උපුල් සන්නස්ගල – හේමාල් රණසිංහ සුසංයෝගයෙන් ‘තංගමලේ ඩයරීස්’

Avatar Kavinu Weerakkody | August 18, 2022 692 Views 0 Likes 3 On 3 Ratings

692 Views 3 On 3 Ratings Rate it

ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමාපටයක් වන තංගමලේ ඩයරීස් (Thangamale Diaries) හි නිල වෙබ් අඩවිය මුදා හැරීම සහ ඒ ගැන ප්‍රේක්ෂකයින්ව දැනුම්වත් කිරීම පසුගියදා සිදුවුනා. නුදුරේදීම රූගත කිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට ප්‍රසිද්ධ සිංහල දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වීමද විශේෂත්වයක්!

ලංකාවේ තංගමලේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුව කොළඹ අගනගරයට සංක්‍රමණය වන බාසි නම් චරිතය, යූටියුබර් කෙනෙකු වශයෙන් පනස් වසරකට පසුව නැවත සිය උපන්ගමට යෑමත්, ඒ සමඟ ගමෙ හි උද්ගත වන ගැටුම් දාමයත් “තංගමලේ ඩයරීස්” චිත්‍රපටයෙන් දිග හැරෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බාසි දිවයිනේ ප්‍රකට සිවිල් චරිතයක් වන අතර කලා|සාහිත්‍ය|දේශපාලන ආදී ක්ෂේත්‍ර වල නියැළුණු පුද්ගලයෙක්. ඔහු යූටියුබර් කෙනෙකු වශයෙන් සිය උපන්ගමට යන්නේ එහි සැඟවුණු යටගියාව පිළිබඳව ඔහුට ඇති කුතුහලය සංසිඳවා ගැනීමටයි. සිනමාපටයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ සිය ගම්මානයේ අඳුරු ඉතිහාසය හාරා අවුස්සා ගැනීමටයි.
ඔහු එසේ සිය උපන්ගමට යන 2019 අප්‍රේල් 06 වෙනි දා සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සති දෙකක පමණ කාලය “තංගමලේ ඩයරීස්” සිනමාපටයට පසුබිම් වී තිබෙනවා.

මේ වනවිට තංගමලේ ඩයරීස් හි පූර්ව නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් කර තිබෙන අතර හපුතලේ ප්‍රදේශය ආශ්‍රිතව නලු නිළියන් තෝරා ගැනීම් කිහිපයක් ද පැවැත්වුනා. සිය තිර පිටපත අවසන් කරගැනීමට වසර තුනකට අධික කාලයක් ගත වූ බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ…

චිත්‍රපටයේ ප්‍රධාන නලු භූමිකාව වන ‘බාසි’ නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ චරිතය නිරූපණය කරන්නේ ද අධ්‍යක්ෂක උපුල් සන්නස්ගල විසින්මයි. ඔහුට අමතරව තවත් ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම තංගමලේ ඩයරීස් හි රංගනයෙන් දායක වනවා.
වර්තමාන ලාංකීය සිනමාවේ ජනප්‍රියම තරුණ නලුවා ලෙස හැඳින්වෙන හේමාල් රණසිංහ නිරූපණය කරන්නේ ‘OIC ඉන්ද්‍රජිත්’ නැමැති පොලිස් නිලධාරියාගේ චරිතයයි. ප්‍රියන්ත සිරිකුමාර ‘ටිකිරි බණ්ඩා’ ලෙසත්, ධර්මප්‍රිය ඩයස් ‘සභාපති’ ලෙසත්, ස්ටෙෆන් තිරිමාන්න ‘පොඩි හාමුදුරුවො’ ලෙසත් රංගනයෙන් එක්වනවා. ‘චන්දරේ’ගේ චරිතය රඟපාන්නේ ආනන්ද කුමාරඋන්නැහෙ විසිනි. ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් එක්වන්නේ ‘හෙන්නායක’ නැමැති චරිතයටයි.
මහේන්ද්‍ර පෙරේරා, නලින් ලුසේනා, රන්ජිත් දිසානායක, ගෝපානි ඒකනායක වැනි නලු නිළියන් පිරිසක් සහ ගායන ශිල්පී සේනක බටගොඩ සෙසු රංගනයෙන් තංගමලේ ඩයරීස් චිත්‍රපටයට දායක වනවා.

සිනමාපටය ගැන රසිකයින්ට දැනුම් දුන් පළමු වීඩියෝපටය පහත සබැඳියෙන් ඔබට නැරඹිය හැකියි.

මෙහි රූගත කිරීම් අප්‍රේල් මාසයේදී ඇරඹීමට නියමිතව තිබුණත් රටෙ හි පැවති අර්බුදකාරී තත්වය නිසා එම සැලසුම් වෙනස් කරන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදුව තිබෙනවා. එතැන් සිට මාස කිහිපයක් යනතුරු තාවකාලිකව නතර කළ මෙහි වැඩ කටයුතු නැවත ඇරඹුනේ පසුගිය අගෝස්තු 16 වනදා සිටයි. නුදුරු දිනකදීම හපුතලේ සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලදී මෙහි රූගත කිරීමට පටන් ගැනීමට නියමිතයි.

තංගමලේ ඩයරීස් හි කැමරා අධ්‍යක්ෂකවරයා (Director of Photography) ලෙස කටයුතු කරන්නේ මෙරට සිටින අත්දැකීම් බහුල සිනමාකරුවෙකු වන චන්න දේශප්‍රියයි. විජයබා කොල්ලය, හෝ ගානා පොකුණ,  සිරි රජ සිරි, එකගෙයි සොකරි, ඇල්බොරාදා වැනි සිංහල චිත්‍රපට 30කට අධික ප්‍රමාණයක කැමරාව හැසිරවූ ඔහු වරෙක ජාත්‍යන්තර සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂකවරයා වන අතර සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණයට අමතරව ප්‍රධාන නිෂ්පාදක භූමිකාව හොබවන්නේ ද උපුල් ශාන්ත සන්නස්ගලයි. ඒ ඔහුගේ Two17 (pvt) LTD නිෂ්පාදන ආයතනය යටතේයි.

තංගමලේ ඩයරීස් සිනමා නිර්මාණයට සමබන්ධ වන ප්‍රධාන කාර්මික සහ තාක්ෂණික ශිල්පීන්ගේ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

කතාව | අධ්‍යක්ෂණය | නිෂ්පාදනය – උපුල් සන්නස්ගල
තිර පිටපත – සුසිත විජේමුනි
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
සංගීත අධ්‍යක්ෂණය – චින්තක ජයකොඩි
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
ශබ්ද පරිපාලනය – සසික මාරසිංහ
වේෂ නිරූපණය – නාරද තොටගමුව
ගීත රචනය – උපුල් සන්නස්ගල
නිෂ්පාදන කළමනාකරණය – මන්ජුල පෙරේරා
සහාය අධ්‍යක්ෂණය – පසන් තිලකවර්ධන
පරිගණක දෘශ්‍ය නිර්මාණකරණය – චත්‍ර වීරමන්
විධායක නිෂ්පාදනය – නලින්ද ප්‍රේමරත්න
ඇඳුම් නිර්මාණකරණය – ලසන්ත උඩුකුඹුර

උපුල් සන්නස්ගල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන පළමු අවස්ථාව මෙය වුවත්, මින් පෙර කිහිප වතාවකදීම ඔහු චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වුනා. අශෝක හඳගමගේ “අක්ෂරය” “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපට ද්විත්වයේ සහ විමුක්ති ජයසුන්දරගේ “සුළඟ එනු පිණිස” චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ඔහුයි. මෙම නිර්මාණ තුනම මෙරට සිනමා ඉතිහාසයේ මතබේදාත්මක නිර්මාණ වන අතර අක්ෂරය මෙරට තහනමට ද ලක් වුනා.

තංගමලේ ඩයරීස් නිෂ්පාදනය සඳහා crowd funding ක්‍රමයක් යොදාගෙන තිබීම මෙම නිර්මාණයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්. මෙරට චිත්‍රපටයක් සඳහා crowd funding භාවිතා කරන මෑත ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය හැකියි.
$10|$25|$50|$100|$1000 ආදී මූල්‍යමය පරිත්‍යාග හරහා ඔබට මෙහි නිෂ්පාදනයට සම්බන්ධ විය හැකි අතර ඒ පිළිබඳව වැඩිදුර විස්තර නිල වෙබ් අඩවියේ (www.thangamalediaries.com) දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල් මිලියනක මූල්‍යමය දායකත්වයක් සිදු කරන ඕනෑම අයෙකු මෙහි සම-නිෂ්පාදකවරයෙකු බවට පත් වන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

Share

692 Views 3 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.