මගේ නම වෙනස් කරගන්න කිවුවා – Jacqueline Fernandez
තමන් ජීවත් වුන රට වෙනස් කරලා වෙනත් රටක පදිංචියට යනවා කියන එක එක විදිහක අභියෝගයක්. තවත් විදිහකට ගත්තොත් අවදානමක්. එකෙදි කාරණා දෙකක් විය හැකියි. එක්කෝ ඔබ අලුතින් යන ගමන නොසිතූ තරම් සාර්ථක වන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ සම්පුර්ණයෙන් අසාර්ථක වෙලා හුදෙකලා වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් කෝකද කියන එක ඔබේ තේරීමක්. කිසිවෙක් කැමැත්තෙන් අසාර්ථක නොවන බවට ඔබ තර්ක කරාවි. නමුත් අසාර්ථක වෙන්න 100ක් අවස්ථා සහ හේතු ඇතුවත් එක හේතුවක් පසුපස හඹාගොස් සාර්ථක වන්නත් කෙනෙකුට හැකි බව අමතක නොකළ යුතුයි. අවස්ථා කිහිපයකදීම තමන් ජීවත් වන රට වෙනස් කළ, අද වනවිට ලෝකයම හඳුනන චරිතයක් බවට පත්වූ ඈ, ඇගේ ගමන ගැන පසුගියදා අපූරු අදහස් කිහිපයක් ප්‍රේක්ෂකයින් සමග බෙදාගෙන තිබුනා. ඇගේ කතාබහෙන් උපුටාගත් කරුණු කිහිපයක් අපි ඔබට කියන්නෙ, කිසිවකුට උත්සාහයෙන් තොර සාර්ථකත්වයක් උදාකරගත නොහැකි බව නැවත තහවුරු කරන්නමයි. ඇය ඔබ අප කවුරුත් දන්නා Jacqueline Fernandez.
1985 අගෝස්තු 11 වැනිදා බහරේන් රාජ්‍යයේදී ඇය උපත ලබන්නේ ජාතීන් සහ සංස්කෘතීන් කිහිපයක් නියෝජනය කරන පවුලක. ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයකු වූ Elroy Fernandez බහරේන් රාජ්‍යයට යන්නේ ශ්‍රී ලංකාවේ සිංහල දමිළ වාර්ගික ගැටුම් හේතුවෙන්. මැලේ ජාතික ගුවන් සේවිකාවක් සමග විවාහ වන ඔහු දරුවන් සිව් දෙනෙකුගේ පියෙක් වනවා. වැඩිමල් සහෝදරියක් සහ සහෝදරයින් දෙදෙනෙකු සහිත පවුලේ බාලම දැරිය ලෙස Jacqueline උපත ලබනවා. බහරේන් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ඇය වයස අවුරුදු 14දී පමණ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමට සමබන්ධ වී තිබෙනවා. ජනසන්නිවේදනය පිලිබඳ උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුල් වන ඇය, ඉන් පසු ශ්‍රී ලංකාවට පැමිණ මෙරට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමට සම්බන්ධ වනවා. 2006 වසරේ Miss Universe Sri Lanka තරගයෙන් ජයගන්නා ඇය එම වසරේම Miss Universe තරගයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වනවා. මේ තරගයෙන් පසු ජිවිතයේ තවත් වැදගත් තීරණයක් ගන්නා ඇය වෙළඳ දැන්වීම් නිරූපිකාවක ලෙස කටයුතු කීරීමට මුම්බායි නගරයට පිටත්ව යනවා. 2009 වසරේ Aladin චිත්‍රපටයට සම්බන්ධ වීමට අවස්ථාව හිමිකරගන්නා ඇය එතැන් පටන් බොලිවුඩ් නිළියක ලෙස සිනමාවේ සාර්ථක ගමනක නිරත වනවා.
“මම ඉන්දියාවට ඇවිත් දැන් අවුරුදු 11ක් විතර වනවා. මම මුලින්ම ඉන්දියාවට එනකොට මම සම්පුර්ණයෙන්ම ආගන්තුකයෙක්. මම දැනගෙන හිටියේ නැහැ මම මොනවද කරන්නෙ, කොහෙද යන්නෙ, කොහොමද මගේ ගමන පටන් ගන්නෙ කියල. මම ළඟ තිබුනේ මගේ ආත්ම විශ්වාසය පමණයි. Just be yourself කියන එක මම තදින්ම විශ්වාස කළා. මම මම විදිහටම මගේ ගමන පටන් ගන්නේ කොහොමද කියල මම හොයන පටන් ගත්තා. මට කිසිම දෙයක් නොලැබේවි කියල හිතුන වෙලාවලුත් නැතුවම නොවෙයි. මට හමුවන අය නොයෙක් දේවල් කිවුවා. ඔයාට මෙහෙ ඉන්න නම් මොකක් හරි රැකියාවක් හොයාගන්න කියල සමහරු කිවුවා. ඔයා අරක කරන්න, මේක කරන්න, අර show එකට යන්න, ඔය වගේ හුඟක් දේවල් නොයෙක් අය මට කිවුවා. සමහරු මට කිවුවා මගේ නම වෙනස් කරන කියල. මට පුදුම හිතුනා. ඇයි මම මගේ නම එනස් කරන්නෙ..? මම ඇහුවා මම එහෙම කරන්නම ඕනද කියල” Jacqueline මේ සංවාදයේදී පවසා තිබුනා.
තමාගේ නම මුස්කාන් ලෙස වෙනස් කරන ලෙස තමාට පැවසු බවත්, තමන් නමින් පවා අතිශය බටහිරකරණයක් පෙන්වන හෙයින් සිනමාවේ හෝ නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසූ බවත් ඇය කියනවා. තමන්ගේ නාසයේ හැඩය වෙනස් කරගන්නා ලෙස ඇතැමුන් පැවසූ බව කියන Jacqueline, තමා තමාගේ මුහුනේ වඩාත්ම කැමති අවයවය වන නාසය වෙනස් කරගන්නේ ඇයිදැයි පෙරලා ප්‍රශ්න කළ බවත් පැවසුවා. මෙවැනි නොයෙක් ආකාරයේ උපදෙස් සහ විනිශ්චයන් හේතුවෙන් තමන් මහත් ආතතියට පත්වූ බවත් ඉන් කලකිරීමට පවා පත්වූ බවත් ඇය පවසා තිබුනා.
“මම කතා කරන විදිහා, මගේ accent එක, සමහරුන්ට ප්‍රශ්නයක් වුනා. ඒක westernize වැඩියි කිවුවා. මම හින්දි භාෂාව ඉගෙන ගත්තා. කතා කරන්න ලියන්න ඉගෙන ගත්තා. දවස ගානේ class ගියා. practice කරා. ව්‍යායාම් කළා. ඒක ලොකු වෙහෙසක්, ඒත් මම ඒ හැමදේම කළා. සමහරු මම හින්දි කතා කරන විදිහ අහගෙන ඉඳල මුල් කාලේ මට හිනා වුනා. මගේ හින්දි accent එක imitate කරමින් මට හිනා වුනා, හැබැයි ඒ වෙනකොට ඒ දේවල් නිසා මාවම motivate කරගන්න පුළුවන් තරමට මම strong වෙලා හිටියා. මම මගේ improvements වල මේ judgments, imitations හේතුවක් කරගත්තා. මහන්සි වෙලා වැඩ කළා. දවස ගානේ audition වලට ගියා. ඒක හරිම වෙහෙසකර කාලයක්. ඒත් මම ඒ දේවල් කළා. මට හැම වෙලාවේම මම පිටස්තරයෙක් කියන එක දැනුනා. එහෙම දැනෙන්න ඉන්දියාවේ අය වැඩකළා. සමහර industry එකේම අයත්, ඉන් පිටත අයත් දෙගොල්ලොම. මට මතකයි එක වතාවක් මම දිවාලි උත්සවයකට සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමක් ඇඳගෙන ගියා. ඒ ගියපු වෙලාවේ එතන හිටපු මගේ යාළුවො කිහිප දෙනෙක් මගෙන් ඇහුවා “ඔයා මොකටද ඔච්චර මහන්සි වෙලා ඉන්දියන් පෙනුමක් ගන්න දඟලන්නෙ, ඔයා ඉන්දියානුවෙක් නෙමෙයිනෙ” කියල. ඒ වෙලාවේ මගේ හිත රිදුනා. ඒ වචන මට වේදනාවක්.” ඇය පවසා තිබුනා.
නමුත් ඒ අතර තමන්ට උපකාර කළ අයද සිටි බවත්, තමන්ගේ හින්දි භාෂාවේ උච්චාරණය වරදින අවස්ථාවල ඒවා නිවැරදි කරමින් තමන්ට අවශ්‍ය උපකාර කරමින් තමාට සමීපව සැලකූ අයද සිටි බවත් ඇය සඳහන් කොට තිබුනා. තමාව guide කිරීමට කිසිවකු උත්සාහ කිරීම තමා අකමැතිම වැඩක් බවත් තමාට අමුත්තකු ලෙස සලකමින් මේක කරන්න ඒක කරන්න යනුවෙන් මගපෙන්වීමට ඇතැමුන් උත්සාහ කළ බවත් පවසන ඇය, තමන් ඒ සියල්ල සාවධානව අසාසිට බැහැර කළ බව සිනාසෙමින් පවසා තිබුනා.
“ඊළඟ ලොකුම දේ තමයි මම ගෙවල් මාරු කරද්දී මට මුහුණ දෙන්න වුන අත්දැකීම. මම තුන් වතාවක් ගෙවල් මාරු කරා. පලවෙනි වතාවට මම apartment එක ගන්න යද්දී මගෙන් ඇහුවා ඔයා single ද කියල. “a single girl becoming an actor” කියන එක ඒගොල්ලන්ට ලොකු කුතුහලයක් වුනා. මම ගෙයක් හොයන්නේ දවස පුරාම මගේ schedule එකට වැඩ කරල ගෙදර ඇවිත් විවේකිව ඉන්න. එහෙම නැතුව party දාන්න නෙමෙයි. නමුත් ඒගොල්ලෝ එහෙම judge කරා. ඊළඟට දෙවැනි වතාවේ මම ගෙදර මාරු කරන්න යද්දී ඒගොල්ලෝ කිවුවා film industry එකේ කාටවත් ගෙදර දෙන්නේ නැහැ කියලා. film industry එකේ අය indecent මිනිස්සු කියල ඒගොල්ලො කියල තිබුනා. ඔය වගේ අත්දැකීම් මට තියනවා. ආගම, ජාතිය, හමේ පාට, තනිකඩද විවාහකද වගේ දේවල් බලලයි ඒගොල්ලො ගෙදර දෙන්නෙ. ඒක හරිම embarrassing දෙයක්. තමන් මුහුණදුන් අත්දැකීම් ගැන දැන් ඇය පවසන්නේ එවැනි කතාවක්. කෙනෙක් තවත් කෙනෙක් ගැන මේ විදිහේ පූර්ව විනිශ්චයන් වලට එන එක ඉතාම නරක දෙයක් බවයි ඇය මේ සංවාදයේදී පවසා තිබුනේ.
මම හැමවෙලාවෙම උත්සාහ කරනවා හිනාවෙලා ඉන්න. positive වෙන එක ලේසි නැහැ. හැම වෙලාවේම දුකෙන් කණස්සල්ලෙන් කලකිරීමෙන් ඉන්න එක ලේසියි. නමුත් හිනාවෙලා ඉන්න එක හරිම අමාරුයි. ඒ විතරක් නෙමෙයි දුකෙන් කළකිරීමෙන් ඉන්න කෙනෙක් ලඟට ගිහින් හැමෝම අහනවා, ඇයි ඔයා එහෙම ඉන්නෙ, මොකක්ද කරන්න ඕන වගේ දේවල්, අනුකම්පාසහගත හැසිරීමක් දක්වනවා. හැබැයි නිතර හිනාවෙල ඉන්න කෙනෙක්ට මොන ප්‍රශ්නය ආවත් අනික් අය කියන්නෙ “ආ, එයාට ඕක ගාණක් නැහැ, එයා strong කෙනෙක්, එයා ඕන ප්‍රශ්නයක් දරාගන්නවා” කියලයි. එක වෙලාවකට ඒක අවාසියක්. ඒත් හැම වෙලාවේම Positive වෙන එක, හිනාවෙලා ඉන්න එක සාර්ථකත්වයට යන්න හොඳ උත්තේජනයක්. ඒකෙන් තමන් වගේම අනික් අයවත් උත්තේජනය වෙනවා. මම පොඩිකාලේ ඉඳන්ම එහෙම හිටපු කෙනෙක්. ඒක සාර්ථක ක්‍රමයක්.” ඇය වැඩිදුරටත් පවසා තිබුනා.
Written by Nisanka Weheraduwa