දමිළ නලු විජෙයි රඟපෑ තෙළිඟු ප්‍රතිනිර්මාණ 09ක්!

Avatar Kavinu Weerakkody | April 27, 2022 402 Views 0 Likes 0 Ratings

402 Views 0 Ratings Rate it

ඉන්දීය සිනමාව, උතුරු සහ දකුණු ඉන්දීය චිත්‍රපට වශයෙන් භූමි ප්‍රදේශය මුල්කරගනිමින් ප්‍රධාන බෙදීමකට ලක්ව තිබෙනවා. දකුණු ඉන්දීය සිනමාව තුළ දැකගත හැකි දමිළ, තෙළිඟු, කන්නඩා, මලයාලම් ආදී ප්‍රාන්තීය සිනමා කර්මාන්ත අතුරින් දැවැන්තම සිනමා සංස්කෘතීන් ද්විත්වය වන්නේ තෙළංගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් මුල් කරගත් තෙළිඟු සිනමාවත්, තමිල්නාඩුව මුල් කරගත් දමිළ සිනමාවත් ය.
එම සිනමා කර්මාන්ත ද්විත්වයම ඉතා තරඟකාරීව වසරකට විශාල සිනමාපට ප්‍රමාණයක් ඉන්දීය සිනමාවට මුදා හරිනු ලබනවා. සාර්ථකත්වය උදෙසා තරඟකාරීව ක්‍රියා කළද තෙළිඟු සිනමාවේ නලු නිළියන් දමිළ චිත්‍රපටවලත්… දමිළ සිනමාවේ නලු නිළියන් තෙළිඟු චිත්‍රපටවලත්… රංගනයෙන් දායක වනවා. මේ අතර, ඉහත ප්‍රාන්තීය සිනමාවන්ට අදාළ බොහෝ චිත්‍රපට හඬ කවා අනෙක් ප්‍රාන්තයේ තිරගත කිරීමත් කලක පටන්ම සිදු වන දෙයක්!

අද වන විට තමිල්නාඩුවේ නිෂ්පාදනය වන දමිළ චිත්‍රපට බොහෝමයක්, එම ප්‍රාන්තයේ සිනමා ශාලාවල තිරගත කිරීමට සමගාමීව තෙළංගානා ප්‍රදේශයේ සිනමාශාලා තුළද තිරගත කරනවා. තෙළිඟු ප්‍රාන්තවලදී මේ ආකාරයේ විශාල ආකර්ෂණයක් දැකගන්නට ලැබෙන දමිළ රංගන ශිල්පීන් අතර තලපති විජේ, අජිත් කුමාර්, රැජිනිකාන්ත් වැනි නලු නිළියන් විශේෂයි.

තලපති විජේගේ නවතම චිත්‍රපටය වන, මෙම අප්‍රේල් මාසයේදී තිරගත වීම ඇරඹි BEAST චිත්‍රපටයත් තෙළිඟු භාෂාවට හඬ කවා ප්‍රාන්තයේ විශාල සිනමාශාලා ප්‍රමාණයකට මුදා හැරියා. සාමාන්‍ය මට්ටමේ තෙළිඟු චිත්‍රපටයක් වෙනුවෙන් වෙන් වන සිනමාශාලා ප්‍රමාණයට නොදෙවෙනි theatres ජාලයක්ම ඒ වෙනුවෙන් ලබා ගැනීමට BEAST තෙළිඟු බෙදා හරින්නන් පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, චිත්‍රපටයට තෙළිඟු ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණේ ධනාත්මක ප්‍රතිචාරයක් නම් නොවෙයි. ඒ නිසාම දින කිහිපයක් ගත වෙද්දි බොහෝ සිනමාශාලාවලින් BEAST ගැලවී ගියේ ඒ වෙනුවට  KGF: Chapter 02 චිත්‍රපටයට ඉඩ ලබා දෙමිනුයි…

BEAST අසාර්ථක වුණත් තලපති විජේගේ වෙනත් චිත්‍රපට ගණනාවක්ම තෙළිඟු ප්‍රාන්ත තුළ සාර්ථක වී තිබෙනවා. එසේම ඔහුගේ ඊළඟ චිත්‍රපටය (Thalapathy66) නිෂ්පාදනය කරන්නේද වර්තමාන තෙළිඟු සිනමාවේ දැවැන්තම නිෂ්පාදකවරයෙකු වන Dil Raju විසිනුයි. ඊට සම්බන්ධ වන තාක්ෂණික ශිල්පීන් පිරිස සියල්ලම පාහේ තෙළිඟු සිනමාකරුවන් වීමත් විශේෂත්වයක්!

ඒ වගේම, තලපති විජේගේ චිත්‍රපට නාමාවලිය තුළ Thelegu Remakes ගණනාවක්ම දැකගත හැකියි. ඔහු රඟපෑ දමිළ භාෂාමය නිර්මාණ අතුරින් සැලකිය යුතු නිර්මාණ ප්‍රමාණයක් තෙළිඟු චිත්‍රපටවල දෙමළ ප්‍රතිනිර්මාණයි.
පහතින් දක්වා තිබෙන්නේ තලපති විජේ එසේ රඟපෑ තෙළිඟු ප්‍රතිනිර්මාණ කිහිපයක් පිළිබඳවයි…

Pelli Sandadi (1996) – Ninaithen Vandhai

1990 දශකය අග භාගයේදී අතිශය ජනප්‍රියත්වයට පත් වූ Pelli Sandadi චිත්‍රපටය සංගීතමය ආදර කතාවක්. K. Raghavendra Rao තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දුන්නේ Srikanth, Ravali සහ Deepti Bhatnagar විසිනුයි.
Ninaithen Vandhai යනුවෙන් දමිළ භාෂාවට ප්‍රතිනිර්මාණය වූ මෙහි Vijay සමඟින් Rambha, Devayani ප්‍රධාන චරිත රඟපෑවා. අධ්‍යක්ෂණය K. Selvabharathyයි.
ධනාත්මක ප්‍රතිචාර ලබමින් ජනප්‍රියත්වයකට පත්වූ මෙම නිර්මාණයේ ගීත ඇල්බමය තවමත් බොහෝ දෙනෙකුගේ ප්‍රියතම චිත්‍රපට ගීත ඇල්මබයක්. විශාල BoxOffice ආදායමක් ලබා ගැනීමට නොහැකි වුවත් ආදායම් අතින් සාර්ථක වෙමින් නිෂ්පාදන පිරිවැය සපුරා ගන්නටත් ඊට හැකියාව ලැබුනා.

Pavithra Bandham (1996) – Priyamaanavale

කාලයක් තෙළිඟු සිනමාවේ ජනප්‍රියතම ආදරවන්තයා වූ Venkatesh රඟපෑ Pvithra Bandham සිනමාපටය ආදායම් වාර්තා තබමින් තිරගත වූ ප්‍රේමණීය සිනමා නිර්මාණයක්. Venkatesh සමඟින් එහි රඟපෑ Soundarya අතර තිබුණු චරිත ගැළපීම Pvithra Bandham හි සාර්ථකත්වයට ඉතා විශාල බලපෑමක් කළ බවයි එකල විචාරකයින් පවා පැවසූයේ…
Muthyala Subbaiah අධ්‍යක්ෂණය කළ එම සිනමාපටය 2000 වසරේදී Priyamaanavale නමින් දමිළ බාසාවට ප්‍රතිනිර්මාණය වුණේ එකල තරුණ වියෙ හි සිටි Vijayව යොදා ගනිමිනුයි. Pvithra Bandham තරම් ජනප්‍රිය නොවුණත් සැලකිය යුතු මට්ටමේ ආකර්ෂණයක් දිනාගන්නට Priyamaanavale සිනමාපටයත් සමත් වූවා.

මෙහි විශේෂත්වය වන්නේ මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වූයේ ද විජේව යොදා ගනිමින් Pelli Sandadi තෙළිගු චිත්‍රපටය දමිළ බසට හැරවූ K. Selvabharathy නැමැති අධ්‍යක්ෂකවරයා වීමයි. මෙහි විජේ සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙවූයේ දමිළ රංගන ශිල්පිනී Simran විසිනුයි.
Priyamaanavale සිනමාපටයේ බලපෑම නිසාම කලක් දමිළ සිනමාව තුළ විජේ – සිම්රන් රංගන යුවළ අතිශය ජනප්‍රිය වූ බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා.

Badri (2000) – Badri

Puri Jagannadh මෑතකාලීන තෙළිඟු සිනමාවේ ගමන් මඟ වෙනස් කළ අධ්‍යක්ෂකවරයෙක් බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. වාණිජමය චිත්‍රපට නිර්මාණය කළත් ඔහුගේ සෑම සිනමාපටයකම එකිනෙකට ආවේණික සිනමා භාවිතයක් දක්නට ලැබෙනවා. ඉන්දීය සිනමාවේ Cult බිහි කළ සීමිත අධ්‍යක්ෂකරු කිහිප දෙනා අතරට ඔහුගේ නමත් එක් වන්නේ ඒ නිසායි.

අධ්‍යක්ෂක Puri Jagannadh සහ තෙළිඟු සිනමාවේ සුපිරි තරුව Pawan Kalyan සුසංයෝගයෙන් නිර්මාණය කළ Badri චිත්‍රපටය අදටත් හැඳින්වෙන්නේ ඒ ආකාරයේ cult classic නිර්මාණයක් විදිහටයි.
තෙළිඟු චිත්‍රපටය ලබා ගත් දැවැන්ත සාර්ථකත්වය නිසාම එහි අධ්‍යක්ෂකවරයා මෙය දමිළ බසට ප්‍රතිනිර්මාණය කරන්නට සූදානම් වූ අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඔහුගේ තේරීම වුණේ Thalapathy Vijayයි.

මුල් නිර්මාණයේ Pawan Kalyan, Amisha Patel, Renu Desai රඟපෑ චරිත සඳහා Vijay, Bhumika සහ Monal සම්බන්ධ වූ මෙම නිර්මාණය නම් කළේද මුල් චිත්‍රපටයේ නාමය වූ Badri ලෙසමයි. Mass Action රංගන ශිල්පියෙකු වශයෙන් තමන්ගේ රංගන වෘත්තිය ගොඩ නඟා ගැනීමටත් විජෙයිට මේ චිත්‍රපටය බෙහෙවින් බලපා තිබෙනවා. එකල වාර්තා තබමින් තමිල්නාඩුව පුරා තිරගත වූ මෙය දැවැන්ත Box Office සාර්ථකත්වයකුත් ලබා ගත් නිර්මාණයක්.

Chiru Navvuto (2000) – Youth

විජේ ප්‍රධාන චරිතය රඟපෑ, Youth නමින් 2002 වසරේදී තිරගත වූ දමිළ චිත්‍රපටය ද තෙළිඟු සිනමා නිර්මාණයක official remake එකක් බවට අන්තර්ජාලයේ සඳහන් වනවා. G Ram Prasad විසින් අධ්‍යක්ෂණය කළ මෙහි මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා තිබෙන්නේ Venu Thottempediයි. ඔහුට අමතරව රංගන ශිල්පිනි Prema සහ Shaheen ද Chiru Navvuto සිනමාපටයට එක්වී තිබෙනවා.

සාම්ප්‍රදායික modern romantic ශානරයට අයත් මෙහි තිර පිටපත රචනය සිදු කර තිබෙන්නේ තවත් සුප්‍රසිද්ධ තෙළිඟු අධ්‍යක්ෂකවරයෙකු වන Trivikram Srinivasanය. Agnyaathavaasi, Avarindha Sametha, Ala Vaikunthapurramuloo වැනි අතිශය ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට ගණනාවක මූලිකයා වන ඔහු Teen Maar,Jai Chiranjeeva, Bheemla Nayak ආදී තවත් නිර්මාණ ගණනාවකට තිර රචනයෙන්ද දායක වී තිබෙනවා.

2002 වසරේදී Youth නමින් දමිළ බසට හැරවුණු මෙහි විජේ සමඟින් රංගනයෙන් සම්බන්ධ වුණේ එකල ප්‍රසිද්ධ නිළියක වූ Sandhyaයි. අධ්‍යක්ෂණය Vincent Selvaගෙනි.

Nuvvu Naaku Nachav (2001) – Vaseegara

Vaseegara  චිත්‍රපටය නම් නිෂ්පාදකරුන් සිතූ තරම් ආදයම් අතින් සාර්ථක වූ නිර්මාණයක් නොවෙයි. එමෙන්ම විජෙයිගේ සෙසු චිත්‍රපට මෙන් ජනප්‍රියත්වයක් ලබා ගන්නටත් මීට හැකියාව ලැබුනේ නැහැ. චිත්‍රපටයේ ගීත ඇල්බමය පමණක් රසිකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත් වුනා.

කෙසේ වුවත්, Vaseegara නමින් දමිළ බසට හැරවුනු මේ චිත්‍රපටයත් විජේ රඟපෑ තෙළිඟු ප්‍රතිනිර්මාණ ගොන්නට එකතු වන තවත් එක් නිර්මාණයක්! මෙහි මුල් නිර්මාණය 2001 වසරේදී තිරගත වූ Nuvvu Naaku Nachav නැමැති තෙළිගු සිනමාපටයයි.
Venkatesh සහ Aarthi Agrawal රඟපෑ Nuvvu Naaku Nachav තෙළිඟු සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ K Vijayabaskaraයි. තිරපිටපත තිවික්‍රම් ස්‍රීනිවාසන්ගෙනි. Nuvvu Naaku Nachav හි Venkatesh, Brahmananda සහ Aarathi Agrawal රඟපෑ චරිතවලට මෙම දමිළ ප්‍රතිනිර්මාණය තුළ පණ පෙවූයේ පිළිවෙළින් Vijay, Sneha සහ Vadivelu විසිනුයි.

ඉහත සඳහන් කළ Ninaithen Vandhai සහ Priyamaanawalee චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා වූ K Selvabharathy විසින් විජෙයිව යොදා ගනිමින් නිපදවූ තෙවන තෙළිඟු චිත්‍රපට ප්‍රතිනිර්මාණය වන්නේ මෙයයි.

Neetho (2002) – Sachein

2002 වසරේදී තෙළංගානා ප්‍රාන්තය පුරා ප්‍රදර්ශනය වූ Neetho චිත්‍රපටය ඉන් වසර 03කට පසුව තමිල්නාඩුව පුරා තිරගත වූයේ Sachein යන නමිනුයි. මුල් නිර්මාණය පවා එතරම් සාර්ථක නොවූ පසුබිමක මෙහි remake rights ලබා ගත් නිෂ්පාදකරවරුන් එය දමිළ බසින් නිපදවන්නේ ඇයි ද යන්න එකල බොහෝ දෙනෙක්ට තිබූ ගැටලුවක්. ඔවුන් බොහෝමයක් පැවසූයේ මෙය එතරම් සාර්ථක නොවනු ඇති බවටයි.

Johan Mahendran අධ්‍යක්ෂණය කළ මෙම ‘Sachein’ දමිළ සිනමාපටයේ විජෙයි හැරුණුකොට එකල සිටි තවත් දක්ෂතම නිළියන් දෙදෙනෙක් ප්‍රධාන චරිත නිරූපණය කළා. ඒ Bishapa Basu සහ Geneliaයි.

කෙසේ වූවද විජෙයිගේ රංගනය සහිත Sachein සිනමාපටයට සිදු වූයේත් තෙළංගානා ප්‍රාන්තයෙන් මුල් නිර්මාණය ලබා ගත් ප්‍රතිචාරය මෙන්ම ඇල්මැරුණු, සෘණාත්මක ප්‍රතිචාරයක් ලබා ගන්නටයි. මෙහි බොක්ස්-ඔෆිස් ආදායම පවා නිෂ්පාදන පිරිවැය සපුරා ගන්නට නොහැකි මටම්මටකයි පැවතුණේ…

Okkadu (2003) – Ghilli

ලංකාවේ ප්‍රේක්ෂකාගාරය දමිල රංගන ශිල්පී විජෙයිව හඳුනාගත් චිත්‍රපටය මෙන්ම, මෙරට රසිකයින් පිරිසක් ඔහු වටා රොක් වීමට වැඩියෙන්ම බලපෑ චිත්‍රපටය වශයෙන් හැඳින්වෙන්නේ 2004 වසරේදී තිරගත වූ මේ Ghilli සිනමා නිර්මාණයයි.

Ghilli චිත්‍රපටයට පාදක වන්නේ 2003 වසරේදී නිපදවූ Okkadu නැමැති තෙළිඟු භාෂාමය නිර්මාණයයි. Gunasekhar විසින් අධ්‍යක්ෂණය කළ එය මහේෂ් බාබුගේ ප්‍රධාන රංගනයෙන් හැඩවී තිබුනා. SuperStar Mahesh Babdu මෙන්ම Prakash Raj සහ Bhumika Chawla ද Okkadu චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා.

මෙම මුල් නිර්මාණය දමිළ බසට හරවා Dharani විසින් Ghilli නමින් නිපදවූ අතර එය විජෙයිගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සංදිස්ථානයක් බවටත් පත් වූවා. එතෙක් කාලයක් තමිල්නාඩුවේ තවත් එක් සාමාන්‍ය නලුවෙක්ව සිටි විජෙයි Ghilli හි සාර්ථකත්වයත් සමඟ ප්‍රාන්තයේ දැවැන්තම රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවටත් එක් වුනා. කබඩි ක්‍රීඩකයෙකු සහ ඔහුට අහම්බයෙන් හමුවන තරුණියක වටා ගෙතෙන Ghilli චිත්‍රපටය පසුකාලීනව “කබඩි” නමින් සිංහල භාෂාවෙනුත් නිර්මාණය වුනා.

Athanokkade (2005) – Aathi

Ramana තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ, S A Chandrasekhar නිෂ්පාදනය කළ, Aathi දමිළ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ විජෙයි සහ ත්‍රිෂා විසිනුයි. එය 2006 වර්ෂයේදී නිකුත් වූ Action Thriller ශානරයට අයත් වූ නිර්මාණයක්.

චිත්‍රපටය නිකුත් වීමට පෙර බොහෝ දෙනෙක් මේ ගැන උනන්දුවෙන් සිටියද තිරගත කළ පසු Aathi චිත්‍රපටයට ලැබුණේ එතරම් සුබදායක ප්‍රතිචාරයක් නම් නොවෙයි. අවසානයේදී ඊට සිය නිෂ්පාදන පිරිවැය සපුරා ගන්නටත් නොහැකි වූ අතර රසිකයින් අතරේ ආකර්ෂණයට ලක් වූයේත් නැහැ.
කෙසේ වුවත් Aathi සිනමාපටයත් ඊට පෙර නිකුත් වූ තෙළිඟු නිර්මාණයක ප්‍රතිනිර්මාණයක් බවට අන්තර්ජාලයේ සඳහන් වනවා. ඒ Kalyan Ram සහ Sindhu Tolani රඟපෑ Athanokkade (2005) චිත්‍රපටයේ දමිළ ප්‍රතිනිර්මාණය ලෙසයි.

Pokkiri (2006) – Pokkiri

රංගන ශිල්පී විජෙයිගේ එදා මෙදා’තුර සිනමා ජීවිතයේ දැවැන්තම සහ සාර්ථකම චිත්‍රපට කිහිපයෙන් එකක් වන Pokkiri දමිළ චිත්‍රපටය දින 200කට වඩා කාලයක් එකදිගට තමිල්නාඩුව පුරා තිරගත වුනා.
එමෙන්ම Action Hero කෙනෙකු විදිහට රසිකයින් අතරේ ස්ථාවර වෙන්නටත් Pokkiri චිත්‍රපටය විජෙයිට බෙහෙවින්ම උපකාරී වුනා.

2007 වසරේදී තිරගත වූ මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළේ Prabhu Deva විසිනුයි. Vijay සමඟින් Asin ප්‍රධාන චරිත රඟපෑ එය එකල තමිල්නාඩුවේ ආදායම් වාර්තා ගණනාවකුත් අලුත් කළේ විජෙයි වටා සිටි දැවැන්ත රසිකයින් ප්‍රමාණය නැවත නැවතත් සනාථ කරමින්…

තමිල්නාඩුවෙන් පිටත ප්‍රදේශවලත් විජෙයිට දැවැන්ත සාර්ථකත්වයක් අත්කර දුන් මෙම දමිළ නිර්මාණයට පාදක වූයේත් Super Star Mahesh Babu රඟපෑ තෙළිඟු චිත්‍රපටයකුයි. දමිළ නිර්මාණය මෙන්ම ඒ මුල් නිර්මාණය හැඳින්වූයේ ත් Pokkiri යනුවෙනුයි. දමිළ චිත්‍රපටය විජෙයිගේ සිනමා ජීවිතයට සෘජු බලපෑමක් ඇති කළා සේම, මුල් තෙළිඟු චිත්‍රපටය නිසා Mahesh Babuගේ සිනමා ජීවිතයත් හොඳින් ස්ථාවර වුනා.

– තොරතුරු උපුටා ගැනීම Time of India වෙතිනි –

Share

402 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.