ප්‍රසන්න විතානගේ වසර 5කට පසු යළිත් සිනමාවට; ගාඩි සහ RRR සංස්කරණය එකම පුද්ගලයෙකුගෙන්

Avatar Kavinu Weerakkody | January 20, 2023 130 Views 0 Likes 5 On 1 Rating

130 Views 5 On 1 Rating Rate it

ප්‍රසන්න විතානගේ, මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසට බොහෝ රසිකයින් විසින් සලකන්නේ නිතැතින්මයි. 1991 වසරේ සිට පුරා දශක තුනකට අධික කාලයක් සිනමා නිර්මාණකරණයේ යෙදෙන ඔහු, අධ්‍යක්ෂකවරයෙක්ට අමතරව තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් ලාංකීය සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිනවා.

පුරහඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම්, අනන්ත රාත්‍රිය, ඔබ නැතුව ඔබ එක්ක වැනි නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වූ ප්‍රසන්න විතානගේ අවසාන වතාවට අධ්‍යක්ෂණය කළේ 2018 වසරේ නිකුත් වූ “තුන්දෙනෙක්” සිනමාපටයයි. අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරගේ සම අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය කළ එයින් වසර පහකට අධික කාලයක් ගතවී තිබුනද, ඔහු අධ්‍යක්ෂණය කළ නව සිනමාපටයක් මේ දක්වාම ප්‍රේක්ෂකයින්ට නරඹන්නට අවස්ථාව උදා වුනේ නැහැ.

කෙසේ වුවත් එම දිගු විරාමය අවසන් කරමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය, “ගාඩි” අද (20) සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම අරඹනවා.

සජිත අනුත්තර සමඟින් ඩිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත රඟන ගාඩි (Children of the Sun) සිනමාපටයට පාදක වී තිබෙන්නේ මෙරට අවසාන – ස්වාධීන රාජධානිය වූ මහනුවර යුගයේ අග භාගයේදී සිදු වූවා යැයි සැලකෙන සිද්ධි මාලාවකුයි.

1815 වසරේදී උඩරට අධිකාරම්වරු සහ සිංහල රදළයින් කිහිප දෙනෙකු එක්වී, බ්‍රිතාන්‍යයින්ගේ ද සහාය ඇතිව කන්ද උඩරට නායක්කර් වංශික රජුට එරෙහිව කැරලි ගසන නමුත් අවසන් මොහොතේදී එම කැරැල්ල අසාර්ථක වනවා. රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇහැලේපොළ අධිකාරම්, බුලත්ගම දිසාවේ ඇතුළුව කැරැල්ලට සහාය දුන් රදළයින් සියලු දෙනාටම සිදු වන්නේ තම ජීවිතය බේරා ගැනීම පිණිස උඩරට රාජධානියෙන් පලා යෑමටයි.
කන්ද උඩරට රජු විසින් කැරැල්ලට සම්බන්ධ වූ රදළයිනුත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාවමත් රාජ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසන අතර ද්‍රෝහීන්ගේ පවුල්වල බිරින්දෑවරු සහ කාන්තාවන් සියලු දෙනාවම කුලහීන රොඩීන්ට සරණ පාවාදීමට අණ කරනවා.
රොඩීන් සමඟ අඩු කුලයකට එක් වනවාට වඩා, තම කුල ගෞරවය සහ ස්වාමිභක්තිය ආරක්ෂා කර ගනිමින් මිය යෑම ගෞරවාන්විත යැයි තීරණය කරන රාජ ද්‍රෝහී කාන්තාවන් මහවැලි ගඟට පැන සිය දිවි තොර කරගන්නේ ඉන්පසුවයි.

නමුත් ඔවුන් අතර සිටි “ටිකිරි” නැමැති තරුණ රදළ කාන්තාව ගඟට පැනීම ප්‍රතික්ෂේප කරන අතර එවෙලෙහි ම ඇයව ඉහළ කුලයෙන් පිටමං කොට “විජයා” නැමැති රොඩී රැහේ තරුණයෙකු භාරයට පත් කරනවා.
විජයා ඇයව රොඩී බිරිඳක් බවට පත් කර ගැනීමට උත්සාහ දරන අතරෙ හි, ටිකිරි රොඩී ගැහැණියක නොවී සිටීමට සටන් කරනවා.
ගාඩි සිනමාපටය ගෙතෙන්නේ එතැන් පටන් ඔවුන්ගේ ජීවිතවල මුහුණ දෙන හැලහැප්පීම් සහ බාධකත්, ඔවුන් දෙදෙනා තුළ ගොඩ නැඟෙන ආදරය සහ විශ්වාසයත් පිළිබඳවයි..!!

විජයා නැමැති රොඩී රැහේ යෞවනයාගේ චරිතය නිරූපණය කරන්නේ මේ දිනවල විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින තරුණ නලුවෙකු වන සජිත අනුත්තර විසිනුයි. 2008 වසරේදී අබා සිනමාපටයෙන් පසුව ඔහු එක්වන පළමු චිත්‍රපට රංගනය වන්නේ ද මෙයයි. ටිකිරි නැමැති රදළ තරුණියගේ භූමිකාව රඟපාන්නේ ඩිනාරා පුංචිහේවායි.
ඇහැළේපොළ අධිකාරම් චරිතය රවීන්ද්‍ර රන්දෙණිය විසිනුත්, බුලත්ගම දිසාවේ චරිතය ශ්‍යාම් ප්‍රනාන්දු විසිනුත් රඟ දක්වනවා.
ඊට අමතරව අයිරාංගනී සේරසිංහ, දමයන්ති ෆොන්සේකා, තුසිත ලක්නාත්, ආනන්ද කුමාර උන්නැහෙ, කළණ ගුණසේකර, නෙතලි නානයක්කාර, මොහොමඩ් ඇඩම් අලී, ඩිස්නි රාජපක්ෂ සහ ජයබාලන් වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක් ගාඩි (Children of the Sun) චිත්‍රපටයේ සෙසු චරිත තුළින් ඔබට දැකගත හැකියි.

ගාඩි (Children of the Sun) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය:

ලෝ පුරා සිනමා උළෙලවලදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ගාඩි සිනමාපටයට බුසාන් අන්තර්ජාතික සිනමා උළෙල, රොට’ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල ඇතුළු විදෙස් Film Festivals දහයකට ආසන්න ප්‍රමාණක් නියෝජනය කිරීමට ද හැකියාව ලැබුනා.
2020 වර්ෂයේදී පැවැත්වුනු 18වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘ආසියානු තරඟකාරී අංශය’ නියෝජනය කරමින් ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමටත් ගාඩි සමත් වූවා.

මෙහි පළමු අන්තර්ජාතික ප්‍රදර්ශනය සිදු වුනේ 2019 ඔක්තෝබර් මාසයේදී Busan International Cinema Festival තුළයි.

ගාඩි, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ දසවන දිගු වෘතාන්ත චිත්‍රපටය වන අතර තිර පිටපත් රචනය සිදු කොට තිබෙන්නේ ද ඔහු විසිනුයි. සෙසු ලාංකීය සිනමාපට හා බලන විට, ගාඩි චිත්‍රපටයේ තාක්ෂණික ශිල්පීන් පිරිසට ද සුවිශේෂීත්වයක් හිමිවනවා. ඒ මෙහි ප්‍රධාන තාක්ෂණික ශිල්පීන්ගෙන් බහුතරයක් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමාකරුවන් වන නිසායි.

ගාඩි (Children of the Sun) චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වී තිබෙන්නේ දකුණු ඉන්දියානු මලයාලම් සිනමාවේ දැවැන්ත සිනමා පෞරුෂයක් වන රාජිව් රවී (Rajeev Ravi) යි. Gangs of Wasseypur, Bombay Talkies, Moothon , Udta Punjab වැනි ජනප්‍රිය නිර්මාණ ගණනාවක කැමරාව හැසිරවූ ඔහු Annayum Rasoolum, Kammatipaadam, Thuramukham ආදී මලයාලම් සිනමාපටවල අධ්‍යක්ෂකවරයා ද වනවා.
මලයාලම් සිනමාකරුවෙකුට තම ජීවිතය තුළ ලැබිය හැකි ඉහළම ප්‍රාන්තීය සම්මානය ලෙස හැඳින්වෙන “කේරළා ප්‍රාන්ත සම්මානයෙන්” ද රාජිව් රවී වරෙක පිදුම් ලැබුවා.

ගාඩි සිනමාපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළ A. Sreekar Prasad දමිළ – හින්දි – තෙළිඟු – මලයාලම් ආදී භාෂා 17ක චිත්‍රපට 600කට අධික ප්‍රමාණයක් සංස්කරණය කළ ප්‍රවීණ සිනමාකරුවෙක්. ඔහුගේ සංස්කරණයෙන් හැඩ වුනු Ponniyin Selvan, RRR, Shershah, Saaho, Raavan, Spyder වැනි ඉන්දියානු සිනමාපට මෙරට රසිකයින් අතරේ අතිශය ප්‍රසිද්ධයි.

ගාඩි නිෂ්පාදනය වී තිබෙන්නේ ද ඉන්දු – ලංකා හවුල් චිත්‍රපටයක් (Joint Production) ලෙසයි. එඩ් ඩී ප්‍රේමසිරි සහ සන්ධ්‍යා සල්ගාදු මෙරට නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරන අතර Jar Pictures ලේබලය යටතේ ඇලන් ඇලෙක්ස් සහ අජෙයි රායි ඉන්දියානු නිෂ්පාදකයින් ලෙස හවුල්වී තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ප්‍රසන්න විතානගේ මෙහි තවත් සම නිෂ්පාදකවරයෙක්.

අද (20) සිට PVR, CCC, Scope සහ KCC ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී ඔබට “ගාඩි” නැරඹිය හැකියි.
ලංකාව පුරා ගාඩි තිරගත වන සිනමාශාලාවල සම්පූර්ණ නාමාවලියක් පහතින් දක්වා තිබෙනවා.

සී.සී.සී සිනමා – කොළඹ
පී.වී.ආර් සිනමා – කොළඹ
නිව් චම්පිකා සිනමා – ඉංගිරිය
නිව් නන්දා සිනමා – නිකවැරටිය
රෝයල් සිනමා – මීගමුව
ෂැම්රොක් සිනමා – වෙන්නප්පුව
ගාමිණි සිනමා – ඇහළියගොඩ
ශ්‍රියා සිනමා – වාරියපොළ
ලිබර්ටි බයිස්කොප් – කිරිබත්ගොඩ
මැක්ස් ලයිට් සිනමා – මොරටුව
ස්කයි ලයිට් සිනමා – මාතර
ඊ.ඩී.සී – කැකිරාව
ඇමිටි ලයිට් සිනමා – මහරගම
ස්කයිලයිට් සිනමා – මාළඹේ
විස්ටා ලයිට් සිනමා – ජා ඇල
විජේන්ද්‍ර සිනමා – අනුරාධපුර
එන්.අයි.ටී – කුරුණෑගල
එන්.අයි.ටී – රත්නපුර
එන්.අයි.ටී – යටියන්තොට
රමෝගා සිනමා – වෙන්නප්පුව
මහලේකම් සිනමා – කුලියාපිටිය
ප්‍රින්ස් – ගාල්ල
එමෙස් සිනමා – මොරටුව
නිව් රේඛා සිනමා – කඩුවෙල
රිට්ස් සිනමා – බොරැල්ල
රිකී සිනමා – කොටුව
ලිබර්ටි සිනමා – කොළඹ
සිටි සිනමා – ගල්කිස්ස
හිමාලි සිනමා – කිරිබත්ගොඩ
ප්ලාසා සිනමා – කළුතර
සිටි සිනමා – කොච්චිකඩේ
කේ.සී.සී
මිලානෝ සිනමා – කෑගල්ල
සරසවි සිනමා – අලව්ව
නිකාඩෝ සිනමා – කඩවත
එම්.සී සුපීරියර් – කොළඹ
රීගල් සිනමා – ගම්පහ
ලයිට් සිනමා – හෝමාගම
ප්‍රිස්කා – කළුතර
රීගල් සිනමා – නුවරඑළිය
සී.කේ සිනමා – කිරිඳිවැල
සිනෙක්ස්පෝ සිනමා – කුරුණෑගල
ජෝති සිනමා – රත්නපුර
සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත
සැවෝයි – රාජගිරිය
සිනෙමැක්ස් – ජා ඇල
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
සැවෝයි මෙට්‍රෝ – මහරගම
විල්මැක්ස් – අනුරාධපුර

Share

130 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.