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමා විසින් නිකුත් කළ නියෝගය පිළිබඳ විවාදය පිළිකුල් සහගත තත්ත්වයකට පෙරලෙමින් තිබීම කනගාටු දායකය.

මෙහි ඇත්තේ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ මතභේදයක් පමණි. හිතවතුන් අතරේද, පවුලේ සාමාජිකයන් අතරේද මතභේද ඇතිවිය හැක. “ 35 සීමාව සිනමාවේ පරිහානියට හේතුවේ ” යන මතය මම දරන නිසා, මම එම නියෝගයට එරෙහි වීමි. අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් නියෝගය එලෙසම ක්‍රියාත්මක හෙයින්, එයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටියෙමි. දිස්ත්‍රික් උසාවිය මඟින් එය පළමුව පිළිගෙන, පසුව වාරණය නැවත ඉවත් කරන ලදී. නමුත් මෙම තීන්දුව අධිකරණ ක්‍රියාවලියේ අවසානයද නොවේ. කෙදිනක හෝ අධිකරණය විසින් අවසන් තීන්දුවක් දුන් මොහොතක, එම තීන්දුවට එකඟ වී, ඊට සාපේක්ෂව කටයුතු කිරීමට මම සූදානමින් සිටින්නෙමි.

අවසන් තීන්දුව කුමක් වුවත්, මෙම මතභේදය නිසා, සිනමා ක්ෂේත්‍රයේ දැනට උද්ගත වී ඇති තත්ත්වය නම් ඉතා පිළිකුල් සහගතය. ඇතැම් පිරිස් විසින් මෙම ගැටුම පුද්ගලික එදිරිවාදිකමක් ලෙස සලකා පුද්ගලික අමනාපකම් ඇති කරගෙන ඇති බවත් පෙනේ. එය එසේ විය යුතු නැත.

සහෝදර සිනමාකරුවන් සියලු දෙනාටම මම කාරුණිකව කියා සිටින්නේ මෙම මත ගැටුම මෙම කාරණයට පමණක් සීමා කර, අපගේ හිතවත්කම් පළුදු නොකර ගෙන සිටිමු කියාය. ඔබ ඔබේ මතය වෙනුවෙන් පෙනී සිටින්න. මම මගේ මතය වෙනුවෙන් පෙනී සිටිමි. කෙදිනක හෝ අවසන් තීරණයක් ආපසු, අප සියලු දෙනා එයට බැඳී සිටිමු.

“ චිත්‍රපටයක් මුදාහැරීමේදී පිටපත් ගණන සීමා කිරීමෙන් දේශීය සිනමාවට සිදුවන්නේ අයහපතකි ”

“ පිටපත් 35 කට සීමා කිරීමෙන් අතිබහුතරයක් සිනමා පේ‍්‍රක්ෂක ජනතාව රජය කෙරෙහි අප්‍රසාදය පළකරනු ඇත. ”

ඉහත සඳහන් ප්‍රකාශ මා කරන්නේ දැඩි වගකීමකින් යුතුවය. එසේම එම කරුණු සනාථ කිරීමට අදාළ අසීමිත කරුණු සාධක මා සතුව ඇත.

මේ පිළිබඳව තැන තැන එකිනෙකාට බැන වදිමින්, කුණුහරුප කියමින්, කේලාම් කියමින්, පුරසාරම් දොඩමින් කාලය නාස්ති කිරීම පලක් නැත. මෙය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයක් නොව, රටටම බලපාන පොදු ප්‍රශ්නයක් නිසා, මේ පිළිබඳව මුහුණට මුහුණ දී කෙරෙන විවෘත සංවාදයක් මම යෝජනා කරමි.

අපක්ෂපාතී මැදිහත් කරුවකු හෝ පිරිසක් ඉදිරියේ ඕනෑම වේදිකාවක හෝ රූපවාහානී නාලිකාවක, සජීව සංවාදයකට පැමිණෙන ලෙස මම චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපති අධිනීතීඥ අශෝක සේරසිංහ මහතාට අභියෝග කරමි.

මෙයට

ආචාර්ය සෝමරත්න දිසානායක

sarasaviya

Share

About the Author

Cinema.lk A