මෙරට විශ්ව විද්‍යාලයකින් බිහිවුනු පළමු සිනමාපටය – වියසිදුරු
“වියසිදුරු – Viyasiduru” මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹුනු නවතම සිංහල සිනමාපටයයි. ඊයේ දිනයේ (මාර්තු 23) සිට දිවයින පුරා සිනමාශාලා 40කට ආසන්න ප්‍රමාණයක එහි තිරගත වීම ඇරඹුනා.
වියසිදුරු – Viyasiduru චිත්‍රපටය තවත් සුවිශේෂ වන්නේ එය ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – සිනමාපටය වීම නිසාවෙනුයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් බිහිවූ වියසිදුරු සිනමාපටය, ත්‍රාසය – ආදරය – කුතුහලයෙන් සපිරි වෙනස්ම කතා තේමාවක් ඔස්සේ දිවයන නිර්මාණයක් ද වනවා. එහි ප්‍රධාන චරිත රඟපාන්නේ මෙරට සිනමාවේ ජනප්‍රිය නලු නිළි දෙපලක් වන කළණ ගුණසේකර සහ ශලනි තාරකායි. හිරන්ත නැමැති තරුණයාගේ චරිතය කළණ ගුණසේකර රඟන අතර ශලනි තාරකා නිරූපණය කරන්නේ ඔහුගේ පෙම්වතිය වන ටානියාගේ චරිතයයි.
වියසිදුරු චිත්‍රපටයට පසුබිම් වන්නේ හිරන්ත සහ ටානියා අතර ඇතිවන රහස් සබඳතාවයක් නිසා ඔවුන්ගේත්, ඔවුන්ගේ සමීපතමයින්ගේත් ජීවිතය වෙනස් වන ආකාරයයි. හිරන්ත සහ ටානියාට යම් අහඹු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වන අතර ඒ සිදුවීම ගැන දන්නේ තමන් පමණක්ම බව ඔවුන් දෙදෙනා සිතා සිටිනවා. නමුත් එක්තරා මොහොතකදී තමන් හැර තවත් තුන්වන පාර්ශවයකුත් මේ සිද්ධිය ගැන දැන සිටින බව හිරන්තට සහ ටානියාට සිතෙන්නට පටන් ගැන්මත් සමඟම, මේ ගැන සොයා බලන්නට ඔවුන් තීරණය කරනවා.
එතැන් සිට ඔවුන් දෙදෙනා මුහුණ දෙන සිදුවීම් සමඟිනුයි වියසිදුරු (Viyasiduru) චිත්‍රපටය ඉදිරියට ගලා යන්නේ…
හිරන්ත සහ ටානියාගේ සැබෑ සම්බන්ධය කුමක්ද? නොසිතූ මොහොතක අත් විඳීමට සිදුවන එම රහස් සිදුවීම කුමක්ද? එයින් ඔවුන්ගේ ජීවිතයට එතරම් ම බලපෑමක් ඇති වන්නේ ඇයි?
මේ ගැන දැන ගන්නට නම් ඔබට වියසිදුරු නරඹන්නටම සිදු වනවා!!!
වියසිදුරු බිහිවන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙ හි ‘සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ’ පළමු සිසුන් කණ්ඩායමේ අවසන් ව්‍යාපෘතිය ලෙසටයි. ඩිප්ලෝමා පාඨමාලාවේ දේශකයෙකු වන කතිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මහතා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මෙරට විශ්වවිද්‍යාලයක් විසින් දිගු වෘතාන්ත චිත්‍රපටයක් නිෂපාදනය කළ මුල්ම අවස්ථාව වන්නේ තම සිසුන්ගේ දායකත්වය ඇතිව ප්‍රභාත් අගම්පොඩි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයයි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට:
වියසිදුරු (Viyasiduru) සිනමාපටයේ නිෂ්පාදන කටයුතු සියල්ලකටම පාහේ එක්ව තිබෙන්නේ එම ඩිප්ලෝමා පාඨාමාලාවේ විද්‍යාර්ථීනුයි. න්‍යායාත්මක දැනුමට එහා ගිය සිනමාව ගැන ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමටත්, සිනමා කෘතියක නිෂ්පාදන කටයුතුවලට සජීවී ලෙස එක්වීමටත්, වියසිදුරු හරහා ඔවුන්ට පුලුවන් වී තිබෙනවා. තිස්සමහාරාමය, හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ දර්ශන තල කිහිපයක් මුල් කරගෙන රූපගත කිරීම් සිදු වුනු මෙහි පසු නිෂ්පාදන කටයුතු අවසන් වන්නේ 2018 අප්‍රියෙල් මාසයේදීයි.
නමුත් එයින් පසුව ඇති වුනු කෝවිඩ් වසංගත තත්වය සහ අනෙකුත් ගැටළු නිසා වියසිදුරු සිනමාපටයේ තිරගත වීම මදක් ප්‍රමාද වුනා. කෙසේ වුවත්, මේ වනවිට දිවයින පුරා සාර්ථකව මෙහි තිරගත වීම සිදුවනවා.
කළණ ගුණසේකර සහ ශලනි තාරකාට අමතරව ලාංකීය කලා ක්ෂේත්‍රයේ දක්ෂ නලු නිළියන් රැසක් ඔබට මේ හරහා දැකගත හැකියි. මෙරට ප්‍රවීණ – චරිතාංග නලුවෙකු වන ලක්ෂ්මන් මෙන්ඩිස් මෙහි රංගනයෙන් එකතු වන්නේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ චරිතයකටයි. තුමිඳු දොඩන්තැන්න, ඉන්ස්පෙක්ටර් අල්විස්ගේ භූමිකාව රඟපානවා. ධර්මප්‍රිය ඩයස් ලොරි රථ රියදුරෙකුගේ චරිතයක් සහ සංජීව දිසානායක වේලුගේ චරිතය නිරූපණය කරනවා.
අධ්‍යක්ෂණයට අමතරව වියසිදුරු සිනමාපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද ප්‍රභාත් අගම්පොඩි විසිනුයි. කැමරා අධ්‍යක්ෂකවරයා සුසන්ත මහගල්ගමුවයි. සංගීතය ආලෝකෝ උදපාදි – ආයු සිනමාපටවල සංගීත සංයෝජනය සිදු කළ මිලින්ද තෙන්නකෝන්ගෙනි. ඇඳුම් නිර්මාණකරණය ඉෂාර කොඩිතුවක්කු විසිනුත් වේශ නිරූපණය ලක්ෂිත සංකල්ප විසිනුත් සිදු කර තිබෙනවා.
මෙහි සහාය අධ්‍යක්ෂණය, ජාත්‍යන්තර සම්මානලාභී කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකු වන හසන්ත දිසානායකගෙනි. චලන විමලසූරියගේ සංස්කරණයෙන් සහ ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනයෙන් වියසිදුරු හැඩවී තිබෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ සහ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ගේ සාමූහික නිෂ්පාදනයක් වන මෙයට සම නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුම එක්වුනා.
මෙය සාම්ප්‍රදායික කැමරාකරණ රීතීන් ඉක්මවා නව අත්හදා බැලීම් සිදු කළ සාර්ථක නිර්මාණයක් බවටයි, චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂක සුසන්ත මහගල්ගමුව විසින් පැවසුයේ. පශ්චාත්නූතනවාදී සිනමා කාණ්ඩයට අයිති වන කෘතියක් වන මෙය ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී දැනටමත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ස්වීඩනයේ 3 වන බොඩෙන් ජාත්‍යන්තර සිනමා උළෙල (BIFF) නියෝජනය කරමින් මංගල චිත්‍රපට අධ්‍යක්ෂණයට (First Time Feature Film) හිමි සම්මානය මෙන්ම ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් දිනාගත්තේ “වියසිදුරු” විසිනුයි.
ඊට අමතරව,
Best Debut Filmmaker of Feature Film – INDO FRENCH INTERNATIONAL FILM FESTIVAL 2021,
SPECIAL JURY AWARD (BEST DEBUT FEATURE FILM)
Golden Sparrow International Film Festival 2021
Best High Schools film – Madonie Film Festival, Region of Sicily, Italy 2021,
Best International Feature Film – Port Blair International Film Festival 2021,
Best Postmodern Film – Tagore International Film Festival යනාදී ජාත්‍යන්තර ඇගයුම් සියල්ලම වියසිදුරු විසින් දිනාගත්තා.
වියසිදුරු චිත්‍රපටයේ ඇතුළත් ගීතයකුත් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. “උණුහුමයි” ලෙසින් නම් කර ඇති එහි ගායනය ප්‍රෞඪ බුවනෙක විසිනුයි.
නැවුම් අත්දැකීමක් සහ නැවුම් කතා තේමාවක් ඔස්සේ එලි දැක්වෙන මෙම සිනමාපටය දැනටමත් ලාංකීය ප්‍රේක්ෂකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත්ව තිබෙන අතර සමාජ මාධ්‍ය තුළ ද මේ ගැන කතාබහක් ඇරඹී තිබෙනවා. EAP බෙදාහැරීමක් ලෙසින් PVR, KCC, Scope Cinemas ඇතුළු දිවයින පුරා සිනමාහල් 40කට ආසන්න ප්‍රමාණයකදී ඔබට දැන් මෙය නැරඹිය හැකියි.
වියසිදුරු තිරගත වන සිනමාහල් ලැයිස්තුව පහතින්..!!!
සැවෝයි මෙට්‍රෝ – වැල්ලවත්ත
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
සැවෝයි මෙට්‍රෝ – මහරගම
සිනෙමැක්ස් – ජාඇල
ජෝති – රත්නපුර
සිනෙක්ස්පෝ – කුරුණෑගල
විල්මැක්ස් – අනුරාධපුර
ප්‍රිස්කා – කළුතර
රීගල් – අම්බලන්ගොඩ
SK – මාතර
ලේඛා – හෝමාගම
නිව් ටවුන් – ඇඹිලිපිටිය
ජයබිම – ගම්පොල
ලක්බිම – කුලියාපිටිය
නිකාඩෝ – කඩවත
සීගිරි – කටුගස්තොට
රීගල් – ගම්පහ
MC SUPERIER – කොළඹ 04
MC GOLD – කොළඹ 04
රීගල් – දෙමටගොඩ
ලිබර්ටි ස්කෝප් – කොල්ලුපිටිය
සිනෙල්මා – බදුල්ල
PVR – වන්ගෝල්ෆේස්, කොළඹ
KCC – මහනුවර
නිව් චම්පිකා – ඉංගිරිය
සරසවි – අලව්ව
හිමාලි – කිරිබත්ගොඩ
රීට්ස් – බොරැල්ල
රිකී – කොටුව
ඇම්ටි ලයිට් – මහරගම
EDC – කැකිරාව
මැක්ස් ලයිට් – මොරටුව
ප්‍රින්ස් – ගාල්ල
නිව් රේඛා – කඩුවෙල
රෝයල් – මීගමුව
CK – කිරිඳිවැල
රමෝගා – වෙන්නප්පුව
ස්කයිලයිට් – මාතර
එමෙස් – මොරටුව
Written by Kavinu Weerakkody