මිදුනු විශ්වය – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | October 5, 2024 162 Views 1 Like 0 Ratings

162 Views 0 Ratings Rate it

2023 වසරේදී මෙරට තිරගත වූ සිංහල සහ දමිළ භාෂිත සිනමාපට අතුරින් තෝරාගත් නිර්මාණ 30කට ආසන්න සංඛ්‍යාවක් මෙවර 09වන දෙරණ Lux සිනමා උළෙල සඳහා තරඟ වදිනවා. ක්ෂේත්‍රෙය් නවක අධ්‍යක්ෂකවරුන් මෙන්ම, දශක ගණනාවක් පුරාවට ලාංකීය සිනමාවට විශිෂ්ට නිර්මාණ ගෙනා ප්‍රවීණ අධ්‍යක්ෂකරුවන් රැසකගේ චිත්‍රපට ද මෙම තෝරා ගැනීම් අතරෙ හි තිබෙනවා.

මෙවර සිනමා උළෙල සඳහා තරඟ වදින, එවැනි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් තමයි මිදුනු විශ්වය හෙවත් Frozen Cosmos ලෙසින් හැඳින්වෙන්නේ. මිදුනු විශ්වය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අග්නිදාහය – ගරිල්ලා මාකටින් – මහරජ ගැමුණු – සමනල සංධ්වනිය වැනි ජනකාන්ත චිත්‍රපට ඔබ වෙත ගෙනා ජයන්ත චන්ද්‍රසිරි විසිනුයි.

1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා සහ අතීතයත්, වර්තමානයත් අතර මුහුවන ප්‍රේමණීය කතා පුවතක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය සිංහල සිනමාවට නුපුරුදු, වෙනස්ම කතා තේමාවක් ඔස්සේ ගලා යන නිර්මාණයක්. මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූරු ආදරයක් පිළිබඳව රසවත් වෘත්තාන්තයක් දැකබලා ගන්නට ප්‍රේක්ෂකයින්ට හැකියාව තිබෙනවා.

සිනමාපටයට ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ උද්දික ප්‍රේමරත්න සමඟින් උදාරි වර්ණකුලසූරියයි. ‘වරේණ්‍ය’ නැමැති රංගන ගුරුවරයාගේ චරිතය උද්දික ප්‍රේමරත්න විසින් නිරූපණය කරන අතර උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන්නේ 60 දශකයේ සිටි ජනප්‍රිය නිළියක වන ‘රාජිනි මදිරාක්ෂි’ගේ භූමිකාවයි.
වරේණ්‍යගේ රංගන පාඨමාලාවට පැමිණෙන ‘සුමධ්‍යා’ නැමැති තරුණියගේ චරිතය චුලක්ෂි රණතුංග විසින් රඟපානවා. මිදුනු විශ්වය චිත්‍රපටය ගලා යන්නේ මොවුන් තිදෙනාගේ චරිත ත්‍රිත්වය මුල් කරගෙනයි.

ඊට අමතරව බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, වසන්ත විට්ටච්චි, නිල්වලා විශ්වමාලි, ලක්ෂ්මි දමයන්ති, සුදත් ඇන්තනි සහ කුසුම් රේණු වැනි මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම මෙහි සෙසු චරිතවලට රංගනයෙන් දායක වනවා.

කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රවීන් ජයරත්න එකතු වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සහ වර්ණ සංයෝජනය සිදු කළේ ද ප්‍රවීන් ජයරත්නයි. අධ්‍යක්ෂකවරයාගේම කතාවකට අනුව ඔහු විසින්ම තිර පිටපත රචනා කළ අතර ගීත රචනය සඳහාත් ඔහු එක්වී තිබෙනවා.
ඉන්දික උදාර කුමාර මෙහි වේෂ නිරූපණ ශිල්පියායි. නිෂ්පාදන කළමනාකරණය ප්‍රසන්න ඉත්තෑපාන සහ නිමල් විජේසිරිගේ එකතුවෙනි. තිස්ස ගුණතිලක සහ සරත් සේනාරත්න සම්බන්ධ වී තිබෙන්නේ සහාය අධ්‍යක්ෂකරුවන් ලෙසයි. ශබ්ද පරිපාලනය ශෂින් ගිම්හාන්ගෙනි.

නිමල් ෆ්‍රැන්සිස් පළමු සහය අධ්‍යක්ෂණයෙන් ද පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන් ද සහය වූ මිදුණු විශ්වය සිනමාපටය, රුවන් ජයසිංහගේ නිෂ්පාදනයක්. මීට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධ්වනිය නිෂ්පාදනය කළේද රුවන් ජයසිංහ විසින්මයි.

මිදුනු විශ්වය චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.

Share

162 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.