ආක්ෂේ කුමාර්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

Avatar Kavinu Weerakkody | March 5, 2023 45 Views 0 Likes 5 On 1 Rating

45 Views 5 On 1 Rating Rate it

බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්, කලින් කලට ක්ෂේත්‍රයේ පුවත් මවන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. Khiladi, Phir Hera Pheri, Bhool Bhulaiya, Houseful වැනි හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියකට රංගනයෙන් එක්ව තිබෙන ඔහු වර්තමාන ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රියම නලු නිළියන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසත් හඳුන්වන්නට පුලුවන්.

මෑතක් වනතුරුම ආක්ෂේ කුමාර් රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ රසිකයින්ගේ අවධානයට ලක්වුවත්, පසුගිය වසර දෙක-තුන නම් ඔහුට එතරම් සුබදායී කාල පරිච්ඡේදයක් වූයේ නැහැ. විශේෂයෙන්ම 2019 වසර තුළදී ඔහු රඟපෑ චිත්‍රපට හතරම (Kesari, Mission Mangal, Housefull 04 සහ Good Newzz) ඉන්දියානු කෝටි 200 ආදායම පසු කරමින් අතිශය සාර්ථකත්වයට පත්වූ නිසා, ඉන්දියානු සිනමාවේ සෙසු නලුවන් සියලු දෙනාවම අභිබවමින් එම වර්ෂය තුළ වැඩිම ආදායමක් උපයාගත් රංගන ශිල්පියා බවට පත්වූයේ ත් ඔහුමයි.

නමුත් එයින් පසුව 2020-2021-2022 වසර තුනම ආක්ෂේ කුමාර්ගේ රංගන ජීවිතයේ යම් පසුබැසීමක් පෙන්නුම් කළා. එතැන් සිට ඔහු රඟපෑ කිසිදු සිනමාපටයක්වත් සාර්ථක ආදායමක් උපයා නොගත් අතර ප්‍රේක්ෂකයින්ගෙන් ඒවාට ලැබුනේත් මිශ්‍ර – අයහපත් ප්‍රතිචාරයක්. මෙම හේතුව නිසා 2023 වසරේදී ආක්ෂේ රඟන පළමු චිත්‍රපටය, “Selfiee” වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුනා.

චිත්‍රපටයේ නිෂ්පාදකරුවන් වූ Dharma Productions ආයතනය විසින් පුළුල් ප්‍රචාරණයක් පවා සිදු කරමින් එහි ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට මුල සිටම උත්සාහ කළා. බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ ආක්ෂේ කුමාර්ගේ අවාසනාවන්ත කාල පරිච්ඡේදය මෙයින් හෝ අවසන් වනු ඇති බවටයි.

Selfiee චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා එක්වූ ආක්ෂේ කුමාර් පසුගියදා නව ගිනස් ලෝක වාර්තාවක් (Guinness World Record) පවා පිහිටුවීමට උත්සාහ කළා. ඒ “අඩුම කාලයකදී වැඩිම සෙල්ෆි ප්‍රමාණයක් ලබාගත් තැනැත්තා” බවට පත්වීමටයි. මේ සඳහා ඔහුට මිනිත්තු තුනක කාලයක් ලැබී තිබුනු අතර එම මිනිත්තු තුන කාල සීමාවේදී ලබාගත් සෙල්ෆි ඡායාරූප පමණයි, මෙම ගිනස් ලෝක වාර්තාවට ගණනය කර තිබෙන්නේ.

එහිදී ලැබුනු මිනිත්තු 03 කාලය තුළදී සෙල්ෆි ඡායාරූප 184ක් ගනිමින්, නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ආක්ෂේ සමත් වුනා. ඔහු මෙසේ බිඳ දැමූයේ සෙල්ෆි ඡායාරූප 168ක් ලබා ගනිමින් එක්සත් රාජධානියේ හි ජේම්ස් ස්මිත් විසින් තැබූ වාර්තාවයි. සුප්‍රසිද්ධ හොලිවුඩ් ක්‍රියාදාම නලුවෙකු වන Dwayne Rock Johnson ද ඔහුට පෙර මෙම සෙල්ෆි ගිනස් වාර්තාවට හිමිකම් කීවා.

“Everything I have achieved and where I am in life is due to the unconditional love of my fans. This is my special tribute to them, acknowledging how they have stood by me throughout my career.

With the help of my fans, we have broken the Guinness World Record for Most Selfies in 3 minutes 🙂
Thank you, everyone.
This was very special and I’ll remember this forever.”

ලෙසින් මුහුණු පොතේ සටහනක් තබමින් සිය රසිකයින්ට ස්තූති කරන්නත් ඔහු අමතක කර තිබුනේ නැහැ.

ආක්ෂේගේ මෙම ගිනස් ලෝක වාර්තාව සිදු කර තිබුනේ මුම්බායි හි Mehboob Studios පරිශ්‍රය තුළයි. මෙම උත්සාහයට ඔහුගේ රසික රසිකාවියන් 240ක් එක්ව සිටියා. නමුත් අදාළ කාල සීමාවේදී ආක්ෂේට ලබා ගැනීමට හැකිව තිබූ සමස්ත සෙල්ෆි ඡායාරූප සංඛ්‍යාව 209ක්. නමුත් අවසානයේදී ලෝක වාර්තාව සඳහා භාවිතා කර තිබුනේ එම ඡායාරූප 209න් 184ක් පමණයි.

ඊට හේතුව වන්නේ ගිනස් ලෝක වාර්තාවට අදාළ නීති රීති තුළ මෙම ඡායාරූප සියල්ලම පැහැදිලි සහ බොඳ නොවූ ඡායාරූප විය යුතු බවට සඳහන් වීමයි. එහි නීතිරීතිවලට අනුව, ඡායාරූපය සඳහා පෙනී සිටි තැනැත්තන් පහසුවෙන් හඳුනාගත හැකි විය යුතු අතර ඔවුන්ව නිසි අයුරෙන් focus වී තිබිය යුතුයි. Blurred faces සහිත ඡායාරූපත් මෙයට සුදුසුකම් ලබන්නේ නැහැ.

එමනිසා, ආක්ෂේ ලබාගත් ඡායාරූප 209න් ගිනස් වාර්තාව සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඒ නීතිවලට අනුකූල වුනු ඡායාරූප 184ක් පමණයි.
මෙම සාර්ථක උත්සාහයෙන් පසු ආකෂේ ප්‍රකාශ කලේ, ඉදිරියේදී තවත් ගිනස් වාර්තා කිහිපයක්ම බිඳ දැමීමට තමන් උත්සාහ දරන බවයි. ආක්ෂේ කුමාර් නිරතුරුවම ශාරීරික යෝග්‍යතාවය ගැන විමසිල්මත් වන රංගන ශිල්පියෙකු නිසා නුදුරු දිනකදීම තවත් ගිනස් ලෝක වාර්තා බිඳ දැමීමට ඉඩකඩක් පවතිනවා.

කෙසේ වෙතත් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුවත්, ආක්ෂේගේ නව චිත්‍රපටය නම් කිසිදු සාර්ථකත්වයක් පෙන්වූයේ නැහැ. පළමු දිනයේදී ඉන්දීය කෝටි 3කටත් අවම මුදලක් රැස් කරමින් “මෑතකාලයේදී ආක්ෂේ කුමාර් රඟපෑ සිනමාපටයක් ලැබූ අඩුම පළමු දින ආදායම” වාර්තා වූයේ Selfiee චිත්‍රපටයටයි. තිරගත වීම අරඹා දිනයක් ඇතුළතදී බොහෝමයක් සිනමාශාලාවලින් එහි ප්‍රදර්ශනය නැවැත්වූයේ කිසිදු ප්‍රේක්ෂකයෙක් එය නරඹන්නට නොපැමිණීම නිසායි.

ඉන්දීය කෝටි 100කට ආසන්න පිරිවැයක් දරමින් නිෂ්පාදනය වුවත්, එහි සමස්ත ආදායම ඉන්දීය කෝටි 25 සීමාව හෝ පසු කිරීමට නොහැකිව තිබෙනවා. 2019 වසරේදී තිරගත වූ “Driving Licence” නැමැති මලයාලම් චිත්‍රපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණය වන එහි Emraan Hashmi, Diana Penty, Nushrratt Bharuccha ඇතුළු තවත් ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම රඟපානවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 2019 වර්ෂයේදී ඉන්දීය කෝටි 300කට අධික ආදායමක් ලැබූ, ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත රඟපෑ Good Newwz හි අධ්‍යක්ෂවරයා වන Raj Mehtaයි.

Share

45 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.