“ජංගි හොරා” නිසා සිනමාහල් House-full වෙයි.

Avatar Nisanka Weheraduwa | January 4, 2022 201 Views 0 Likes 4 On 1 Rating

201 Views 4 On 1 Rating Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි.

වසර දෙක හමාරකට පසු ශ්රී ලාංකේය චිත්රපටයක් “House-full” පුවරුව අත්පත් කර ගනී..
‘ස්පයිඩර් මෑන්” ප්රමුඛ හොලිවුඩ් සහ කොලිවුඩ් චිත්රපට මේ දිනවල මෙරට සිනමාශාලා තුළ “හවුස්ෆුල්” ආධිපත්යය පතුරද්දී, අනෙක් අතට අවම ප්රේක්ෂක සහභාගිත්වයවත් නොමැතිව දේශීය චිත්රපටවලට අදාළ දර්ශන වාර වැඩි වශයෙන් අවලංගු වෙද්දී සහ ඒ හේතුවෙන් දේශීය චිත්රපටවලට වෙන්කළ දර්ශන වාර විදෙස් චිත්රපටවලට නිරායාසයෙන් හිමිවෙද්දී, තම රට තුළදී “House-full” පුවරුව අත්පත්කර ගැනීමට දේශීය චිත්රපටයක් ඊයේ දින (2022.01.02 – ඉරිදා) සමත් විය. ඒ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ, සෝමරත්න දිසානායක අධ්යක්ෂණය කළ හා EAP මණ්ඩලය හරහා බෙදාහරින “ජංගි හොරා” චිත්රපටයයි. මෙහිදී ශ්රී ලාංකේය චිත්රපටයක් එලෙසින් ඉහළ ප්රේක්ෂක ආකාර්ෂණයට ලක්වෙමින් “House-full” පුවරුව අත්පත් කරගත් දුර්ලභ අවස්ථාව ළගා කරගත්තේ වසර දෙක හමාරකට පසුව වීම කැපී පෙනේ. (අවසන් වරට ශ්රී ලාංකේය චිත්රපටයක් House-full පුවරුව යටතේ ප්රදර්ශනය වූයේ EAP මණ්ඩලය විසින් 2019 වර්ෂයේ තිරගත කළ හේමාල් රණසිංහ ප්රධාන චරිතය රගපෑ ” විජයබා කොල්ලය”යි)
ඊයේ දින මෙරට සිනමා ශාලා තුළ දෙස් විදෙස් චිත්රපට 20 ක් වැනි සාපේක්ෂව ඉතා ඉහළ චිත්රපට සංඛ්යාවක් තිරගතවූ තත්වයක් තුළ, එනම් ඊයේ දිනයේදී මෙරට සිනමා ශාලා වෙත ඇදුණු සමස්ත ප්රේක්ෂක සංඛ්යාව චිත්රපට 20 ක් අතර බෙදී යද්දී, “ජංගි හොරා” චිත්රපටය සිනමා ශාලා දෙකක “House-full” පුවරුව අත්පත් කර ගැනීමටත්, තවත් සිනමා ශාලා 03 ක 90% ප්රේක්ෂක සහභාගිත්වය ඉක්මවා යෑමටත් සමත්ව තිබීම දේශීය සිනමා කර්මාන්තයට සුබ ලකුණකි. ඒ අනුව ඊයේ දින මාතර S.K සිනමා ශාලාවේ සවස 6.30 දර්ශනය සහ මහරගම සැවෝයි මෙට්රෝ සිනමා ශාලාවේ රාත්රී 7.30දර්ශන “Housefull” පුවරුවට යටත්ව “ජංගි හොරා” ප්රදර්ශනය කොට ඇත. එයට අමතරව කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමා ශාලාවේ ප.ව 1.30 හා ප.ව 7.00 දර්ශන වාරත්, කෑගල්ල ටාසන් සිනමා ශාලාවේ ප.ව 2.30 හා 6.30 දර්ශන වාරත් සහ අනුරාධපුර විල්මැක්ස් සිනමා ශාලාවේ ප.ව 1.30 දර්ශන වාරයත් ඊයේ දින 90% ක ප්රේක්ෂක සහභාගිත්වය ඉක්මවා යෑමට සමත්ව තිබේ. මෙහිදී ඉහත කී සිනමා ශාලා සියල්ලම මෙරට සක්රීයව පවතින සිනමාශාලා අතුරින් සාපේක්ෂව වැඩි ආසන සංඛ්යාවකින් යුක්ත වන සිනමාශාලා වීම විශේෂත්වයකි. එසේම ලංකාවේ සුපිරිතම සිනමා සංකීර්ණය වන ONE GALLE FACE- PVR හි පසුගිය දිනවල තිරගත වූ ශ්රී ලාංකේය චිත්රපට අතුරින් සාර්ථකම ප්රේක්ෂක සහභාගිත්වය සටහන් වූ චිත්රපටය ලෙස පෙරමුණ ගැනීමටද “ජංගි හොරා” සමත්ව ඇත.
2021.12.23 දින “වැඩිහිටියන්ට පමණයි” යන ලේබලය යටතේ සිනමා ශාලා 36 ක් වෙත EAP මණ්ඩලය හරහා මුදාහළ “ජංගි හොරා” චිත්රපටය පළමු දින 11 තුළ (2022.01.02 දක්වා) නරඹා ඇති මුළු ප්රේක්ෂක සංඛ්යාව 28,002 කි . එසේම “පවුලේ සැමට” යන ලේබලය යටතේ සිනමා ශාලා 80 ක් වෙත 2019 වර්ෂයේදී EAP මණ්ඩලය හරහා මුදාහළ “විජයබා කොල්ලය” (2019- 2021 වසර තුන තුළ තිරගත වූ දේශීය චිත්රපට අතුරින් වැඩිම අදායම් ලද චිත්රපටය) පළමු දින 11 තුළදී නරඹා ඇති ප්රේක්ෂක සංඛ්යාව 33,799 කි . ඒ අනුව චිත්රපටය මුදා හැරීමේදී “විජයබා කොල්ලය”ට හිමි වූ සිනමා ශාලා සංඛ්යාවට සාපේක්ෂව සිනමාශාලා 44 ක් (80 -36) අඩුවෙන් “ජංගි හොරා” චිත්රපටයට හිමිව තිබුණද , පළමු දින 11 තුළ “විජයබා කොල්ලය” නැරඹූ ප්රේක්ෂක සංඛ්යාව ආසන්නයෙන්ම “ජංගි හොරා” නැරඹූ ප්රේක්ෂක සංඛ්යාව ස්ථානගත වීම තුළින්, “ජංගි හොරා” චිත්රපටයේ වාණිජ සාර්ථකත්වය තහවුරු කරයි. එසේම EAP මණ්ඩලය හරහා 2020 වර්ෂයේදී “පවුලේ සැමට” ලේබලය යටතේ මුදාහළ සෝමරත්න දිසානායකගේ “සුනාමි” චිත්රපටයේ එකදු දර්ශන වාරයක්වත් “Housefull” නොවූ තත්වයක් තුළ, ඔහුගේ “ජංගි හොරා” චිත්රපටය සති දෙකක් ඉක්මවා යාමට පෙර “Housefull” පුවරුවට නතු වීම කැපී පෙනේ.
සැ.යු-
“ජංගි හොරා” සම්බන්ධ ඉහත සඳහන් කළ සියලුම දර්ශන වාරයන් කොවිඩ් නීතී රෙගුලාසීන්ට අනුකූලව පවත්වා ඇති දර්ශන වාරයන් වේ.
ඉහත දත්ත හා තොරතුරු සියල්ල EAP මණ්ඩලය හා PVR සිනමා හරහා තහවුරු කළ දත්ත හා තොරතුරු වේ.
සටහන-
උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

201 Views 4 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.