ටොවිනෝ තෝමස් සහ සෞබින් ෂහීර්ගේ සුසංයෝගයෙන් : Nadikar Thilakam

Avatar Kavinu Weerakkody | September 20, 2022 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

ඉන්දියානු කෝටි 50කට අධික ආදායමක් උපයමින්, අතිශය ජනප්‍රියත්වයට පත් වූ Thallumaala චිත්‍රපටයෙන් පසු මලයාලම් නළු Tovino Thomas රඟන නවතම සිනමා නිර්මාණයේ වැඩ කටයුතු දැන් ඇරඹී තිබෙනවා.  Nadikar Thilakam යනුවෙන් නම් කර තිබෙන මේ නිර්මාණයට Tovino Thomas සමඟින් තවත් ප්‍රසිද්ධ මලයාලම් නලුවෙකු වන Soubin Shahir රංගනයෙන් එක්වනවා.

මෙහි කතාව සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ Driving license සිනමාපටයෙන් ජනප්‍රියත්වයට පත් වුනු අධ්‍යක්ෂක Jean-Paul Lal විසිනුයි. ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු Lalගේ පුත්‍රයා වන ඔහුව රසිකයින් බොහෝ දෙනෙක් හඳුනන්නේ Lal Jr කියන නමින්… Lal Jr 2019දී අධ්‍යක්ෂණය කළ Driving license සිනමාපටය වසරේ වැඩිම ආදායම්ලාභී මලයාලම් සිනමාපට අතරට එක් වුණා වගේම, ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්නත් සමත් වුණා. එයින් පසු ඔහු සහ පියා එක්ව අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය Tsunami පසුගිය මාර්තු මාසයේදී නිකුත් වුණත් කෝවිඩ් බලපෑම නිසා එය සාර්ථක වුණේ නැහැ.

අධ්‍යක්ෂක Lal Jr.ගේ ඊළඟ නිර්මාණයට Tovino Thomas රංගනයෙන් එක් වීමට නියමිත බව නිළ වශයෙන් තහවුරු වූයේ මෙහි කැමරා අධ්‍යක්ෂ Alby Antony සිය Instagram ගිණුමේ පළ කළ ඡායාරූපයක් සමඟයි. එයින් පසු Nadikar Thilakam හි රූගත කිරීම් ඇරඹීමට සියල්ලම සූදානම් යැයි තහවුරු කරමින් පසුගිය සතියේදී නිළ announcement වීඩියෝපටයකුත් අන්තර්ජාලයට මුදා හැරුනා.

කේරළ මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ චිත්‍රපටය feel-good commercial entertainer නිර්මාණයක් බවත් දැනගන්න ලැබෙනවා. Lal Jr.ගේ පෙර චිත්‍රපට වගේම හාස්‍යය මුසු වුණු සරල කතාවකට ටොවිනෝගේ රංගනය මුසු කරන්නයි ඔහු මෙවර සූදානම් වෙන්නේ.

පසුගියදා නිකුත් කළ announcement වීඩියෝපටයට අනුව, මෙම චිත්‍රපටයේදී ටොවීනෝ විසින් නිරූපණය කරන්නේ “සුපර්සටාර් ඩේවිඩ් පඩිකල්” නැමැත්තෙකුගේ චරිතයක්. සෞබින් විසින් නිරූපණය කරන චරිතය “බාලා” ලෙස හැදින්වුවත්, ඒ ගැන වැඩි විස්තරයක් මාධ්‍යයට නිකුත් වී නැහැ.

මෑතකාලීනව Tovino Thomas රංගනයෙන් දායක වුණු නිර්මාණ කිහිපයක් හැර අනෙක් සියල්ලම පා‌හේ අසාර්ථක වුණු නිසා බොහෝ දෙනෙක් මේ නිර්මාණය ගැන සුබවාදී බලාපොරොත්තුවක් දක්වනවා. Nadikar Thilakam හි තිර පිටපත රචනයෙන් එක්වන්නේ STAR මලයාලම් සිනමාපටය රචනා කළ Suvin S. Somasekharan විසිනුයි.

අධ්‍යක්ෂක ලාල්ගේ පෙර චිත්‍රපටය වන Driving License හි සංගීත අධ්‍යක්ෂණය සිදු කළ Yakzan Gary Pereiraවම මේ චිත්‍රපටය සඳහත් සම්බන්ධ කරගෙන තිබෙන බවට සඳහන් වනවා. ප්‍රධාන කාන්තා චරිතය සඳහා Ahana Krishna සහ Aishwarya Lekshmi වැනි මලයාලම් නිළියන් කිහිපදෙනෙකු ගැන තොරතුරු කියවුණත්, ඒ බව තවමත් තහවුරු වී නැහැ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය හසුරුවන Alby Antonyත් මීට පෙර Tovino Thomas සමඟ නිර්මාණයකරණයේ යෙදුනු පුද්ගලයෙක්. පසුගිය වසරේ නිකුත් වුණු ටොවිනෝගේ Kaanekkaane සිනමාපටයේ Cinematographer වශයෙන් කටයුතු කළේ Albyයි.

2013 වසරේ Honey Bee චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි Lal Jr. විසින් Hi I’m Tony, Honey Bee 2 සහ Driving License වැනි සාර්ථක නිර්මාණ කිහිපයක්ම මලයාලම් සිනමාවට එකතු කළා. අධ්‍යක්ෂණයට අමතරව Asif Aliගේ UnderWorld (2019) සිනමාපටය සහ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Mammoottyගේ Bilal (2022) සිනමාපටය තුළින් නලළුවෙක් වශයෙනුත් ඔහුව දැකගන්න පුලුවන්.

2012දී Prabhuvinte Makkal හරහා රංගනයට පිවිසි ටොවිනෝ තෝමස් අද වනවිට මලයාලම් සිනමාවේ දක්නට ලැබෙන ජනප්‍රියම සිනමා තාරකාවක්. මුල සිට මේ දක්වාම එකිනෙකට වෙනස් පිටපත් තෝරා ගනිමින්, විවිධ චරිත අත්හදා බලන්නට කැමැත්ත දක්වන නළුවෙක් විදිහටයි Tovino Thomas ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. 2015 වසරේ Ennu Ninte Moideen චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පියාට හිමි Filmfare සම්මානය ජයග්‍රහණය කළ Tovino දමිළ සිනමාවේ ජනප්‍රිය වුණේ Maari 2 චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කිරීමෙන් පසුවයි. Mayanadhi, Theevandi, Guppy සහ Godha වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට ඔහු ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණා. පහුගිය දවස්වල ලාංකීය ප්‍රේක්ෂකාගාරයට ඔහු වැඩිපුරම සමීප වුණේ Luca (2019) සහ Minnal Murali (2021) චිත්‍රපට තුළිනුයි.

Dulqer Salamaan, Fahadh Faasil වැනි සීමිත පිරිසක් හැරුණු කොට බහුතරයක් ප්‍රාන්තීය නළු නිළියන්ට  කේරළයෙන් පිට එතරම් ජනප්‍රියත්වයක් නැහැ. නමුත් Tovino වටා කේරළයෙන් පිටත ඔහුටම ආවේණික ජනප්‍රියත්වයක් ගොඩ නැඟෙමින් තිබෙනවා. එමෙන්ම රංගනයට කිසිදු සම්බන්ධයක් නොතිබූ පවුල් පසුබිමකින් පැමිණි පුද්ගලයෙක් ලෙස සහ සහාය අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාවේ සිට ප්‍රධාන දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු දක්වා පැමිණි ගමනත් සුවිශේෂී වනවා.

පසුගියදා Netflix හරහා නිකුත් වුනු, මලයාලම් සිනමාවේ පළමු සුපර් – හීරෝ චිත්‍රපටය වන Minnal Murali ඔහුගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක්. එමෙන්ම, ඔහු අවසන් වතාවට රඟපෑ Thallumaaala (2022) සිනමාපටයත් සිය ප්‍රදර්ශනය අවසන් කළේ, ටොවිනෝ ප්‍රධාන චරිත රඟපෑ සිනමාපටයක් රැස් කරගත් ඉහළම ආදායම් වාර්තාවට හිමිකම් කියමින්.

Share

59 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.