අධ්‍යක්ෂණයට පිවිසෙන බොලිවුඩ් සුපිරි තරුව | Randeep Hooda

Avatar Kavinu Weerakkody | October 6, 2022 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

බොලිවුඩයේ තරුණ පරම්පරාවේ රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු වාණිජමය වශයෙන් ස්ථාවර වී සිටියත්, ඔවුන්ගෙන් බහුතරයක් සැම විටම පාහේ දක්නට ලැබෙන්නේ එකම ශානරයේ චිත්‍රපට කිහිපයකින් පමණයි. ශානරීය විවිධත්වයක් හෝ පුළුල් රංගන පරාසයක් දැකිය හැකි චිත්‍රපට සඳහා ඔවුන් සම්බන්ධ වන්නේ බොහොම අඩුවෙන්.

තමන්ගේ නිර්මාණවල වාණිජමය සාර්ථකත්වය සඳහා Family Audience ප්‍රේක්ෂකාගාරය මත පදනම් වන ඔවුන් Action Comedy ගණයේ චිත්‍රපටවලට රංගනයෙන් එක්වීමටයි නිරතුරුවම උත්සාහ දරන්නේ. මේ කරුණ නිසා තමන්ගේ ප්‍රියතම රංගන ශිල්පීන්ගේ පුළුල් රංගන හැකියාව දැක ගැනීමේ අවස්ථාව රසිකයින්ගෙන් මඟ හැරී යනවා. අවසානයේදී content driven සිනමාපටවල අධ්‍යක්ෂකවරුන්ට පවා තමන්ගේ නලුවන්ගෙන් නිසි රංගන පරාසයක් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.
එවැනි එකම වට්ටෝරුවේ චිත්‍රපටවල රඟන රංගන ශිල්පීන්ගේ සිනමා ගමන සහ ඔවුන්ගේ ජනප්‍රියතාවයත් කෙටි කාලයකට සීමා වන බවයි, විචාරකයින්ගේ මතය වන්නේත්…

නමුත්, නව පරපුරේ එවැනි රංගන ශිල්පීන් මධ්‍යයෙ හි සිටින චරිතාංග බොලිවුඩ් නලුවෙකු ලෙසයි Randeep Hoodaව සැලකෙන්නේ. හැකි සෑමවිටම එකිනෙකට වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ට සමීප වන Randeep Hooda වටා ඔහුටම අනන්‍ය වූ ප්‍රේක්ෂකාගාරයකුත් දැන් නිර්මාණය වී තිබෙනවා. බොලිවුඩයේ සෙසු mainstream නලුවන්ට වඩා ජනප්‍රියත්වය අඩු වූවත්, චරිතාංගීකරණය සහ රංගන පරාසයෙන් Randeep සිටින්නේ සෙසු නලුවන් බොහෝමයකට වඩා ඉදිරියෙන්.

Highway, Ungil, Sarbjit, Once Upon a time in Mumbai වැනි සිනමාපට රන්දීප්ගේ රංගන පරාසය කොතෙක්ද යන්න පැහැදිලි කළ හැකි හොඳම නිදසුන් කිහිපයක්. 2020 වසරේ Netflix හරහා නිකුත් වූ Extraction හොලිවුඩ් සිනමාපටයේදී ලෝක ප්‍රකට නලු Chris Hemsworth සමඟ රඟපෑමේ අවස්ථාවක් ද ඔහුට හිමි වුනු අතර රන්දීප් එහි නිරූපණය කළේ Saju Rav නැමැති උප ප්‍රධාන චරිතයයි. චිත්‍රපටයේ ධාවන කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එම චරිතයට වෙන්ව තිබීමත් විශේෂත්වයක්!

අද හින්දි සිනමාවේ සිටින දක්ෂතම රංගන ශිල්පීන් කිහිප දෙනාගෙන් අයෙකු වන Randeep Hooda, සිය මීළඟ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයාට සමීප වන්නේ මීටත් වෙනස් ආකාරයකටයි.
රන්දීප් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටයට නිර්මාණය වන්නේ Damodar Savarkarගේ ජීවිත කතාව ආශ්‍රය කරගෙනයි. බ්‍රිතාන්‍යයින්ට එරෙහි ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ඔහු ඉන්දීය දේශපාලන ඉතිහාසයේ ප්‍රබල චරිතයක් ලෙසත් පැවසෙනවා. ඉන්දියානු දේශපාලනයට හින්දු ජාතිකවාදී දර්ශනය එක් කළ මූලිකයා ලෙස හැඳින්වෙන්නේ ද Damodar Savarkarවයි.

රන්දීප් රඟන මෙම නවතම චිත්‍රපටය Damodarගේ ජීවිත කතාව, ඔහුගේ දේශපාලන දර්ශනය සහ ඉන්දීය නිදහස් සටනේ එක් කාල පරිච්ඡේදයක් ඇසුරෙනුයි නිර්මාණය වන්නේ. බොහෝදුරට 1900-1960 සමයේ කාල වකවානුවක් මීට පාදක විය හැකියි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීම්වලින් පසු අන්දමන් දූපත්, නිකොබාර් දූපත් සහ ලන්ඩන් නගරය වැනි විදෙස් රටවල් කිහිපයකත් මෙහි දර්ශනල තල යොදාගෙන තිබෙනවා.

“Swatantra Veer Savarkar” ලෙස නම් කොට තිබෙන මෙම සිනමා නිර්මාණයේ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. එම ඡායාරූපය ඉහතින් දක්වා තිබෙන අතර රන්දීප් විසින් රඟ දක්වන්නේ විමුක්තිකාමී Damodar Savarkarගේ ප්‍රධාන චරිතයයි.

පසුගිය අගෝස්තු මාසයේ සිට චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුනු අතර රන්දීප් සිය චරිතය වෙනුවෙන් ඔහුගේ භෞතිකමය ස්වරූපය පවා වෙනස් කරගෙන තිබෙනවා. Damodar Savarkarගේ චරිතය වඩාත් තාත්විකව නිරූපණය කිරීම සඳහා සිය ශරීර බරෙන් කිලෝ 10කට අධික ප්‍රමාණයක් ඔහු අඩු කොට තිබෙනවා. වර්තමාන හින්දි සිනමාව තුළ, තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් වැඩිම සාධාරණයක් ඉටු කරන රංගන ශිල්පියෙකු වන ඔහු චිත්‍රපටයක් වෙනුවෙන් මෙතරම් වෙනසක් සිදු කරගත් පළමු අවස්ථාවද මෙය නොවෙයි.
ඔහු මින් පෙර Sarbjit චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 20කට ආසන්න ප්‍රමාණයක body transformation සිදු කළා.

පසුගියදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මෙම තීරණය ගැන Randeep Hooda පැවසූයේ තමන් පාසල් සමයේ සිටම ක්‍රීඩාව සමඟින් ජීවිතය ගත කළ බවත්, එයින් ලද හුරුව නිසාම මෙවැනි අවදානම් ගැනීමට ඔහු පසුබට නොවන බවත් ය. කෙසේ වුවත් මේ හරහා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවටත් ඔහු පැවසුවා.
දමෝදර් වැනි ඉන්දීය නිදහස් සටනට උරදුන්, නමුත් කිසිවෙකුගේ නිසි අවධානයට ලක් නොවුනු වීරයෙකුගේ චරිතය නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමම තමන්ට සතුටට කරුණක් බවයි ඔහු වැඩිදුටත් ප්‍රකාශ කළේ.

“There are many heroes that have played their part in getting us our Independence. However, not everyone has got their due.
Vinayak Damodar Savarkar is the most misunderstood, debated and influential of these unsung heroes and his story must be told.”

මෙම චරිතාපදන සිනමාපටය අධ්‍යක්ෂණය සඳහා මුලදී ගිවිසුම්ගතව සිටියේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ නලුවෙකු වන Mahesh Manjrekarයි. චිත්‍රපටයේ තිර පිටපත ඔහු විසින්ම රචනා කරන ලද්දක් වන අතර ඊට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට Damodar Savarkarගේ සමීප ඥාතීන් කිහිප දෙනෙක්වත් මුණ ගැසී තිබෙනවා.
එරට සිනමාකරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන ‘ඉන්දියානු ජාතික සම්මානයෙන්’ පවා පිදුම් ලැබූ රංගන ශිල්පියෙකු වන ඔහු චිත්‍රපට 20කට අධික ප්‍රමාණයක අධ්‍යක්ෂකවරයා ද වනවා. Natsamrat, City of Gold, Rakht සහ Antim: The Final Truth ආදිය ඔහු අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය නිර්මාණවලින් කොටසක්…

නමුත් අවසානයේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත් වීමට ඔහුට සිදුවුනු අතර මෙහි ප්‍රධාන චරිතය රඟන Randeep Hoodaටම අධ්‍යක්ෂක භූමිකාවත් බාර වුනා. මේ වනවිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව, ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මෙහි රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. මෙය Randeep Hoodaගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

Share

39 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.