බොලිවුඩයට Remake වෙන දකුණු ඉන්දියානු චිත්‍රපටි
බොලිවුඩ් සිනමාව; එහෙමත් නැතිනම් හින්දි සිනමාව තමයි තවමත් ඉන්දියානු චිත්‍රපටි කර්මාන්තයේ මුහුණත විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මොකද මේ දක්වා ඉන්දියාවෙන් බිහි වුණ දැවැන්තම චිත්‍රපට සියල්ලටම පාහේ නිවහන වුණේ බොලිවුඩය. හැබැයි මෑත වසර කිහිපයක ඉඳන් මේ තත්වය වෙනස් වෙලා තියෙනවා. මෑතක ඉඳන් හින්දි සිනමාව නියෝජනය කරන උතුරු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට වඩා ප්‍රබල විදිහට දකුණු ඉන්දියානු සිනමාවෙන් අති දැවැන්ත projects ආරම්භ කරන්න ගත්තා. හින්දි චිත්‍රපට කර්මාන්තයට සෘජුවම බලපෑම් කරපු දකුණු ඉන්දියානු චිත්‍රපට හැදෙන්න ගත්තා.
මේ වගේ හේතු නිසා අද වෙනකොට ඉන්දියාව ඇතුළේ වැඩිම pan-indian projects නිර්මාණය වෙන කර්මාන්තය වෙන්නෙත් දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයම තමයි. ඔවුන් මේ විදිහට තමන්ගේ උපරිම සාර්ථකත්වයට ළඟා වෙනකොට බොලිවුඩය පැත්තෙන් ඇහෙන්න ගත්තේ එච්චර සුබදායක ආරංචි නම් නෙමෙයි. කොන්සෙප්ට් හිඟකම සහ ආධුනිකයින්ට ලැබෙන අවස්ථාවල සීමාකම් වැනි හේතු නිසා බොලිවුඩය කෙමෙන් කෙමෙන් දකුණු ඉන්දියානු චිත්‍රපට පැත්තට යොමු වුණා. වෙනදට වඩා වැඩි වශයෙන් සවුත් ඉන්දියන් චිත්‍රපටි remake කරන්න පටන් ගත්තා. අද වෙනකොට මේ තත්වය උපරිමයකට ළඟා වෙලා ඉවරයි. එක පිට එක, remake announcements දෙන තැනටම මේ වෙනකොට බොලිවුඩය පත් වෙලා තියෙනවා. බොලිවුඩයට ආදරය කරපු හින්දි සිනමා රසිකයින්ගේ බලාපොරොත්තු කැඩෙන තැනටම උතුරු ඉන්දියානු සිනමාව ළඟා වෙලා.
Master Remake – Tamil
“2021 mainstream දෙමළ සිනමාවේ දැවැන්තම නිර්මාණය” කියන tag එක තවමත් අයිති වෙන්නේ Master චිත්‍රපටියට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Lokesh Kanagaraj කියන අධ්‍යක්ෂකවරයා. කාර්තික්ගේ Kaithi හරහා ජනප්‍රියත්වයට පත් වුණු Lokesh, තමන්ගේ ඊළඟ නිර්මාණය තලපති විජේ සමඟ සිදු කරන බවට දැනුම් දුන් දවසේ ඉඳන්ම තමිල්නාඩු සිනමා රසිකයෝ හිටියේ බොහොම නොඉවසිල්ලෙන්. lokeshගේ uniqu අධ්‍යක්ෂණයට Vijayගේ mass actions එකතු වුණු නිර්මාණයක් බලාපොරොත්තුවෙන් හිටපු රසිකයන් හින්දම කෝවිඩ් වසංගතය මැද්දේ වුණත් Master සිනමාපටයට ලැබුණේ දැවැන්ත සාර්ථකත්වයක්. Master හි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු කෝටි 250කට අධිකයි.
Master චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයකුත් මේ වෙද්දි confirm කරලා ඉවරයි. චිත්‍රපටිය සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙන දිනවලමයි මේ ගැනත් මුලින්ම තොරතුරු දැනගන්න ලැබුණේ. හැබැයි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සහ news එක confirm වුණේ ඊට පසු කාලයක. ඒ අනුව හින්දි ප්‍රතිනිර්මාණය සඳහා තෝරගෙන තිබුණේ Salman Khanවයි. මුල් නිර්මාණය අධ්‍යක්ෂණය කළ Lokesh Kanagaraj විසින්ම මෙයත් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් තවමත් මාධ්‍යයට නිකුත් වෙලා නැහැ. නමුත් සල්මන්ගේ upcoming movies ලැයිස්තුවේ මුල් නිර්මාණ අතරේ මේ ප්‍රතිනිර්මාණයත් දැකගන්න අවස්ථාව ලැබේවි. Endemol Shine නිෂ්පාදනයකි.
Drishyam 02 Remake – Malayalam
මෙම මලයාලම් සිනමාපටය, යම් කාලයකදි මුලු ඉන්දියාවම හොල්ලපු සිනමාපටයක්. හින්දි, දමිළ, තෙළෙඟු ආදී ප්‍රාන්තීය භාෂා ගණනාවකටම Drishyam චිත්‍රපටය remake වුණා. චීන භාෂාවට ප්‍රතිනිර්මාණය වූ පළවෙනි ඉන්දියානු චිත්‍රපටය වන මෙය, කේරළයේ Industry Hit එක බවටත් පත් වුණු සිනමාපටයක්. Drishyam කියන්නේ ලංකාවේ අපිටත් හොඳට හුරුපුරුදු නිර්මාණයක්. මොකද, කලකට පෙර අපේ රටේ තිර ගත වුණු “ධර්ම යුද්ධය” තමයි මේ මලයාලම් සිනමාපටයේ නිළ සිංහල ප්‍රතිනිර්මාණය වෙන්නෙත්. Drishyam චිත්‍රපටියට සීක්වල් නිර්මාණයක්, එහෙමත් නැතිනම් දෙවන දිගහැරුමක් නිපදවෙන බවට මුලින්ම දැනුම් දුන්නේ කෝවිඩ් වසංගත තත්වය මැදදි. ඉන්දියාවේ ප්‍රාන්ත අතර සංචරණය සීමා කරමින් දැඩි නීති පැනවූ කාලයක තමයි පළමු නිර්මාණයේ අධ්‍යක්ෂක Jeethu Joseph විසින් මේ සීක්වල් නිර්මාණය රූපගත කරන්නේත්. සුලු නිෂ්පාදන පිරිවැයකින් නිපදවුණු Drishyam 02, සිනමාශාලා ප්‍රදර්ශනයටවත් යොමු නොකර Amazon Prime හරහා Direct OTT release එකක් විදිහට ප්‍රේක්ෂකයින්ට මුදා හරිනවා.
රසිකයින්වත් නොහිතපු තරමේ successful visual treat එකක් වුණු Drishyam 02 මලයාලම් සිනමාපටයට ලැබුණු අතිශය ධනාත්මක විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම මේ නිර්මාණයත් හින්දි භාෂාවෙන් remake කරන්න ඉල්ලීම් ඉදිරිපත් වුණා. අද වෙනකොට Drishyam 02 හින්දි ප්‍රතිනිර්මාණය සිදු කරන බවට තහවුරු වී අවසන් වුණත් එහි අධ්‍යක්ෂකවරයා කවුරුන්ද යන වග තහවුරු කරලා නැහැ. අජේ දෙව්ගන් රඟන පළවෙනි Drishyam හින්දි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Nishikant Kamat වුණත්, 2020 වසරේදී ඔහු මෙලොවින් සමුගත්තා. මුල් හින්දි චිත්‍රපටය නිෂ්පාදනය කළ Panorama Studios ආයතනයෙන්මයි, දෙවන චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණ අයිතිය ලබාගෙන තිබෙන්නේත්.
Vikram Vedha Remake – Tamil
R.Madhavanගේ සිනමා ජීවිතයේ සාර්ථකම චිත්‍රපටයක් ලෙස සැලකෙන Vikram Vedha දමිළ සිනමාපටයත් හින්දි භාෂාවට ප්‍රතිනිර්මාණය වනවා. හැබැයි Vikram Vedha හින්දි ප්‍රතිනිර්මාණයේ වැඩ කටයුතු පටන් ගන්නට නිෂ්පාදකයින් සූදානම් වුණේ අද ඊයේ නම් නෙමෙයි. මේ ගැන මුලින්ම මාධ්‍ය දැනුවත් කළේ 2018 වසරේදීයි. මුල් දමිළ නිර්මාණය අධ්‍යක්ෂණය කළ Pushkar–Gayathri යුවල විසින්මයි මෙයත් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙන්නේ. හැබැයි යම් යම් ගැටලු කිහිපයක් නිසා 2018 සිට මේ වනතුරුම රූගත කිරීම් පටන් ගන්නට ඔවුන්ට නොහැකි වුණා.
Saif Ali Khan පොලිස් නිලධාරී චරිතයත්, Aamir Khan විසින් මැරවරයාගේ චරිතයත් නිරූපණය කරන බවට 2019 අගෝස්තු මාසයේදී තහවුරු වුණත් එක්වරම බලපෑ කෝවිඩ් වසංගතය හමුවේ චිත්‍රපටියේ සියලුම කටයුතු ඇණ හිටියා. ඒ අතරේදී තමයි, Aamir Khan චිත්‍රපටයෙන් ඉවත් වූ බවට වාර්තා වන්නේ. ඔහුගේ ඉවත් වීමෙන් පසු ඔහු වෙනුවට replace වෙන්නේ Hrithik Roshanjවයි. ඒ අනුව, රිතික් සහ සායිෆ්ගේ රංගනයෙන් හැඩවන මේ හින්දි ප්‍රතිනිර්මාණය අපිට 2022 වසරේ සැප්තැම්බර් 30වනදා දැකගන්න අවස්ථාව ලැබේවි.
Ratsasan Remake – Tamil
බොලිවුඩය විසින් ප්‍රතිනිර්මාණය කරන්නට යන නවතම දකුණු ඉන්දීය සිනමාපටය විදිහට වාර්තා වෙන්නේ මෙම Ratsasan දමිළ චිත්‍රපටයයි. කලක සිටම, ගොසිප් අඩවි තුළින් මේ ගැන විවිධ ආරංචි පැතිරුවත් නිළ වශයෙන් තොරතුරක් මාධ්‍යයට වාර්තා වුණේ පසුගිය ජුනි 30 වෙනිදයි. ඒ අනුව මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නට තෝරාගෙන තිබෙන්නේ Akshay Kumarවයි. ඉදිරියේදී තිරගත වීමට නියමිත Akshayගේ Bell Bottom චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Ranjit Tewari විසින්ම මෙයත් අධ්‍යක්ෂණය කරන බවට තොරතුරු පළ වෙනවා. චිත්‍රපටයේ නම විදිහට යෝජනා වී ඇත්තේ Mission Cinderella යන්නයි. චිත්‍රපටයේ රූගත කිරීම් අරඹන බවට තහවුරු වුණත් title එක ගැන නම් තවමත් තහවුරු වෙලා නැහැ. මෙම වසර අග භාගයේදී නිෂ්පාදන කටයුතු ඇරඹෙන බවටත් අන්තර්ජාලයේ සඳහන් වනවා.
Written by Nisanka Weheraduwa