රිදී තිරයේ දුෂ්ටයා මහපොළවේ වීරයා වෙයි
බොලිවුඩ් නළු Sonu Sood කියන්නේ සිනමා තිරයේදී දුෂ්ට නළුවෙක්. ඔහු රඟපෑ බොහෝ චරිත රසිකයින්ගේ ආදරයට වඩා අවඥාවට තමයි ලක්වුනේ. හේතුව ඔහුට වැඩිපුරම ලැබුනේ දුෂ්ට නැතිනම් ප්‍රතිවීර චරිත. නමුත් තිරයේ ප්රතිවීරයා මහපොළව මත සැබෑ වීරයකු බවට පත්වුණු බවයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ, කොරෝනා වසංගත තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඔහු මහපොළවට පැමිණ සිදුකරමින් සිටින සමාජ සේවා කටයුතු හේතුවෙන්.
පහුගිය මාර්තු මාසේ 24 වැනිදා සිට ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත, නගර Lockdown කිරීමට එරට රජය තීරණය කළා. පළාත් අතර ගමනාගමනය ඇණහිටියේ සියළු ප්‍රවාහන ක්‍රමවේදයන් නවතා දැමීම හේතුවෙන්. මේ නිසා දහස් ගණන් අහිංසක ඉන්දීය වැසියන් අසරණ වුන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා. රැකියා පිණිස සිය ගම්බිම් වලින් පිටවී වෙනත් ප්‍රදේශ වලට ගිය මිනිසුන්, ගැහැණුන් සහ ඔවුන්ගේ ළමයින් ඇතුළු විශාල පිරිසක් කිසිදු රැකියාවක් නොමැතිවීමත්, නැවත පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොමැති වීමත් නිසා අවතැන් වුනා. සමහරුන් අත මුදල් තිබුණත්, මුදල් කරගත හැකි කිසිවක් තිබුනේ නැහැ වගේම කෑමට යමක් සොයාගැනීමත්, නවාතැනක් සොයා ගැනීමත් අසීරු වුනා. ඔවුන්ට ඉතිරිව තිබුනේ පමණයි. ඒ යන අතරමග වෙහෙස සහ අනතුරු නිසා 100කට අධික පිරිසක් මියගිය බවත් පැවසුනා.
ඉන්දීය නළු Sonu Sood මේ මිනිසුන් වෙනුවෙන් පෙරට එන්නේ එවැනි අවස්ථාවක. ඔහු මුලින්ම කලේ කෑම ආර්සල් 500ක් සකසාගෙන මේ මිනිසුන් වෙත යාම. මේ වෙනකොට ඔහු දිනකට කෑම පාර්සල් 45,000ක් දිනකට බෙදමින් සිටිනවා. “මම ඒ අයගෙන් ඇහුවා කොහොමද ගමට යන්නේ කියල, ඒගොල්ලෝ කිවුවේ අපි දිගටම ඇවිදිනවා කියල, ඒක මට අදහාගන්න බැරිවුනා. දන්නවද ඒ යට යන්න තියන දුර කිලෝ මීටර් 550ක්. මට හිතාගන්නවත් බැරි වැඩක් ඒක. මම ඔවුන්ගෙන් දවස් දෙකක් ඉල්ලගත්තා. ඒ අයව ගමට ගෙනියන්න ප්‍රවාහන පහසුකම් ලැහැස්ති කරන වැඩේට ඇත තිව්වේ එහෙමයි” BBC නාලිකාවේ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් සෝනු එලෙස පවසා තිබුනා.
මහාරාෂ්ට සහ කර්ණාටක ප්‍රාන්ත වලින් ප්‍රවාහන අවසරපත් ලබාගත් සෝනු සහ ඔහුගේ මිතුරා ගොයෙල්, බස්රථ 06ක් මගින් කොටස් වශයෙන් මේ පිරිස් ගම්බිම් වෙත යැවීමේ කටයුත්ත පටන් ගත්තේ එලෙසින්. ඔවුන් දිනකට පැය 18ක් මේ කටයුත්තේ නිරත වන බව ගොයෙල් පවසා තිබුනා.
“අන්තිම සංක්‍රමණික ඉන්දියානුවාත් තමන්ගේ නිවෙසට ගිය දවසටයි මම මේ වැඩේ නතර කරන්නේ” සෝනු එම සම්මුඛ සාකච්චාවේදී පවසා තිබුනා.
– BBC ඇසුරින් –
Written by Nisanka Weheraduwa