Victoria & Abdul සිනමාපටය පිලිබඳ අදහසක් – කුමාරි කුමාරගමගේ

Avatar Nisanka Weheraduwa | March 26, 2018 21 Views 0 Likes 0 Ratings

21 Views 0 Ratings Rate it

………….උපුටා ගැනීමකි……..

සටහන  –  කුමාරි කුමාරගමගේ.

“Railings should be built around her so that all may admire her in an orderly and respectful fashion”

යමෙකු මේ ප්‍රකාශය කර තිබූයේ Victoria & Abdhul චිත්‍රපටයේ වික්ටෝරියා රැජිනගේ චරිතය රඟපාන නිළිය – ජූඩි ඩෙන්ච් පිළිබඳවය. එහෙත් චිත්‍රපටය නරඹන අතරතුර දැනෙන්නේ වික්ටෝරියා රැජින වටා සිටිනා සියළුම දෙනා ඇයට සළකන්නේ මේ ප්‍රකාශයට අනුව බවයි. චිත්‍රපටය නිමවී ඒ ගැන කල්පනා කරන විට එම සිතිවිල්ල තවත් ටිකක් දුරට යන්නේ, අපගේ සමාජයන්හි සියළුම ගැහැණුන් පිිළිබඳව සියළුම දෙනාගේ මතය මේ යැයි අවබෝධ වේ.
මහළු රැජින තම සමීපතමයන් අතර අවළංගු කාසියක් පමණය. සියළු රාජශ්‍රිය ද සියළු බලය ද සහිත වුවද ඇයද ගැහැණියකි, වයෝවෘද්ධ තරබාරු කෑමට පෙරේත වැන්දඹු ගැහැණියකිි. දියණියකගේ, බිරිඳකගේ, ලේලියකගේ, මවකගේ, නැන්දනියකගේ, මිත්තනියකගේ, ආකර්ශණීය සහ වැඩක් ගතහැකි ගැහැණියකගේ කාර්‍ය නිමකල පසු ඔවුන් බලා සිටින්නේ ඇය මිය යනතෙක්ය. ඇය ජීවත්ව සිටියදී ලබාගත් සියළු දේ නිමාවකට පැමිණ ඇති බැවින් දැන් මරණයෙන් පසු ලැඛෙන දේ ලබා ගැනීමටය. ඒ රජකම, දේපොල, පරිහරණය කල දේ, හොඳ ගෙවීමක්, සහතිකයක්, ඇදුමක්, පළඳනාවක් වැනි විවිධ වූ දෑ විය හැකිය. අවසානයේ හොඳ රජ අවමගුලක සිරිය භුක්ති විඳීය හැක…
තවමත් අප සමාජයේ ගැහැණිය වටකොට වැටබැඳ ඇති වික්ටෝරියානු සදාචාරවාදය එකල වික්ටෝරියාට වෙනස්ව සලකාවියැයි විශ්වාස කල හැකිද? වික්ටෝරියානු ගැහැණියගේ කාර්්‍යය වූයේ තම සැමියා සතුටින් තැබීම සහ ඔහුගේ දරුවන් යහපත්ව හදා වඩා ගැනීමයි. තරුණ ළමුනට ඇති අයිතීන්ට වැඩි කිසිවක්ම වැඩිහිටි ගැහැනියට අයත් නොවූ යුගයකි එය.. ඔවුනට ඡන්ද අයිතියක් හෝ දේපොල අයිතියක් තිබුනේ නැත. තවෙකෙකුට විරුද්ධව නඩු මගට යාමට අයිතියක් තිබුනේද නැත. තම සැමියා හැර වෙනත් කිසිම පුරුෂයෙක් දෙස බැලීමවත් තම තත්ත්වය කෙලෙසා ගැනීමක් ලෙස සැලකුන අතර සැමියාට වෙනත් ආලවන්තකම් කොතෙක් තිබුණද ඊට එරෙහිවීමක් හෝ දික්කසාදවීමක් ගැන සිතන්නටවත් ඇයට අයිතිය ලැබුනේ නැත…සියවස් 2ක පමණ කාලයක් ගතව යද්දී වික්ටෝරියානු සම්ප්‍රදායේ නීතිමය තත්ත්වයන් බොහෝ වෙනස්කම්වලට භාජනය වී තිබුණද මේ 21වන සියවසේ දීවත් ගැහැනිය කෙරෙහි වූ වික්ටෝරියානු සදාචාරවාදී ආකල්ප වෙනස්කොට ඇයට සමානයෙක් සේ සැලකීමට පුරුෂෝත්තමවාදී ලෝකය ඉඩක් විවර කලේනම් නැත. ඉඳීන් ගැහැනිය වටා යකඩ වළල්ලක් නිමවන සමාජය ඇය ඒ තුල හුදෙකලා කොට ගෙෘරවනීයව සලකා ගැනීමට අවශ්‍යනම් සිටිය යුත්තේ මෙසේ යැයි ඇයට තහංචි දමයි….

‘Railings should be built around her so that all may admire her in an orderly and respectful fashion.’
වික්ටෝරියා යනු රජ පවුලක ගැහැනියක් පමණක් නොව ඇයම රැජිනයි.. එහෙත් ඇය ගැහැනියක් බව නැවත නැවත මතක් කර ගැනීමට මෙහිදී සිදුවේ. සමාජීය ස්ථරයන් අතර මුදුන්ම ස්ථරයේ විරාජමානව වැජඹුන නමුදු ඇය සිටිය යුත්තේ පිරිමින් සාදා දෙන ලෝකයේ ඔවුන් නියම කරනු ලබන සීමාවන් තුලය. ඇයට කරන්නට කිසිම කාර්්‍යයක් නැත. සියළුම කාර්්‍යයන් කරන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් වැඩකාරයන් රොත්තක් ඇය වටා කැරකේ. ඇය විසින් කරන්නට ඇත්තේ කෑමත්, නිදාගැනීමත්, තම අත්සන තැබීමත් (අපට චිත්‍රපටයේ නොපෙන්වන නමුදු) බහිස්ස්‍රාවී කාර්්‍යයන් කිරීමත් පමණක්මය. වෙනකක් තබා ඇය සමග සුහද සාකච්ඡාවකට පවා කිසිවෙකු නොඒ. කිසිවෙකු විවෘතව ඍජුව ඇය දෙස බලන්නේවත් ඇය හා සිනාසෙන්නේවත් නැත. ඉතින් ඇය තමාගේ ජීවිතය සමග කුමක් කරන්නද? ඇයට කරන්නට ඇත්තේ කෑමය, ඉදින් කෑම මේසයේදී පිස්සුවෙන් මෙන් කන ඇය අතුරුපසට පෙරද කුකුල් නින්දකට වැටේ.
මෙතැනදී ප්‍රශ්නයක් මතු කිරීම යහපත් යැයි සිතේ. එම කිරීටයේ හිඳ සිටියේ ඇයගේම වයසේ වූ, ඇයගේම සමාජ ස්ථරයේවූ පිරිමියෙකුනම් මේ තත්ත්වයන් මේ අයුරින්ම සිදුවේද?? පිළිතුර වන්නේ zකිසිම සැකයක් නැතිව -ඔව්- යන්න නම් අපගේ සාකච්ඡාව ලේසියෙන්ම රජවරුන්, යටත් විජිතයන්, සූරාකෑම්, යටත් වැසියන් යන මාතෘකා දෙසට යොමු කල හැකිය. එහෙත්, අප සියල්ලන් අවංකව දන්නා පිළිතුරවන්නේ -නැත- යන්නයි. විශේෂයෙන්ම හදිසියේම ඇයගේ නෙතට රසඳූනක්වන, සිතට නිවනක්වන අබ්දුල් මුණගැසීම හා ඔහු කෙරෙහි ඇය තුල ඇතිවන ලබැදියාවට වටා පිටාවෙන් එල්ලවන තහංචි හා මුණුමුණුවන් එම තත්ත්වයේම සිටිනා එඩ්වඩ් ට –ෆාතිමා– කෙනෙක් හමුවීමෙන් නොවනා බව අප හොඳාකාරව නොදනිමුද?
චිත්‍රපටයේ අපට මුණගැහෙන අබ්දුල් පිළිබඳව නොයෙක් ප්‍රශ්න මතුවන අවස්ථා නැතිවා නොවේ. තම රටේ ජනතාවට ඉතාම අසාධාරණ ලෙස සලකන, සියලූ සම්පත්ද ජනයාද හිතූ හිතූ ලෙස පරිහරණය කරන සූරාකන අධිරාජ්‍යවාදී කිරීටය ඉදිරියේ මෙසේ වැදවැටෙන්නට හා සපත්තුව ලෙව කන්නට තරම් අබ්දූල් නිවටයෙක් වූයේ කෙසේදැයි අප තුල කුකුසක් මතුවේ. ඒ මදිවාට තමා සමග එක්ව එංගලන්තයට ආ එකම මිතුරා අතහැර දමනු ලැබීමෙන් අකාලයේ මරු තුරුලට යාමේ ඛේදවාචකය අබ්දූල්ව සසල නොකරන්නේ කෙසේදැයි අපිට විශ්වාස කිරීමට නොහැකි තරමි. එහෙත් අනෙක් අතට මෙම චිත්‍රපටය පුරා සිදුවන්නේ විවිධ මුහුණුවරින් සිරවී සිටිනා මනුෂ්‍යයන් දෙදෙනෙකු අතරවන ඉතාම නිරුවත් සුන්දර ගණුදෙනුවක් නොවේදැයි වැටහෙද්දී සතුටු කඳූලක් පවා මතුවේ.
රැජිනක් වුවද පුරුෂ මූලික ලෝකයේ සිරවී හුදෙකලාවී තමාට තමාවම අමතකව ගිය වයෝවෘද්ධ ගැහැණියකට හදිසියේම ජීවත්වන මනුෂ්‍යයෙකු මුණ ගැසේ. සැබෑවටම ඇයට නැවත මුණගැසෙන්නේ අත්හැරුනු තමාවමය, තම ජීවිතයය. මුණගැසෙන්නේ පිරිමියෙකු වුවද ඔහු ඇගේ සමාජයේ පිරිමින් මෙන් ඇයව පාලනය කරන්නේවත් බියෙන් ඇයව මගහරින්නේවත් ඇයව නොසලකා හරින්නේවත් නැතුවා පමණක් නොව දුටු මොහොතේම තම දීප්තිමත් දෑස් දල්වා ඇයට ඇය ජීවත්වන බව මතක් කර දෙයි. රැජිනගේ මුහුණ දෙසවත් නොබලන්නයි ඔහුට අණක් ලැබී තිබුණද කුඩා දරුවෙකුගේ මෙන් වූ ඔහුගේ කුතුහලය තම රටේ අධිරාජිනියගේ මුහුණවත් නොබලා හැරී යාම ප්‍රතික්ෂේප කරයි. එතැන් සිට සියල්ල අලූත්වෙයි….
පුරුෂ මූලික සමාජය විසින් තමා වටකොට ගසා තිබූ වැටකඩොළු එකින් එක බිඳ දමන්නට ඇය පෙළැඹේ. කනවාට නිදියනවාට අමතරව ඇයට තව බොහෝ දේ කරන්නට උවමනා වෙයි. ඇය සිනාසෙන්නටත් කතාකරන්නටත් පටන් ගනියි. මියගිය තම ස්වාම්පුරුෂයා සිහිවී ඇයගේ නෙතට කඳූලක් නැගෙයි. ඇය උර්දු ඉගෙන ගන්නටද, ඉන්දියාව ගැන, අග්‍රා ගැන, ටජ්මහල් ගැන තොරතුරු විමසන්නටද පටන් ගනියි. අඹ ගෙඩියක් කන්නට පවා ආශාවක් ඇතිවෙයි. තමාට අහිමි කරන ලද ජීවිතය යලි ජීවත් වන්නට සියළු බාධක මධ්‍යයේ ඇය අධිටන් කරයි. මේ සියල්ල සමග ඇයව අත්නෑර අල්ලාගෙන සිටිනා අයෙකු වේ. ඇයගේ ශක්තිය වන්නේ ඒ පුද්ගලයාය, ඒ පුද්ගලයාගේ විවෘත, ආදරණීය, ජීවී බවය.
එහෙත් ඔහු පිරිමියෙකි, තරුණයෙකි, ඉන්දියානුවෙකි, සේවකයෙකි, දුඹුරු මිනිසෙකි, ඉංග්‍රීසි නොවන භාෂාවක් කතා කරන්නෙකි, යටත් වැසියෙකි, බොරුකාරයෙකි, වඳ පිරිමියෙකි, ගොනෝරියා කාරයෙකි. ඇයගේ ගමන නැවතීම පිණිසද ඇයව පසුබැස්සවීම සඳහාද තමනට රිසිලෙස ඇයව හසුරවමින් නැවත ඇයව සිරකොට තැබීමටද ඔවුන් ගෙනෙනා හා ඔවුන් විශ්වාස කරනා ප්‍රශ්න සියල්ල කුණාටුවක් සේ ඇය හඹා ඒ….
එහෙත් අහිමිවූ තම ජීවිතය ලද ගැහැණියක කුණාටුවකින් වැලකිය හැකිද? වික්ටෝරියා රැජින පෙන්වා දෙන්නේ එම සත්‍යයයි. අවසන් හුස්ම පොද දක්වාම ඇය අලූතින් ලද තම ජීවිතය වෙනුවෙන් සටන් කරයි.

victoria

Share

21 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.