Sri Lanka's Best Cinema Portal

 

හොඳ චිත්‍රපටයක් ගැන තවත් මතයක්, ඔව්, ඔබ මේ චිත්‍රපටය නැරැඹිය යුතුමයි කාජල් සමඟ තණ්හා, රති, රඟා

0
Posted November 7, 2014 by Cinema.lk A in Articles
Thanha Rathi Ranga Sinhala Film1 [1024x768]

කුමාර තිරිමාදුරව මට ඉස්සෙල්ලාම හම්බවුනේ කට කපලා පිරිච්ච ලාස්ට් බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන ගමන්, රෑක. මම එයා රඟපාපු නාට්ටියක් බලලා ඒකෙ එයාගෙ රඟපෑම කොච්චර ලස්සන ද කියලා හිතා හිතා යන අතරේ එයා මගේ එහා පැත්තෙන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා ගෙදර යන එක මට මාර අත්දැකීමක් වුණා.

මේ සිද්ධිය මට ආපහු මතක් වුණේ එයාම රඟපාන නිලේන්ද්‍ර දේශපි‍්‍රය මහත්මයාගේ තණ්හා රති රඟා චිත්‍රපට බලලා ඒ වගේම ලාස්ට් බස් එකක ගෙදර යනකොට. එදා මම අත්විඳපු ෆුට් බෝඩ් අත්දැකීම මට අලුත් විදිහකට තෙරෙන්න පටන් ගත්තා. සිනමාව අපිට හම්බවෙච්ච තැනේ අවුලක් ද මන්දා සිනමාව ඇතුළේ අපිට හම්බවෙන චරිත අපේ ඇත්ත ජීවිතවලට හරිම ඈතයි කියලා ගොඩක් වෙලාවට මට හිතෙනවා.

හැබැයි ඒ අතරේ හැම කාලෙකම එක්කෙනෙක් දෙන්නෙක් මේ චරිතවලට පණ පොවන විදිහෙන් ඒ චරිත අපේ ඇත්ත ජීවිතවලට පුදුම විදිහට බද්ධ වෙනවා. ජෝ ලා, ගාමිණි ලා, මාලිනී ලා, කලං ලා, අපිට අපේ සිනමාවකට නැවත හැරෙන්නට නං මේ කාරණය හරියට අල්ල ගන්න එක වැදගත් වෙයි කියලා මම හිතනවා. කාලෙකින් මේ වැඩේ හරියටම කළේ අපේ රටෙන් පිට මිනිහෙක් හදපු “මචං”. හැබැයි මචං පිටිපස්සෙ හිටපු රුවන්ති මචං, මචං වෙන්න ලොකු දායකත්වයක් දෙන්න ඇති කියලා මං තේරුම් ගත්තෙ ඉංගී‍්‍රසියෙන් වගේම සිංහලෙන් වේදිකා ගත වුණු “කලු මාලි” දැක්කට පස්සෙ.

භාෂා දෙකෙන්ම එක වගේම හොඳට තිබිච්ච ඒක, වැඩක්. කොහොමින් හරි තණ්හා රති රඟා ගැන ලියන්න මාව පොළඹවන්නේ ඒ චිත්‍රපටයේ රඟපාන නළු නිළි කැළ. තිරිමාදුර, සුලෝචනා, විශ්වජිත්, පි‍්‍රයන්ත, නාමල්, දයාදේව, සරත් රඟපානවා රඟපෑමක් මෑත කාලෙක මම දැකපු ඉස්තරම්ම විදිහට. සමස්තයක් විදිහට මුළු චිත්‍රපටයෙම රඟපෑම් සහ නළු නිළියන් තේරීම ඉතා උසස් මට්ටමක තිබුණත් මම ඉහත සඳහන් කරපු කට්ටියගේ රඟපෑම් අපව හඬවනවා.

චිත්‍රපටය මුල ඉඳන් ලස්සනට ගලාගෙන යනවා. එකින් එක සිදුවීම් මතුවෙන විදිහ, ඒවා අතුරු කතාවලට කැපෙන විදිහ හරිම ලස්සනයි. නිලේන්ද්‍ර අපිට හැත්තෑවයි, අසූවයි අතරේ සිනමාවේ තිබිච්ච සුන්දර අපේ කෑල්ල ආපසු ගේනවා. ෆිල්ම් එකේ හොඳ රිඳම් එකක් තියෙනවා. චිත්‍රපටය ගලාගෙන යනවා දැනෙන්නේ නෑ. මං ඇත්තටම මේ ෆිල්ම් එකට ආස තැනත් ඒක. ෆිල්ම් එක බැලුවට පස්සෙ ලොකු ලොකු තර්ක විතර්කවලට යන්න මට හිතුනෙ නෑ. චිත්‍රපටය ඉවරවෙනකොට මට ඒ චරිතවල අසරණකම අස්සෙ ඒ ගොල්ලො ජීවිතේ ගෙනියන විදිහ ගැන ලොකු ආදරයක් හිතුණා. ඒ දරාගෙන ඉන්න දුක් කරදර මැද්දෙ, ට්‍රිප් එකක් ගිහිල්ලා, අඩියක් ගහලා, සිංදුවක් කියලා, ලව් කරලා, රණ්ඩු වෙලා, හිරේ ගිහිල්ලා ඉන්න මිනිස්සු කට්ටියක් අතරේ මං ඔහේ බලාගෙන හිටියා. චිත්‍රපටය පුරාම නිලේන්ද්‍ර අපිට ඒ ජීවිතවල සමීප රූප හරිම සිනමාත්මකව පෙන්නනවා. ධනුෂ්කගේ කැමරාව ඇතැම් තැන්වල ඉතාම ප්‍රබලයි.

චිත්‍රපටයේ එක් තැනක විමලේ අවසිහියෙන් වගේ බයිසිකලය පැදගෙන එන තැන ඉඳන් දිග හැරෙන දර්ශන පෙළ අපේ මතකයේ දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම චිත්‍රපටය පුරාවටම රූපයට කතා කරන්නට ඉඩහරින්නට නිලේන්ද්‍ර තීරණය කර ඇති බව හොඳින්ම පේනවා. හැබැයි ඔහු ඒක කරන්නේ අපේ සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට ආගන්තුක තැනකින් නෙමෙයි. ත්‍රීවිල් එකේ තියෙන බුද්ධ රූපය, එක තැනකදී අරුම පුදුම විදිහට හඳුන්වා දුන්නට පස්සෙ තවත් තැන් ගණනාවකදීම අහේතුකව අපි දිහා බලන් ඉන්න “කාජල්” වගේ දර්ශන ඉතාම ප්‍රබල යටිපෙළක් ගොඩ නගන්න යෝජනා කරනවා. “කාජල්” කිව්වම ඒක ගැන නං කතා නොකර ඉන්නම බැහැ.

චෙක් පොයින්ට් එකක ආමි කාරයෙක් විදිහට මුළු ෆිල්ම් එකේම පි‍්‍රයන්ත සිරිකුමාර රඟපාන්නෙ ඇත්තටම බැලුවොත් තත්පර ගානයි. හැබැයි එයා ත්‍රීවිල් එකේ ගහලා තියෙන කාජල් ගේ ෆොටෝ එක අත ගාලා “කාජල්” කියලා කියන දෙබස මම හිතන්නෙ නැහැ මට ජීවිත කාලෙටම අමතක වෙයි කියලා. සිනමා රංගන ශිල්පියෙක් විදිහට ඒ ටයිමිං, ඒ කන්ටිනුයිටි, අති විශිෂ්ටයි.

අපි ප්‍රවීණයා කියන වචනේ පරෙස්සමට ඉතුරු කරලා තියාගන්න ඕනෙ මේ වගේ වෙලාවල්වලට. එක වචනයක් ඩිලිවරි කරලා ප්‍රේක්‍ෂකාගාරයක් හිරිවට්ටන්න පුළුවන් පි‍්‍රයන්ත සිරිකුමාර කියන්නේ මාර නළුවෙක්. පිටපතක් ඇතුළේ ෆිල්ම් එකකට වඩා ලොකු කතාවක් තත්පර ගණනක සීන් එකකට ගේන්න පුළුවන් කියන්නේ හරිම දියුණු සිනමා භාවිතයක්. මං දන්න විදිහට නිලේන්ද්‍ර කියන්නෙත් වැඩි කාලයක් එක තැනක හිරවෙලා හිටපු මනුස්සයෙක් නෙමෙයි. අපි හොඳටම දන්න චරිත අපි ඉස්සරහා ආපහු දනවන්න ඒ වගේ රස්තියාදුකාර පොහොසත් කමක් නැත්තං ලේසි නෑ. ගුණසේකරලා, දයාදේව එදිරිසිංහලා, සරත්ලා, සුලෝචනාලා, පිනුම් ගහනවා. හෙට දවසේ, චිත්‍රපට ශාලාවලට ලංකාවේ මිනිස්සු අද්දවන මැෂින් වෙන්නේ මේ ගොල්ලෝ මිසක් තවදුරටත් පුයර බබාලා නෙමෙයි. ඇතැම් ප්‍රවීණයො නාගනිද්දී මේ ගොල්ලො මාර විදිහට චරිතවලට අනන්‍ය වෙනවා.

අපේ රටේ අපේ එවුන්ට බලන්න හැදෙන සිනමාවක් ගැන අපිට පැහැදිලිවම සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන සිනමාව ඇතුළෙන් අපි රිංගන්න හදන්නේ සිහිනයට තමයි. හැබැයි ඒ සිහිනය කියන්නේ මායාවට නෙමෙයි. චිත්‍රපටයේ එක තැනක බස් එකට නගින්න ඔන්න මෙන්න කියලා තියෙද්දී කතාව කියන්න ජසින්තට තියෙන්නෙ ඇස් දෙක විතරයි. එක තත්පරේකදි ගිගා බයිට් ගාණක දත්ත හුවමාරු කරන සුලෝචනාගේ ඇස් දෙක දැකලා මට පිස්සු හැදුණා. ඊළඟ මාලිනී කියන්නේ මාලිනී වගේ මූණක් තියෙන කෙනෙකුට විතරක් නෙමෙයි. මේ විශිෂ්ට රඟපෑම් මම වගේම මාත් එක්ක චිත්‍රපටය නරඹපු අනිත් අයත් විඳගත්තා කියලා දැනුනේ අතරින් පතර ඇහුනු “ආහ්” “ඌහ්” වලින්.

කාලෙන් කාලෙට සිනමාවේ මතු වෙන ලොකු ලොකු රැලි අස්සෙ ගරිල්ලා වැඩ කරන එක ලේසි නැහැ. ලේසියෙන්ම කරන්න තිබ්බ රැල්ලට ගහගෙන යන්නේ නැතුව නිලේන්ද්‍ර තමන්ගේ පළවෙනි වැඩේ අලුත් මිනිස්සු ටිකක් එක්ක කරන්න ගත්තු එකම අවදානමක්. ඒත් එයා ඒ අවදානම ගත්තා. ඒකයි වැදගත්ම කාරණේ. අනිත් එක එයා ඒ අවදානම ගන්නේ මේ රටේ දුවන්න පුළුවන් චිත්‍රපටයක් හදන්න. දුවන්න පුළුවන් චිත්‍රපටයක් කරන්න තීරණය කරලා ඒක ඇතුළේ හොඳ වැඩකුත් කරන්න උත්සාහ කරන එක වැඩක්.

චිත්‍රපටය දිහා ආපහු හැරිලා බලනකොට ඒකෙ ශිල්පීය කාරණා අතරින් ඇතැම් ඒවට මම ඉතාම කැමතියි වගේම ඇතැම් ඒවා වඩා සුමුදු වුණා නම් හොඳයි කියලා හිතිච්ච තැනුත් තිබුණා. උදාහරණයක් විදිහට චිත්‍රපටයේ ඇතැම් තැන්වල තියෙන හස්තගත කැමරා භාවිතය ශිල්පීයව පලුදු වුණු තැන් තිබුණා. අර සමනල්ලු රෑන දෙබෑ කරගෙන යන රූපයට මම ඉතාම කැමතියි වගේම පිස්තෝලෙත් එක්ක නයා පෙන්නන එකට නං මම එච්චර කැමැති නෑ.

ඒ වගේම චිත්‍රපටයේ සංස්කරණයෙන් ලොකු වෙනසක් කළ හැකි බවයි මගේ පෞද්ගලික මතය. ඒ වෙනුවට මම දැක්කේ අර හැමදාමත් දකින විදිහට ඔහේ සංස්කරණය කිරීමක්. ස්වාධීන සංස්කරණයක් වෙනුවෙන් පිටපතෙන් ලබාදී තිබුණු අවසරය ප්‍රයෝජනයට ගෙන තිබුණු ආකාරයක් දකින්නට ලැබුණේ නැහැ. සංගීතය ගැනත් කියන්න තියෙන්නේ ඒකමයි. චිත්‍රපටයේ වෙන ආරක වෙද්දී සංගීතය තිබුණේ බලෙන් ආරෝපණය කරගන්න ගිය සුභාවිත තැනක. මේක හොඳටම කැපිලා පේන්නේ ට්‍රිප් එකේ බජව් පාටි දර්ශනය එක්ක සංසන්දනය කරලා බලද්දී.

එතන තියෙන සංගීතය තමයි චිත්‍රපටයේ සංගීතය. එතැනින් පස්සෙ ගහන්නේ දුකට එකයි සැපට එකයි වගේ සංගීතයක්. කෙසේ වෙතත් චිත්‍රපටයේ මුල් භාගයේදී මේ වෙනස එච්චර දැනෙන්නෙ නැහැ. හැබැයි අන්තිම හරිය වෙනකොට චිත්‍රපටය ඉල්ලන සංගීතය නැතිවීමේ අඩුව දැනෙනවා. අනිත් කාරණය තමයි මම ආස විදිහට නං චිත්‍රපටය ඉවර වෙන්න තිබ්බේ මනෝ රාණිගේ දර්ශන පෙළට කලින්. ඒ සිදුවීම් පෙළ අධ්‍යක්‍ෂවරයාගේ ඒකාග්‍රතාවය ගිළිහීමක් ලෙස නම් කරන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. නමුත් මට ඒ ගැන අපරාදේ කියලා හිතෙන එක අමතක කරන්න බැහැ. කෙසේ වෙතත් ලංකාවේ ඇතුළේ චිත්‍රපටකරුවෙක් තමන්ගේ පළවෙනි චිත්‍රපටය හදනවා කියන්නේ තාත්තා කෙනෙක් නැතුව ළමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනියෙකුටත් වඩා අසීරු කාරණයක් බවත් අපිට අමතක කරන්න බැහැ.

නිලේන්ද්‍රගේ චිත්‍රපටය හැදෙන්නෙත් යුද්ධෙ ගැනම තමයි. හැබැයි යුද සංඥාව ඔහුගේ මල්ලෙන් ගෙඩිය පිටින් එළියට පනින්නේ නැති එකයි විශේෂත්වය. යුද්ධෙ ගැන චිත්‍රපට හදපු ලංකාවේ සිනමාකරුවො ගොඩක් දුරට යුද්ධෙට තියා තමන්ටවත් අවංක නැහැ. අපේ යුද චිත්‍රපට හැදුණේ එක්කෝ ලකුණු දාගන්න. නැත්තං ලෝකෙ කොහේ හරි වෙනත් රටකින් ලකුණු දාගන්න.

තණ්හා රති රඟා බලන කොට මට හිතුණේ අවුරුදු 30 ක් යුද්ධෙ තිබිච්ච කාලෙත් අපි කොළඹ හිටියේ මේ වගේම නේ කියලා. බස් බෝම්බය පුපුරපු ඒවා සුයිසයිඩ් බෝම්බ පුපුරපු ඒවා මාර භයානක සිද්ධි වුණේ පිටරට මීඩියාවලට විතරනේ. ඒත් ඉතිං අපි වෙනදා වගේම කෑව බිව්වා, පාටි දැම්මා, සිංදු කිව්වා, ලව් කළා, මරාගත්තා. යුද්ධෙ තිබුණා කියලා අමුතු එකක් තිබුන්නෑනේ.

ඔන්න අච්චරක් මැරුණා, මෙච්චරක් මැරුණා කියලා නිව්ස්වලට දැක්කහම මැච් එකක් පරාද වුණා වගේ ටික වෙලාවක් අප්සට් ගහලා හිටියා. මං හිතන්නේ අපිට අපේ ඔළුව උඩ තිබිච්ච යුද්ධෙ හරියටම දැනුණේ ඒක ඉවර වුණාට පස්සේ. ඒ දැනිච්ච හිස්කම තමයි ෆිල්ම් එකේ තෙරුණිගේ මූණ ඉස්සරහ පත්තු වුණේ. මිනිස්සු ඉපදෙනව, මැරෙනවා. කලාකරුවෙකුට කරන්න පුලුවන් තමන්ගේ කැඩපත ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහාවට අල්ලන එක විතරයි. ඉතිං තණ්හා රති රඟා ඒ වැඩේ බොහොම සුන්දර විදිහට කරනවා කියලා මම හිතනවා.

චිත්‍රපටය බලලා එළියට එද්දී නිලේන්ද්‍ර ඒ චිත්‍රපටයට දීපු නම ගැනත් ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් කතා වුණා. රැල්ලට ආපු ගොඩක් චිත්‍රපට අපිව අන්ධ භක්තියට අරගෙන ගිහිල්ලා තියෙන තැනින් තවත් මොට්ට කරන්න අඬ ගහද්දී, නිලේන්ද්‍ර තණ්හා රති රඟා කියලා කරන්නේ එව බලව වගේ වැඩක්. ඒ වැඩේ ගිහිල්ලා බලන්න වටිනවා. ඒක අපිට එන්න කියලා බොරු කරන්නේ නැහැ!

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2