ඩොක්ට ඩූලිට්ල් යළිත් සිනමාවට පිවිසෙයි

Avatar Kavinu Weerakkody | July 29, 2022 17 Views 0 Likes 0 Ratings

17 Views 0 Ratings Rate it

ඇමරිකාවේ සහ යුරෝපයේ පමණක් නොවෙයි, ලෝකයේම අතිශය ප්‍රසිද්ධියට පත් හාස්‍ය රංගන ශිල්පියෙකු වන Eddie Murphy මේ දිනවල ඔහුගේ නවතම සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා සූදානමින් සිටින බවට හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. කලක් ලෝකයේ අංක එකේ හාස්‍ය රංගන ශිල්පියා බවට පත්ව සිටි ඔහු නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වූවෙක්. Eddie Murphy මෑතකාලීන ලාංකීය ප්‍රේක්ෂකාගාරයට වැඩියෙන්ම සමීප වූයේ Dr. Dolittle ළමා චිත්‍රපට මාලාවත් සමඟයි.
දරුවන් උදෙසා තැනූ සෙසු ළමා චිත්‍රපටවලට වඩා එහි තිබූ සරල හාස්‍ය ගතිය නිසා ප්‍රදර්ශනය වූ සෑම රටකින්ම පාහේ ඊට ලැබුනේ බොහොම ජනප්‍රියත්වක්.

1983-2003 අතර කාල වකවානුව තුළ සිය ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් කළ Eddie Murphy, 2010 වසරෙන් පසුව කෙමෙන් කෙමෙන් රංගනයෙන් ඈත් වුනා. එතැන් පටන් ඔහු රඟපෑ නිර්මාණයක් තිරගත වුනේ බොහොම කලාතුරකිනුයි. කලකට පසු Eddie Murphy ප්‍රධාන චරිත නිරූපණය කළ Coming 2 America (2021) සිනමාපටය ගැන ඔහුගේ රසිකයින් බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියද, එය එතරම් සාර්ථක වූයේ නැහැ.

Coming 2 Americaට පසුව එඩී රංගනයෙන් එක්වන දෙවන චිත්‍රපටය වන මෙය Candy Cane Lane ලෙස නම් කර තිබෙනවා. මේ වනවිට දර්ශන තල තෝරා ගැනීම් ඇතුළු පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන මෙම චිත්‍රපටය holiday comedy ශානරයට අයත් වන්නක්. චිත්‍රපටය අධ්‍යක්ෂණයට ගිවිසුම්ගත වී තිබෙන්නේ දශක  හතරකට වැඩි කාලයක පටන් සිනමාවට සම්බන්ධව සිටින ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන Reginald Hudlinයි. කතා තේමාව පිළිබඳ විස්තර තවමත් වාර්තා වී නැති අතර මෙම වසර අග භාගයේදී ඇමරිකාවේ, ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ආශ්‍රිතව මෙහි රූගත කිරීම් ඇරඹීමට නියමිතයි.

රංගනයට අමතරව මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයා ලෙස නිෂ්පාදන පිරිවැය දැරීමට ද Eddie එක්ව තිබෙනවා. ඒ ඔහු ප්‍රධානත්වය දරන Eddie Murphy Productions සිනමා ආයතනය වෙනුවෙනුයි. ඔහුට අමතරව තවත් නිෂ්පාදකවරු තිදෙනකු මීට සම්බන්ධ වන අතර Amazon Studios ඉදිරිපත් කිරීමක් ලෙසින් සෙසු නිෂ්පාදන කටයුතු සිදු වනවා. දැනට මාධ්‍ය වාර්තා කරන අන්දමට නම්, මෙය සිනමාශාලා මගහරිමින් direct OTT ක්‍රමයට නිකුත් වන්නක් නොවෙයි. 2016න් පසු එඩී රඟපෑ එකදු නිර්මාණයක් හෝ සිනමා ශාලාවලට නිකුත් වී නැති නිසා, මෙය ලෝ පුරා පුළුල් සිනමාහල් ප්‍රදර්ශනයකට මුදා හරින්නට ඔවුන් සූදානම් වනවා.
විශේෂයෙන්ම Eddie Murphy යුරෝපීය රසිකයින්ට පමණක් සීමා නොවී ලෝ පුරාම දැවැන්ත ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින රංගන ශිල්පියෙකු නිසා මෙය ඔහුගේ comeback සිනමාපටය බවට පත් කරන්නටයි නිෂ්පාදකයින්ගේ අරමුණ වී තිබෙන්නේ.

මෙහි අධ්‍යක්ෂ Reginald Hudlin, හොලිවුඩ් රංගන ශිල්පී Eddie සමග සුසංයෝගයෙන් මීට පෙර 1992 වසරේදීත් චිත්‍රපටයක් නිපදවූ අතර එය, එම වසරේ වැඩිම ආදායම්ලාභී සිනමාපට ලැයිස්තුවට ද එකතු වුනා. Boomerang (1992) නමින් හැඳින්වෙන ඒ සිනමාපටයත් එඩීට හුරුපුරුදු comedy ශානරයටම අයිති වූ නිර්මාණයක්.
එයින් වසර විස්සකට පසු නැවතත් ඔවුන් දෙදෙනා එකතු වන මෙම චිත්‍රපටය ගැන අධ්‍යක්ෂක හඩ්ලින් දැක්වූයේ මෙවන් අදහසක්.

“The holiday season is my favourite time of year — just ask my family about my nine-hour Christmas playlist!
I’m excited to be working again with Eddie Murphy, Brian Grazer, and Amazon”

එමෙන්ම, මෙම Candy Cane Lane සිනමාපටයට සම්බන්ධ වන සෙසු නිෂ්පාදකරුවන් තිදෙනා වන්නේ ද Boomerang චිත්‍රපටය නිෂ්පාදනයට එඩී සමඟින් අත්වැල් බැඳගත් තිදෙනාමයි. Brian Gazer, Karen Lunder සහ Charisse Hewitt යන ඔවුන් තිදෙනා 1992දී Boomerang සඳහාත් සම්බන්ධ වුනා. අද ඔවුන් තිදෙනා නැවතත් Reginald Hudlin අධ්‍යක්ෂණය කරන, Eddie Murphy ප්‍රධාන චරිත නිරූපණය කරන, තවත් නවතම නිර්මාණයක නිෂ්පාදන පිරිවැය දරන්නට ඉදිරිපත්ව තිබෙනවා.
Imagine Entertainment සිනමා සමාගම වෙනුවෙන් මෙහි සම නිෂ්පාදන අයිතිය දරන Brian Gazer, එඩීගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන හත්වන අවස්ථාව වන්නේ මෙයයි.

මෙම සිනමාපටයේ කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ Kelly Younger විසිනුයි. Muppets Now, Muppets Haunted Mansion වැනි පරිගණක සජීවීකරණ චිත්‍රපට ගණනාවකම පිටපත් රචකයා වන්නේ ඔහුයි. ඊට අමතරව ඔහු Raya and the Last Dragon, Onward, Frozen 2 සහ Toy Story 4 වැනි ලෝක ප්‍රසිද්ධ ඇනිමේෂන් නිර්මාණ බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ වූ අයෙක්.

Variety හොලිවුඩ් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙය ඔහුගේ ස්වතන්ත්‍ර කතා සාරාංශයක් වන අතර කිසිදු ග්‍රන්ථයක් ආශ්‍රයෙන් රචනා වූවක් නොවෙයි. ඇතැම් ගොසිප් අඩවි විසින් මෙය එඩීගේ පැරණි චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් බවට සඳහන් කර තිබුණත් එය එසේ නොවන බවට නිෂ්පාදක කණ්ඩායම විසින් දැන් තහවුරු කර තිබෙනවා.
Kelly Younger සමඟින් තිර පිටපතෙ හි ඇතැම් සිද්ධීන් ගොඩ නැඟීම සඳහාත් Eddie Murphy දායක වී ඇති බවටයි පිළිගත් මූලාශ්‍ර සඳහන් කරන්නේ.

Share

17 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.