ඉරාන්ගේ Secret of the Rose වැඩ නිමවෙමින්
ඉරාන් ගොඩමුනේ පළමු වරට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් ලෙස සිනමාවට එක්වනවා. ඒ ඔහු නිර්මාණය කරන Secret of the Rose චිත්‍රපටයත් සමගින්. ප්‍රේමය, ත්‍රාසය, කුතුහලය සමග නිර්මාණය කෙරෙන මේ චිත්‍රපටය මේවන විට මූලික අදියරේ වැඩකටයුතු නිමකොට තිබෙනවා. සිනමා කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් විසින් සිදු කොට ඇති Secret of the Rose චිත්‍රපටයේ වේෂ නිරූපණය අජිත් කුමාරගෙන්. දමිත් බටේවෙල කලා අධ්‍යක්ෂණයෙන් සහ දම්මි ගොඩමුණේ නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. මේ චිත්‍රපටයට රොෂාන් රවීන්ද්‍ර, වින්ඩි මඩපාත, රොෂාන් රණවන, රිචඩ් වීරක්කොඩි, ගයනා සුදර්ශනී ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා. තිර රචනයෙන් ඉරාන් ගොඩමුනේ සමග චන්ද්‍රරත්න මාපිටිගම මේ නිර්මාණයට සම්බන්ධ වනවා.
“නවක නිර්මාණකරුවෙක් විදිහට චිත්‍රපටයක් නිර්මාණය කරද්දී එන පළවෙනි අභියෝගය නිෂ්පාදකවරයෙක් සොයා ගැනීම. මම කරන්න යන නිර්මාණය ගැන විශ්වාස කරලා මගේ අම්මා දම්මි ගොඩමුනේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමැත්ත පළ කිරීම නිසා මට ඒ අභියෝගය ජයගන්න ලැබුණා. මගේ අම්මා නිෂ්පාදනය කළ චන්ද්‍රරත්න මාපිටිගම නිර්මාණය කළ “හෙළ ළඟ” චිත්‍රපටය තිරගත වෙද්දී මට වයස අවුරුදු 11යි. ඒ මතකයත් එක්ක සිනමාකරුවෙක් වීම ගැන මට හීනයක් තිබුණා. තිර රචනය, සිනමාකරණය ගැන විවිධ ක්‍රමවේදවලින් මම හදාරන්න පටන් ගත්තා. ඒ හැම දේකටම පස්සේ තමයි මම මේ ව්‍යාපෘතියට අත තිබ්බේ. චිත්‍රපටයට දායක වුණු හැමෝගෙන්ම මේ වැඩේට ලොකු සහයෝගයක් ලැබුනා. මේ වෙද්දි චිත්‍රපටයේ වැඩකටයුතු බොහොමයක් අවසන්. ” යැයි ඉරාන් පැවසුවා.
Secret of the Rose චිත්‍රපටයේ ප්‍රචාරණ පෝස්ටර් කිහිපයක් සහ නිර්මාණය අතරතුර ලබාගත් සේයාරූ කිහිපයක්.
Written by Nisanka Weheraduwa