මලයාලම් සිනමාවෙන් තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් !

Avatar Kavinu Weerakkody | June 28, 2022 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

මලයාලම් සිනමාවෙන් මෙතෙක් කලකට බිහිවූ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන M. Vishwanathan Nair හෙවත් Mohanlalගේ චිත්‍රපට නරඹන, ඔහුගේ ඉදිරි නිර්මාණ ගැන දැනගැනීමට උනන්දුවෙන් පසුවන රසිකයින් පිරිසක් මේ මොහොත වනවිට මෙරට නිර්මාණය වෙමින් සිටිනවා. පසුගිය වසර 05 – 06 අතර කාල සීමාවේදී දකුණු ඉන්දීය මලයාලම් සිනමාව ගැන මෙරට ඇතිවූ ක්ෂණික ජනප්‍රියතාවය නිසාම මලයාලම් සිනමා කර්මාන්තය හා බැඳුණු ප්‍රධාන නලු නිළියන් ගැන සොයා බලන්නටත් ලාංකීය ප්‍රේක්ෂකාගාරය උනන්දු වුනා.
ඊට අමතරව මෝහන්ලාල් රඟපෑ Drishyam චිත්‍රපටය, “ධර්ම යුද්ධය” යනුවෙන් සිංහලට ප්‍රතිනිර්මාණය වීමත් ඔහුගේ මෙරට ජනප්‍රියතාවයට බලපෑ තවත් එක් හේතුවක්.

මේ වනවිට සිනමා නිර්මාණ 340කට අධික ප්‍රමාණයකට රංගනයෙන් සම්බන්ධ වී තිබෙන ඔහු රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, බෙදා හරින්නෙක් සහ පසුබිම් ගායකයෙකු ලෙසත් මලයාලම් සිනමා කර්මාන්තය මූලික කරගනිමින් සක්‍රීයව සිනමාවට දායක වෙමින් සිටිනවා. 2010න් පසුව නව රැල්ලේ මලයාලම් සිනමාව තුළ Mohanlal විසින් රඟපෑ සුවිශේෂීම චිත්‍රපටය ලෙස හැඳින්වෙන Drishyam (2013), මුලු ඉන්දියාව පුරාම කතාබහට ලක් වුනු නිර්මාණයක්. සිංහලද ඇතුළුව භාෂා 07කට remake වූ මෙම චිත්‍රපටය, චීන භාෂාවට ප්‍රතිනිර්මාණය වුනු පළවෙනිම ඉන්දීය චිත්‍රපටය ලෙසත් වාර්තා පොත් අතරට එකතු වනවා.  කෝටි 75කට අධික ආදායමක් රැස් කරගත් එය කේරළයේ ප්‍රධානම සම්මාන උළෙල ලෙස හැඳින්වෙන Kerala State Awards හිදි පවා සම්මානයට පාත්‍ර වූ නිර්මාණයක්.

Drishyam චිත්‍රපටය ලද මෙම සාර්ථකත්වය සමඟ රංගන ශිල්පී Mohanlal මෙන්ම එහි අධ්‍යක්ෂකවරයා වූ Jeethu Joseph වටාද අතිශය ජනප්‍රියතාවයක් ඇති වුනා. දකුණු ඉන්දියාවේ ප්‍රාන්තීය සිනමා කර්මාන්ත ගණනාවකින් ඔහුට අධ්‍යක්ෂණ ඇරයුම් ලැබුනු අතර දමිල නලු Kamal Hassan සමඟ ඔහු Papanasam අධ්‍යක්ෂණය කරන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසටයි. Drishyam චිත්‍රපටයේ සාර්ථකත්වය නිසා පසුගිය වසරේදී එහි දෙවෙනි දිග හැරුමක් පවා නිෂ්පාදනය වූ අතර, Drishyam 2: The Resumption යනුවෙන් හැඳින්වූ එම චිත්‍රපටය සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Amazon Prime Video ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියා.

සාමාන්‍යයෙන් ප්‍රේක්ෂක – විචාරක ප්‍රතිචාර හොඳින් ලැබුනු iconic movies බොහෝමයක දෙවන දිගහැරුමේදී පළමු චිත්‍රපටය මෙන් ඒවාට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. පළමු නිර්මාණය හා සසඳමින්, ඊට සාපේක්ෂව ඍණාත්මක reviews ලැබීම එවැනි සීක්වල් නිර්මාණ තුළ නිතරම දක්නට ලැබෙන කරුණක්. නමුත් Drishyam 2 නිකුත් වූ පසු අතිශය බහුතරයක් රසිකයින් සහ විචාරකයින් අදහස් දැක්වූයේ, පළමු චිත්‍රපටයේ ජීව ගුණය එලෙසින්ම රඳවා ගනිමින් ඊට කිසිදු හානියක් නොකර මෙම දෙවන නිර්මාණය ඉදිරිපත් කර තිබූ බවකුයි.
පළමු Drishyam චිත්‍රපටයෙන් ම මෝහන්ලාල්- ජිතූ ජෝසප් සුසංයෝගය කෙරෙහි නරඹන්නන් තුළ ඇති වූ විශ්වාසය එලෙසින්ම ආරක්ෂා කිරීමට දෙවන Drishyam චිත්‍රපටයත් සමත් වීම නිසා ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ තෙවන චිත්‍රපටය වන 12th Man නිකුත් වන තුරු මලයාලම් රසිකයින් බලා සිටියේ නොඉවසිල්ලෙන්…  පසුගිය මැයි මාසයේදී එයත් OTT ක්‍රමයට අන්තර්ජාලයට නිකුත් වූ අතර යළිත් රසිකයින්ගේ ධනාත්මක ප්‍රතිචාරයක් ඊට හිමි වුනා.

මේ ආකාරයට මෝහන්ලාල් සහ ජිතූ ජෝසප් ගැන ලෝ පුරා ඉන්දීය රසිකයින්ගේ අවධානයට ලක්ව තිබෙන මොහොතක ඔවුන් දෙදෙනා නැවතත් එකතු වන RAM මලයාලම් චිත්‍රපටයේ වැඩ කටයුතු යළිත් ඇරඹීමට නිෂ්පාදකයින් සූදානම් ව සිටිනවා. කෝවිඩ් වසංගතය නිසා රූගත කිරීම් ඇණ හිටි RAM චිත්‍රපටය ජිතූ ජෝසප් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබුනේ 12th Man චිත්‍රපටයටත් පෙරයි. නමුත් කෝවිඩ් වසංගත තත්වය ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කළ නිසා RAM හි නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමට ඔවුන්ට සිදු වුනා. එක් දර්ශනතලයකට පමණක් සීමා වූ 12th Man චිත්‍රපටය නිර්මාණය වන්නේ එම සංක්‍රාන්තික කාල සීමාවේදී යි.

තාවකාලිකව නතර කළ RAM රූගත කිරීම් දැන් යළිත් ආරම්භ කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. නමුත් මුල් වතාවේදී සිතා සිටි සැලසුම් මදක් වෙනස් කර චිත්‍රපටය high scale චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කිරීමටයි ඔවුන් දැන් තීරණය කර තිබෙන්නේ. චිත්‍රපටයේ නලු නිළියන් පිරිසගේ යම් වෙනස්කමකුත් සිදු කිරීමට නියමිත බවට ඇතැම් කේරළ මාධ්‍ය වාර්තා කරනවා.

Jeethu Joseph අධ්‍යක්ෂණය කරන 16වන චිත්‍රපටය වන මෙහි Mohanlal රංගනයෙන් දායක වන්නේ රාම් මෝහන් නැමැති ඉන්දීය බුද්ධි අංශ නිලධාරියෙකුගේ චරිතයටයි. ඔහු සමඟින් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට තෝරාගෙන තිබෙන්නේ දමිළ රංගන ශිල්පිනී Trish Krishnanවයි. Mohanlal හා Trisha Krishnanට අමතරව Indrajith Sukumaran, Suman, Suresh Chandra Menon, Adil Hussain වැනි දෙමළ – තෙළිඟු – හින්දි – මලයාලම් රංගන ශිල්පීන් බොහෝ දෙනෙක්ව මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිත හරහා දැකගන්න පුලුවන්.

නමුත් දැන් වාර්තා වන අන්දමට මේ නලු නිළියන් හැරුණුකොට චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා තවත් හින්දි රංගන ශිල්පියෙකු සම්බන්ධ කර ගැනීමට නිෂ්පාදකයින් තීරණය කොට තිබෙනවා. මේ වනවිටත් එහි සාකච්ඡා වට ඇරඹී තිබෙන අතර, එසේ තෝරාගෙන තිබෙන්නේ වර්තමාන ඉන්දීය සිනමාවේ ඉහළම පෙලේ Pan Indian රංගන ශිල්පියෙකු බවටයි කේරළයෙන් තොරතුරු ලැබෙන්නේ. කෙසේ වෙතත්, ඔහු කවුද යන්න පිළිබඳව නිශ්චිත ඉඟියක් දැනට සඳහන් වන්නේ නැහැ.
මේ සමඟින් කෝටි 25ක් පමණ ඇස්තමේන්තු ගත කොට තිබූ පිරිවැයට තවත් සැලකිය යුතු මුදලක් එක් කිරීමටත් RAM නිෂ්පාදකයින් වන Pillai සහෝදරයින් තීරණය කොට තිබෙනවා. Abhishek Films සිනමා ආයතනය වෙනුවෙන් මෙය නිෂ්පාදනය කරන්නේ Ramesh P. Pillai, Sudhan S. Pillai සහ Ganesh V. Pillai යන සහෝදරයින් තිදෙනා එක්වයි.

මෙම කතා සංකල්පය ඇසුරෙන් එක් චිත්‍රපටයක් පමණක් නිර්මාණය කිරීමට Jeethu Joseph මුලදී සැලසුම් කර තිබුණත්, මෙම Pan Indian සිදුවීමත් සමඟ කොටස් දෙකක් වශයෙන් චිත්‍රපටය මුදා හරින්නට ඔහු පෙළඹී තිබෙනවා. ඒ අනුව RAM 01 සහ 02 යනුවෙන් එකිනෙකට සම්බන්ධ චිත්‍රපට ද්විත්වයක්ම රසිකයින්ට දැක ගැනීමට ලැබේවි. මුලදී සැලසුම් කළ කේරළ – තමිල්නාඩු ප්‍රාන්තවල පුළුල් තිරගත කිරීම වෙනුවට උතුරු ඉන්දියානු සිනමාශාලා පවා ආවරණය කෙරෙන pan indian release කිරීමකට මෙයත් යොමු කිරීමයි ඔවුන්ගේ දැන් අදහස වී තිබෙන්නේ. RAM චිත්‍රපටයේ රූගත කිරීම ඉතිරිව තිබෙන බ්‍රිතාන්‍ය සහ යුරෝපීය දර්ශන තල සඳහා මෙම නව රංගන ශිල්පීන් පිරිස ද එක්වීමට නියමිතයි. මෙම වසරේ අග භාගය වනවිට චිත්‍රපටයේ සියලුම රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි කේරළ මාධ්‍ය විශ්වාස කරනවා.

මේ වනවිට රංගන ශිල්පී Mohanlal විසින් සිය Barroz චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එක්ව තිබෙන අතර එය ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පළමු සිනමා නිර්මාණයයි. Barroz: Guardian of D’Gama’s Treasure යනුවෙන් හැඳින්වෙන එම සිනමාපටයේ එක් ගීත ජවනිකාවක් මේ දිනවල තායිලන්තයේ ප්‍රදේශ කිහිපයක් මුල් කරගෙන රූගත කරමින් සිටිනවා. එය අවසන් වූ විගස ඔහු Jeethu Josephගේ RAM රූගත කිරීම්වලට සම්බන්ධ වීමට නියමිතයි.

අධ්‍යක්ෂකවරයා විසින් එක් සම්මුඛ සාකච්ඡාවකදි සඳහන් කළ ආකාරයට මෙය ඔහුගේ සිනමා ජීවිතයේ වැඩිම නිෂ්පාදන වියදමක් දරා නිර්මාණය වන සිනමාපටයයි. RAM සිනමාපටයේ පෙර-නිෂ්පාදන කටයුතු ඇරඹුණේ මීට මීට වසර 03කට පෙර 2019 වසරේ අග භාගයේදීයි. Drishyamට පසුව මෝහන්ලාල් සහ ජිතූ තවත් සිනමාපටයක් වෙනුවෙන් ගිවිසුම්ගත වූ බව බොහෝ දෙනෙක් පැවසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වුනේ 2019 සැප්තැම්බර් මාසයේදීයි. ඒ සමඟම ත්‍රිෂාගේ චරිතය ගැනත් මාධ්‍යයට අණාවරණය වුනා. ඉන්පසුව චිත්‍රපටයේ පූජා උත්සවය සහ මාධ්‍ය සාකච්ඡාව තබමින් title announce කළේ 2019 දෙසැම්බර් 16වනදා යි.

තමන්ගේ Drishyam චිත්‍රපටය නරඹපු Pillai සහෝදරයින් මෝහන්ලාල් සමඟ තවත් චිත්‍රපටයක් සිදු කරන්නට Jeethuට ආරාධනා කරපු බවත්, ඒ ආරාධනාවෙන් වසර තුනකට පසුව තමන් ඉදිරිපත් කරපු තිර පිටපතකට ඔවුන් කැමැත්ත පළ කළ බවත්, චිත්‍රපටයේ පූජා උත්සවය දිනයේ අධ්‍යක්ෂක Jeethu Joseph පැවසුවා.  පූජා උත්සවය දිනයේදී 2020 ඔක්තෝබර් 20 වනදා සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන බවට නිෂ්පාදකවරුන් දැනුම් දුන්නත්, කෝවිඩ් වසංගත තත්වය නිසා 2022-2023 අතර දිනයක් තෙක් එය කල් දමන බව පසුකාලීනව දැනුම් දුන්නා.

චිත්‍රපටයේ මාධ්‍ය සාකච්ඡාව දිනයේ එළි දැක්වුණු RAM Title posterයේ දැකගන්න ලැබුණු Mohanlalගේ stylish පෙනුම නිසාම, බොහෝ රසිකයින් ඉඟි පළ කළේ Lucifer චිත්‍රපටයෙන් අනතුරුව යළිත් මෝහන්ලාල් රඟන dark – side චරිතයක් මේ තුළින් දැකගන්න ලැබේවි කියලයි. චිත්‍රපටයේ storyline details තවමත් දැනගන්නට නොලැබුණත්, කාලීන ප්‍රශ්නයක් ගැන මෙහි කතාව දිවෙන බවටයි ආරංචි වෙන්නේ…  න්‍යශ්ටික ආයුධ කිහිපයක් පසුපස හඹා යන ඉන්දීය නිලධාරීන් කිහිප දෙනෙකුගේ කතාවක් මෙහි ඇතුළත් බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කළත් ඒ පිළිබඳව කිසිවක් තහවුරු වී නැහැ.

මෙහි කැමරාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ Satheesh Kurup විසිනුයි. V. S. Vinayak සංස්කරණ ශිල්පියා වශයෙනුත් Vishnu Shyam සංගීත අධ්‍යක්ෂවරයා වශයෙනුත් එක්ව සිටිනවා. අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කර තිබෙන්නේ ද Jeethu Joseph විසිනි.

Share

91 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.