අපේ දේශීය සිනමාවට නම් දෙවියන්ගේම පිහිටයි!

Avatar Cinema.lk A | January 31, 2013 10 Views 0 Likes 0 Ratings

10 Views 0 Ratings Rate it

පිටපත් සීමා කිරීම හා දේශීය සිනමාවේ අනාගතය පිළිබඳ සිය විවෘත අදහස් දක්වමින් සෝමරත්න දිසානායකයන් සරසවිය පුවත් පතට මේ ලිපිය එවා ඇත.

මගේ ප්‍රකාශය පැහැදිලි කිරීම පහසුවනු සඳහා පළමුවෙන්ම අද පවතින ලාංකේය සිනමාව පහත සඳහන් අයුරින් කොටස් හතරකට වෙන් කරමි. මෙසේ කොටස් කිරීමේදී ඇතැම් මිතුරන් කිහිප දෙනකුට හිත්රිදීම් ඇති විය හැකි බව දන්නා නමුත් පුද්ගලික වාසියට වඩා සිනමා ක්ෂේත්‍රයේ පොදු යහපත සඳහා මෙසේ ලිවීමට අදහස් කළෙමි.

1. සිනමාරූපී සම්භාව්‍ය

නිර්මාණාත්මක අතින් උසස් සිනමා ලක්ෂණයන්ගෙන් පිරි මෙම චිත්‍රපට ජාතික මෙන්ම අන්තර්ජාතික විචාරක පැසසුමට ලක්වේ. මෙම චිත්‍රපට බොහොී විට ජනප්‍රිය චිත්‍රපට නොවනු ඇත.

ඕනෑම රටක සිනමාවේ ඉතාමත්ම වැදගත් කොටස මෙයයි. අප ඉලක්ක කළ යුත්තේ මෙවන් සිනමාවක් වෙත ප්‍රේක්ෂක ආකර්ෂණය ඇතිකර සියලු සිනමා රසිකයන් මෙවන් සිනමාවක් රසවිඳීමට පෙලඹවීමයි.

2. සිනමාරූපී ජනප්‍රිය

ඉහත සඳහන් ලක්ෂණ ද සහිතය. තුන්වන සහ හතරවන කොටස් තරම් දුර්වල නිර්මාණ නොවේ. දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වේ.

පළමු ගණයේ සිනමාව කරා ප්‍රේත්ෂකයන් යොමුකළ හැක්කේ මෙවන් සිනමාවක් පැවතුණහොත් පමණි. සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සම්භාව්‍ය සිනමාව වෙත ළඟාවීමේ පියගැටයකි. සිනමාවේ ගුණාත්මක ලක්ෂණ රැක ගනිමින් ප්‍රේක්ෂක ආකර්ෂණය ද රඳවා ගත යුතු නිසා මෙවන් නිර්මාණ සඳහා අධික නිෂ්පාදන වැයක් දැරීමට වේ.

3. කසිකබල් ජනප්‍රිය

ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වේ. නමුත් සිනමාරූපී ලක්ෂණ නැත.

ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා කුමක් හෝ උපක්‍රමයක් යොදා සිනමාරූපී ලක්ෂණයන්ගෙන් තොරව කෙරෙන මෙවන් නිර්මාණ මුදල් උපයයි. සිනමා කර්මාන්තයට කෙසේ වෙතත් සිනමා කලාවට නම් සෙතක් නොවේ.

4. කසිකබල්

සිනමාරූපී ලක්ෂණ නැත. ප්‍රේක්ෂක ආකර්ෂණයට ද ලක් නොවේ. නිෂ්පාදන වැය ද පිය නොවේ. ප්‍රේක්ෂකයින් ද ප්‍රතික්ෂේප කරයි. සිනමා ක්ෂේත්‍රයට වසංගතයකි.

සිනමාවේ වැදගත්ම කොටස වන්නේ පළමු ගණයේ චිත්‍රපට නිසා, සිනමාවේ ප්‍රගමනය යනු එවන් සිනමාවක් කරා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති කිරීමයි. මෙම කටයුත්ත ඉටු කිරීමට නම් සම්භාව්‍ය වර්ගයෙන් සිනමාකරුවන් හඳුනාගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. සියල්ලෝම සිනමාකරුවෝය. සියලු දෙනා සමතැන් හි ලා සැලකිය යුතුය යන ප්‍රතිපත්තිය තුළ නම් යහපත් සිනමාවක් බිහි නොවනු ඇත. චිත්‍රපට වර්ගීකරණය අත්‍යවශ්‍ය වන්නේ මෙනිසාය. නිෂ්පාදනයේදී, ප්‍රදර්ශනයේදී හා ප්‍රචාරණයේදී මෙවන් සිනමාකරුවන්ට ප්‍රමුඛතාවය හා වැඩි පහසුකම් සලසා ඔවුන් දිරිමත් කළ යුතුය.

සම්භාව්‍ය සිනමාවක් කරා ප්‍රෙක්ෂකයන් යොමු කිරීමට පිය ගැටයක් වන දෙවන වර්ගයේ සිනමා කෘතීන් බිහි නොවන්නට තුන්වන හා හතරවන වර්ගයේ සිනමාවෙන් යහපත් සිනමාව වැසී යාම හෝ බුද්ධිමත් ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඉවත්වීම සිදුවනු ඇත. සිනමා කලාවේ හා කර්මාන්තයේ ගැලවුම්කරුවන් වන්නේ මෙම දෙවන වර්ගයේ සිනමාකරුවෝය.

තුන්වන හා හතරවන වර්ගයේ චිත්‍රපට යහපත් සිනමාවක් කරා යන ගමනට උවදුරුය. මෙම කොටස් අධෛර්යමත් කිරීම යහපත් සිනමාවකට රුකුලකි. තුන්වන ගණයේ නිර්මාණවලින් සිනමා කර්මාන්තයට කිසියම් සේවයක් සිදු වුව ද, හතරවන කොටසින් නම් සිනමා කර්මාන්තයට, කලාවට හා එම නිෂ්පාදකවරුන්ටවත් යහපතක් ඇති නොවේ. එහෙයින් මෙවන් චිත්‍රපට සියලුම සිනමාකරුවන්ට සියලු ප්‍රේක්ෂකයන්ට ද වසංගතයකි. අවාසනාව නම් අප රටේ වැඩි වශයෙන් බිහි වන්නේ හතරවන ගණයේ චිත්‍රපටය. එයට හේතුව නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා කිසිම ප්‍රමිතියක් හෝ කොන්දේසි මාලාවක් නැතිවීමයි. ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකට චිත්‍රපට කළ හැකිය. ඉන් පසු ඔවුන් සියලු දෙනාම අනෙකුත් සිනමාකරුවන් සමඟ පෝලිමට එකතු වෙයි.

හොඳ චිත්‍රපටයක් ජනප්‍රිය වී දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වීම සිනමා කලාවේ හා කර්මාන්තයේ යහපත සඳහා ඉවහල් වන අතර තුන්වෙනි හා හතරවන වර්ගයේ නිර්මාණකරුවන්ට නම් අභියෝගයකි. කනගාටුව නම් මෙවන් නිර්මාණකරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනප්‍රිය චිත්‍රපට පිටපත් සීමා කිරීමට බලධාරීන් කොන්දේසි පැනවීමයි.

දෙවන ගණයේ චිත්‍රපට නිෂ්පාදකයින් තමන්ගේ නිර්මාණවලට ප්‍රේක්ෂක ආකර්ෂණය ඇතිකර ගන්නේ සාමාන්‍ය චිත්‍රපයටකට වඩා විශාල පිරිවැයක් දරමිනි. ලෝකයේ දැනට පවතින ඉහළම සිනමා තාක්ෂණය ඔවුන් යොදා ගනී. නිර්මාණයේ අන්තර්ගතය සාර්ථක කරගැනීම සඳහා උසස් ශිල්පීය දායකත්වය වෙනුවෙන් වැඩියෙන් දරයි. මෙවන් චිත්‍රපට ඉහළ ආදායම් ලැබූව ද මූලික පිරිවැය අධික නිසා වැඩි ලාභයක් ද නොලබනු ඇත.

දැනට අප රටෙහි පවතින තත්ත්වයන් මත මෙවන් චිත්‍රපටයකින් නිෂ්පාදකයාට තම මුදල උපයා ගත හැක්කේ මුල් ප්‍රදර්ශන වාරයේ වැඩිපුර පිටපත් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමෙන් පමණි. ප්‍රචාරය සඳහා ද අධික මුදලක් වැය කළ හැක්කේ එම කාලය තුළ පමණි. එහෙයින් දැඩි ප්‍රචාරයකින් වැඩි පිටපත් ප්‍රමාණයක් පළමු වටයේ මුදාහැරීම විනා මෙවන් චිත්‍රපටයකට සිය වැය පියවා ගැනීමට වෙනත් මගක් නැත. එහෙයින් පිටපත් සීමා කිරීමෙන් සිදු වන්නේ එවන් චිත්‍රපට නිෂ්පාදකයෝ ක්ෂේත්‍රයෙන් ඉවත් වීමයි. එසේ වුවහොත් සිනමා ප්‍රේක්ෂකයෝ ද 80/90 දශකවල තත්ත්වයට මුහුණ දී ක්‍රමයෙන් සිනමාවෙන් ඉවත්වීම නිසැකව සිදුවනු ඇත. දුර බැහර ප්‍රදේශවල සිනමා ශාලාවලට ආකර්ෂණීය චිත්‍රපට මුල් වටයේ නොලැබීම නිසා ඔවුන්ගේ ආදායම් අඩුවන හෙයින් බොහෝ සිනමා ශාලා වසා දැමීමේ අවදානමකට ද ලක්වනු නියතය.

චිත්‍රපටයක් පිටපත් 35 කට වඩා මුදා හරින්නේ එම චිත්‍රපට සඳහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇතිනම් පමණි. පිටපත් වැඩිපුර මුදාහැරීම පමණක් චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු නොවනු ඇත. චිත්‍රපටයේ අන්තර්ගතය මෙහිදී ප්‍රධාන සාධකය වේ.

කිසියම් චිත්‍රපටයකට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොලැබෙන්නේ තවත් චිත්‍රපටයක පිටපත් වැඩියෙන් මුද්‍රණය කිරීම නිසා නොව ඒ ඒ චිත්‍රපටවල අන්තර්ගතයේ ඇති දුර්වලකම් නිසාය. එනිසා ජනප්‍රිය චිත්‍රපටයක පිටපත් සීමා කිරීමෙන් දුර්වල චිත්‍රපටයකට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය වන්නේ යයි සිතීම මුලාවකි. සිදුවන්නේ ආකර්ෂණිය චිත්‍රපටයක ආදායම අඩු වීම පමණකි.

හොඳ චිත්‍රපටයක් සඳහා වැඩිපුර මුදල් වැය කර එම මුදල පියවාගෙන නිෂ්පාදකයා කිසියම් ලාභයක් ලබන්නේ නම් එහි ඇති වරද කුමක්ද? නමුත් එක් නිර්මාණයක සාර්ථකත්වය තවත් පිරිසකට දරා ගැනීමට බැරි අවස්ථා ද ඇත. එය පැහැදිලි කිරීමට ඉරිසියාව හා කුහකකම යන වචන හැර වෙනත් වචන නැත. සිනමා ක්ෂේත්‍රය් බලධාරීන්ද මෙවන් පිරිසකගේ මතය සනාථ කිරීම අපට ගැටලුවකි.

පිටපත් 35 සීමාව තුළ පහත සඳහන් උපද්‍රව සිනමාවට සිදු විය හැකිය.

* පළමු වටයේ පිටපත් වැඩි සංඛ්‍යාවක් මුදා හැර තම වැය පියවා ගැනීමට තිබූ අවකාශය නැති වීම නිසා ආකර්ෂණීය චිත්‍රපට නිෂ්පාදකයන් සිනමාවෙන් ඉවත්වීම.

* හොඳ ආදායම් ලබන ජනප්‍රිය චිත්‍රපට මුල් වටයේ නොලැබීම නිසා බොහෝ සිනමා ශාලා යළි වැසී යාම.

* දුර බැහැර ප්‍රදේශවල සිනමාහල්වලට මුල් වටයේ ආකර්ෂණීය චිත්‍රපට නොලැබීම නිසා එම ප්‍රදේශවල ප්‍රේක්ෂකයන්ට එම චිත්‍රපටය නැරඹීම සඳහා තව බොහෝ කලක් බලා සිටින්නට සිදු වේ. කලකට පසුව ඔවුනට නරඹන්නට ඉතිරි වන්නේ අබලන් වූ පරණ පිටපතකි. ඒ මොහොත වන විට ප්‍රචාරක කටයුතුª ද නවතා ඇති හෙයින් බොහෝ විට ඔවුනට චිත්‍රපටය නැරඹීමට අවස්ථාව නොලැබෙනු ඇත. එනිසා පිටපත් සීමා කිරීම දුර බැහැර ප්‍රදේශවල සිනමා රසිකයන්ගේ ප්‍රේක්ෂක අයිතිය උදුරා ගැනීමකි.

* ජනප්‍රිය දේශීය චිත්‍රපට බිහිවීම අඩුවීම නිසා විදේශීය චිත්‍රපට යළිත් ලාංකේය සිනමාව ආක්‍රමණය කිරීම.

* මධ්‍යස්ථ ජනප්‍රිය සිනමාවක් නැතිවීමෙන් සම්භාව්‍ය සිනමාව වෙත සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සමීපවීමට ඇති මැද පියගැට නැති වී සම්භාව්‍ය සිනමාව බිඳ වැටීම.

80/90 සහ 2000 දශකයේ මුල් භාගයේ තිබූ සිනමාවේ පරිහානිය විමසිය යුතු කරුණකි. ප්‍රේක්ෂකයින් සිනමාවෙන් ඉවත්වෙමින් පැවති නිසා සිනමා ශාලා හිමියන්ට දිගින් දිගටම පාඩු විඳීමට සිදුවීමේ හේතුවෙන් ඔවුන් සිනමා ශාලා වසා දැමීමට පෙළඹුනි. එම භූමි තුළ සුපර් මාර්කට් හෝ වෙනත් ව්‍යාපාර බිහිවිණ. එසේ සිනමා ශාලාවෙන් ප්‍රේක්ෂකයන් ඉවත්වීමට ප්‍රධාන හේතුව නම් ප්‍රේක්ෂක ආකර්ෂණය නැති කසිකබල් චිත්‍රපට ශීඝ්‍රයෙන් බිහි වී ප්‍රේක්ෂකයාට සිනමාව එපා කරවීමයි. මෙම යුගයේ උසස් ගණයේ චිත්‍රපට කිහිපයක් බිහි වුණ ද කසිකබල් ව්‍යාපාරික සිනමාවෙන් එවන් නිර්මාණ වැසී ගොස් තිබිණ.

1999 වසරේ මම ඕස්ට්‍රේලියාවේ පදිංචිය අතහැර ලංකාවට පැමිණ ‘සරෝජා’ චිත්‍රපටය නිර්මාණය කළේ එවන් පරිසරයකය. සරෝජා වැනි අත්හදා බැලීමකට, සන්තකයේ තිබූ ධනය වැය කිරීම මගේ මානසික ආබාධයක් ලෙස බොහෝ දෙනෙකු සැලකූහ. නමුත් අතරමං වී සිටි බුද්ධිමත් ප්‍රේක්ෂකයා ගැන මට විශ්වාසයක් තිබූ නිසා මම එම අවධානම ගතිමි. ‘සරෝජා’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වූයේ බොහෝ දෙනෙකු නොසිතූ අයුරිනි. දූවිලි පිරි මකුළු දැල් බැඳ තිබූ සිනමා ශාලා පිරිසුදු විණ. වසා තිබූ ඇතැම් සිනමාහල් යළි විවෘත විය. චිත්‍රපටය ඉල්ලා සිනමාහල් තරග කරන්නට විය. ඉරිසියාවෙන් හා කුහකමකින් තොරව මෑත සිනමා ඉතිහාසය විමසන අයෙකු නම් ‘සරෝජා’ දේශීය සිනමාවේ සංධිස්ථානයක් බව සඳහන් කරනු ඇත.

සරෝජාගෙන් පසු පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, බිංදු යන චිත්‍රපට මගේ අධ්‍යක්ෂණයන් වූ අතර සංකාරා, කුසපබා යන චිත්‍රපට මගේ නිෂ්පාදන දායකත්වය ලැබූ චිත්‍රපටය. මේ සියලුම චිත්‍රපට දැඩි පේ‍්‍රක්ෂක ආකර්ෂණයට හා සම්මානයට ලක්විය. මෙම කාලය තුළ මට අමතරව තවත් නිර්මාණකරුවන් කිහිප දෙනකුගේ ද නිර්මාණ දැඩි ජනප්‍රියත්වයට ලක්වීම සතුටට කරුණකි. 2000 වසරේ සිට මේ දක්වා සිනමාවේ යම් ප්‍රබෝධයක්, උන්නතියක් දකින්නේ නම්, සිනමා ශාලා අලුතෙන් බිහි වන්නේ නම්, ඒ මෙවන් ආකර්ෂණීය යහපත් චිත්‍රපට නිර්මාණය කළ සිනමාකරුවන් අතලොස්සක් නිසා විනා අන් කවර සාධකයක්වත් නිසා නොවේ.

ප්‍රේක්ෂක ඉල්ලීම වැඩි නිසා ඔවුන් සිය නිර්මාණවලට ලෝකයේ ඇති ඉහළ සිනමා තාක්ෂණය එකතු කළහ. එවන් චිත්‍රපටවලට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වන නිසා සිනමා ශාලා හිමියෝ තම සිනමා ශාලාවලට ද නව තාක්ෂණය එකතුªකර නවීකරණය කරන්නට පටන් ගත්හ.

දුර බැහැර පළාත්වල ද ප්‍රේක්ෂක ආකර්ෂණය ඇතිවීම නිසාත්, මුල් ප්‍රදර්ශන වාරයේ වැඩි පිටපත් සංඛ්‍යාවක් මුදා හැරීමෙන් තම ඉහළ පිරිවැය පියවා ගැනීමේ ශක්‍යතාවයක් ඇති නිසාත් උසස් ගණයේ ජනප්‍රිය චිත‍්‍රපට නිර්මාණකරුවන් නොබියව එවන් නිර්මාණකරණයට එළඹිණ. දේශීය සිනමාවේ අද කිසියම් උනන්දුවක් ප්‍රගමනයක් අපි දකින්නේ නම් එය ඇති වී ඇත්තේ එලෙසිනි.

සිනමාවේ කුමන අංගය වර්ධනය කළත් ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ධනය නොකර සිනමාවේ සැබෑ වර්ධනයක් කළ නොහැකි බව සත්‍යයකි.

ආකර්ෂණීය සිනමාවට සීමා පැනවිය යුතු යැයි ඉල්ලා සිටින්නෝ කවුරුන්දැයි විමසා බැලුවහොත් පෙනී යන්නේ ඉන් අති බහුතරයක්, ප්‍රේක්ෂකයින් විසින්, සිනමා ශාලා හිමියන් විසින්, ප්‍රදර්ශන මණ්ඩල විසින් ප්‍රතික්ෂේප කරන කසිකබල් චිත්‍රපට නිෂ්පාදනය කරන පිරිසය.

මෙහිදී ජනප්‍රියත්වයෙන් අඩු නමුත් සිනමාරූපී භාවයෙන් ඉහළ, මා කලින් සඳහන් කළ පළමු ගණයේ සිනමාකරුවන් කසිකබල් ගොන්නෙන් ඉවත් කළ යුතුª බව අවධාරණය කරමි. එවන් සම්භාව්‍ය සිනමාකරුවන් ආරක්ෂා කිරීමට හා දිරිමත් කිරීමට සිනමා වර්ගීකරණයකින් පසු වෙනත් වැඩ පිළිවෙළක් අවශ්‍ය බව නැවතත් සඳහන් කරමි.

කිසියම් කර්මාන්තයක හෝ කලාවක ප්‍රගමනය සඳහා නව කොන්දේසි පැනවීමේදී අදාල පාර්ශවයන්ගෙන් මැනවින් කරුණු විමසා බලා මැදිහත් සිතින් තීරණ ගත යුතුය. මාතෘකාව දේශීය සිනමාව නම් එහි වැදගත්ම පාර්ශවය වන්නේ දිවයින පුරා විසිරී සිටින සිනමා රසිකයෝය. පිටපත් සීමා කිරීම ඔවුනට බලපන්නේ කෙසේදැයි සැලකිල්ලට ගෙන ඇති ද?

චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ දිවයින පුරා සිනමා ශාලාවලය. සිනමා ශාලාවක් පවත්වාගෙන යාමට ප්‍රේක්ෂක ආකර්ෂණය ඇති චිත්‍රපට ප්‍රදර්ශනය කළ යුතුය. ජනප්‍රිය චිත්‍රපටයක් වුව ද කලක් ගත වී අබලන් වූ පසු පේ‍්‍ර්ක්ෂක ආකර්ෂණයෙන් ඉවත් වෙයි. සිනමා ශාලා හිමියන්ගේ මතය සැලකිල්ලට ගෙන ඇති ද?

චිත්‍රපට බෙදාහරින්නේ බෙදා හැරීම් මණ්ඩල මඟිනි. සිනමා ශාලා හා නිෂ්පාදකයා අතර අන්තර් සම්බන්ධතාවය මෙම මණ්ඩලයි. බෙදා හැරීමේ මණ්ඩලවල අදහස් සැලකිල්ලට ගෙන ඇති ද? (බෙදා හැරීමේ මණ්ඩල පිළිවෙතේ දැඩි වෙනස්කම් විය යුතු බව අප මින් පෙර යෝජනා කර ඇත. නමුත් ඒවා ක්‍රියාත්මක වී නැත. එනිසා මෙහි මා කතා කරන්නේ දැනට පවතින තත්ත්වය මතය).

සිනමා කලාවේ, කර්මාන්තයේ ගැලවුම්කරුවන් වන ආකර්ෂණීය යහපත් නිර්මාණකරුවන්ගේ අදහස් සැලකිල්ළට ගෙන ඇති ද? එවන් නිර්මාණ ප්‍රදර්ශනය සීමා කිරීමෙන් පසු ආදීනව කවරේ ද යන්න විමසා බලා ඇති ද?

මා දන්නා අයුරින් ඉහත සඳහන් පාර්ශව එකකවත් අදහස් මෙම තීරණයට පෙර සළකා බලා නැත. එසේ නම් මෙම තීරණ කාගේ උවමනාවට, කාගේ යහපත තකා සිදු වූවක් දැයි විමසිය යුතුය.

මගේ චිත්‍රපට පෙළට අමතරව පසුගිය දශකය තුළ බිහි වූ අබා, කුස පබා, මහින්දාගමනය, විජය කුව්ණි ආදී චිත්‍රපට ද දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වූ නිර්මාණයන්ය. මේවා විවිධ තරාතිරම්වල නිර්මාණ වුව ද කසිකබල් ගණයේ නිර්මාණ නොවේ.

පිටපත් 35 සීමාව පැනවීමෙන්, මෙම නිර්මාණකරුවන් කප්පාදු කිරීමෙන් යහපත් සිනමාවක් අපේක්ෂා කරන්නේ කෙසේදැයි ගැටලුවකි.

හොඳ ආකර්ෂණීය චිත්‍රපටයක් වැඩි සිනමා ශාලා ගණනක වැඩි දිනක් ප්‍රදර්ශනය වීම ප්‍රශ්නයක් වන්නේ කාටද? පාඩුවක් වන්නේ නම් ආකර්ෂණය අඩු ප්‍රතික්ෂේපිත නිර්මාණකරුවන්ටය. මෙහිදී ධෛර්යමත් කළ යුත්තේ කවුද? අධෛර්යමත් කළ යුත්තේ කවුද? ආකර්ෂණීය සිනමාව නිසා රටේ සිනමා ශාලා හිඟයක් ඇති වන්නේ නම් එම හේතුවම රටේ තවත් සිනමා ශාලා බිහිවීමට හේතු නොවන්නේද? එය සිනමා කලාවේ හා කර්මාන්තයේ ප්‍රගමනය නොවේද?

පළමු වටයේ මුදා හරින චිත්‍රපට පිටපත් 35 කට සීමා කිරීමේ කොන්දේසිය නොවෙනස්ව දිගටම පැවතුනහොත් මට ගත හැකි තීරණ දෙකකි. එකක් නම්, මා දැනට පවත්වාගෙන යන ආරයේ සිනමාකරණය නවත්වා අඩු මුදලක් වැය කොට කසිකබල් ගණයේ චිත්‍රපට හැදීමයි. දෙවැන්න නම්, සිනමාකරණයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමයි. පළමු තීරණයට මා කිසි දිනක නොයනු ඇත. එහෙයින් මට ඇත්තේ දෙවැන්න තේරා ගැනීම පමණි. මා තනි පුද්ගලයකු නිසාත් ආකර්ෂණීය චිත්‍රපට නිපදවන තවත් සිනමාකරුවන් සිටින නිසාත් මගේ වෙනස දේශීය සිනමාවට එතරම් නොදැනෙන්නට ඉඩ ඇත. නමුත් මට බලපාන සාධක අනිකුත් ආකර්ෂණීය නිර්මාණ කරන අයටත් එසේම බලපාන හෙයින්, ඔවුනද එම තීරණ දෙකෙන් කුමක් හෝ ගත්ත ද හිස එසවීමට ඛ්දන අපේ දේශීය සිනමාවට නම් දෙවියන්ගේම පිහිටය.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක

408391_410729269001403_1435686956_n FilmArchiveParagraph607imageja FilmArchiveParagraph612imageja kusa2 siri_400x300 SomaRenuMahinda 036 2124

Share

10 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.