“මොනාලිසා කියන්නෙ යථාර්ථය හා පරිකල්පනය අතර නිර්මාණයක්” – අනුෂ්ක රසාංජන සමඟ කතාබහක්

Avatar Kavinu Weerakkody | June 24, 2022 236 Views 0 Likes 5 On 2 Ratings

236 Views 5 On 2 Ratings Rate it

ලාංකීය සිනමාවට දවසින් දවස තරුණ නිර්මාණකරුවන් එකතු වෙනවා. නිතරම විවිධ නිර්මාණ, කෙටි චිත්‍රපටි නිපදවමින් තමන්ගේ දැනුම සහ දක්ෂතාවය යාවත්කාලීන කරගන්නට පෙළඹෙනවා. Cinema lk අපි, එවැනි තරුණ නිර්මාණකරුවන්ගේ අදහස් වලට සහ නිර්මාණ වලට නිතරම ඉඩක් වෙන් කරනවා. එනිසාම නවක අධ්‍යක්ෂක අනුෂ්ක රසාංජන ද සිල්වා සමඟ, පසුගියදා නිකුත් වූ ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය වන “මොනාලිසා – Monalisa” ගැන කතාබහ කරන්නත් අපි අමතක කලේ නැහැ.
ඉතින්, මෙතැන් පටන් කතාබහ “මොනාලිසා” ගැන…

1. ඔබ අධ්‍යක්ෂණය කළ පළමු කෙටි සිනමාපටය, “මොනාලිසා” නමින් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වුනා. මොකක්ද මේ මොනාලිසා කියන්නේ?

මොනාලිසා කිව්වාම අපිට මතක් වෙන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ලෝ ප්‍රකට සිතුවම… මේ සිතුවම අදටත් ලෝකයේ වැඩිපුරම කතා බහට ලක්වෙන විවිධ අර්ථ දැක්වීම් දක්වන ප්‍රචලිත සිතුවමක්. මොනාලිසා ගැන තියෙන විවිධ මත එක්ක මං විශ්වාස කරන්නේ මොනාලිසා කියන්නේ ඩාවින්චිගේ පරිකල්පනය හා යථාර්ථය අතර නිර්මාණයක් කියන එක.
ඉතිං, ඒ මොනාලිසා වගේම මේ මොනාලිසා කියන්නෙත් යථාර්ථය හා පරිකල්පනය අතර නිර්මාණයක්.

2. මොනාලිසා කෙටි චිත්‍රපටයට සහ ඔබේ මෙම සිනමා වෑයමට පසුබිම නිර්මාණය වුනේ කොහොමද?

ඇත්තටම මේකට පසුබිම නිර්මාණය වෙන්නේ පොඩි කාලේ ඉඳන් චිත්‍රපට ගැන මට තියෙන උනන්දුව හා ආසාව. සිනමාව කියන්නේ මං පොඩි කාලේ ඉදන් කැමතිම විෂයයක්. මීට අවුරුදු දෙක තුනකට ගානකට කලින් කලින් මං සිනමාව ගැන හොයන්න පටන් ගත්තා. සිනමාව ගැන ස්වයං අධ්‍යනයක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මට අවශ්‍ය වුනේ ඊළඟ පියවර විදියට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය සිදු කරන්න. ඒ විදියට තමයි මොනාලිසා කෙටි සිනමාපටය නිර්මාණය කරන්නට පසුබිම සකස් වෙන්නේ.

3. චිත්‍රපටයට පාදක වෙන්නේ ඔබේම අත්දැකීමක් හා සමීප දෙයක්ද? නැතිනම් පරිකල්පනයක්ද?

සරලවම පරිකල්පනයක්! ඒ්ත් අපි හැමෝටම ක්‍රෂ් (Crush) එකක් කියලා දෙයක් ජීවිතයේ කොතන හරි කවුරු හරි වෙනුවෙන් ඇති වෙන හෝ ඇති වෙන්න පුළුවන් දෙයක්. ඉතිං සමහරවිට මේ පරිකල්පනය ඇතුලෙ මගේ පෞද්ගලික අත්දැකීමක් එකතු වෙලා තියෙන්න පුළුවන්..

4. සිනමා අධ්‍යක්ෂණයට නවකයෙකු විදිහට ඔබේ පළමු පියවරට… මේ අභියෝගයට… මුහුණ දුන්නෙ කොහොමද?

මේක ලොකු අභියෝගයක්. ලංකාව වගේ සිනමා කර්මාන්තය අඩියක තියෙන රටක කෙටි චිත්‍රපටයක් වුනත් නිර්මාණය කිරීම හරිම අභියෝගාත්මක නැහැ කියන්න කොහෙත්ම බැහැ. සේරටම වඩා චිත්‍රපට නිර්මාණය ගැන කිසිම අත්දැකීමක් රහිතවයි අපි මේ වැඩේ සිදු කලේ. එතනදී ආපු අභියෝග වලට අපි කණ්ඩායමක් විදියට මුහුණ නොදුන්නා නම් අද මොනාලිසා චිත්‍රපටය දකින්න ලැබෙන්නේ නැහැ.⁣ මට හොඳ කණ්ඩායමක් හිටියා.
වැඩේ වෙනුවෙන් සීයට දෙසීයක් කැපවුන, ලාභ ප්‍රයෝජන වලට වඩා අපි වැඩේ කොහොම හරි කරමු කියන තැන හිටපු හොඳ කණ්ඩායමක් හිටියා. ඒ නිසා තමයි මේ මේ අභියෝගය ජය ගන්න ඇත්තටම පුළුවන් වුනේ.

5. මොනාලිසා නිර්මාණයට සම්බන්ධ වුනු නළු නිලියන් පිරිස සහ තාක්ෂණික ශිල්පීන් ගැන මතක් කළොත්?

චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ ජනිදු රාජකරුණා හා අරෝෂ් අරුණ විසින්. කැමරා අධ්‍යක්ෂණය පූර්ණ දීගොඩගමගේ විසිනුත්, සහය සංස්කරණය හා වර්ණ සංයෝජනය අකිල ශමේන්ද්‍ර විසිනුත්, සහය අධ්‍යක්ෂණය වින්සිත විනෙත් කුමාරපේලි විසිනුත් සිදු කරනු ලැබුවා. චිත්‍රපට⁣යේ සංගීත අධ්‍යක්ෂණය හෂාන් සොයිසා විසින් සිදු කරනු ලැබුවා. ඒ වගේම රංගනයෙන් ලංකාවේ යොවුන් දක්ෂ නිළියක් වන රෙබේකා දිල්රුක්ෂි වගේම නවක රංගන ශිල්පියෙක් වුන සංජන පෙරේරා දායකත්වය ලබා දුන්නා.

6. මේ වෙනකොට ඔබේ පළවෙනි නිර්මාණය ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව ලැබිලා තියන්නේ. පළවෙනිම උත්සාහය ගැන මේ මොහොතේදි ඔබට හිතෙන්නේ මොනවද?

මං මේක නිර්මාණය කලේ මාස් ඕඩියන්ස් එකක් වෙනුවෙන්. මං වටේ ඉන්න මගේ පවුලේ අය යාළුවො පවා සිනමාව ගැන ලොකු දැනුමක් තියෙන අය නෙවෙයි. එයාලා වෙනුවෙන් තමයි මොනාලිසා නිර්මාණය වුනේ. ලැබෙන ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මගේ අරමුණ සාර්ථකයි කියලා. කවදාවත් නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය ගැන 100%ක් තෘප්තිමත් වෙනවා ඇති කියලා මං හිතන්නේ නැහැ.

නමුත් මගේ පළවෙනි උත්සහය විදියට මං මේ වැඩේ ගැන අද 100% තෘප්තිමත්. ඒත් මගේ පළමු සිනමා නිර්මාණය විදියට මොනාලිසා හරහා මං දකිනවා මගේ අතින් සිද්ධ වුන වැරදි හා අඩුපාඩු. චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගත්ත තැන ඉඳලා මං ගත්ත සිනමාපටයක් නිර්මාණය කිරීම ගැන මං ගත්ත අත්දැකිම් මෙච්චරයි කියන්න බැහැ. චිත්‍රපටය ගැන තෘප්තිමත් වෙන්න ඒකත් හේතුවක්.

7. වර්තමානයේදී බොහෝ තරුණයින් කෙටි චිත්‍රපට මාධ්‍යයට පිවිස තිබෙනවා. නිතර නිතර ලාංකීය ප්‍රේක්ෂකාගාරයට නව කෙටි සිනමාපට නරඹන්නට අවස්ථාව උදා වී තිබෙනවා. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?

මං කලින් කිව්වා වගේම අපේ රටේ සිනමා කර්මාන්තය තියෙන්නේ අඩියේ. තාම සිනමාව ‘කර්මාන්තයක්’ විදියට දියුණු වෙන සලකුණක්වත් නැහැ. ඒත් අපේ රටේ දක්ෂයින්ගෙන් අඩුවක් නැහැ. අධ්‍යක්ෂණය වේවා; තිරරචනය වේවා; කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග මේ එකී නොකී සිනමාවට සම්බන්ධ විවිධ අංශ වල දක්ෂ තරුණයින් ඕන තරම් ලංකාවේ ඉන්නවා.

ඒ තරුණ පිරිසට වැඩක් කරන්න සහ කරලා පෙන්නන්න අපිට තියෙන එකම platform එක YouTube… ඉතිං ඒ හරහා දක්ෂයෝ එළියට එනවා වගේම හොඳ නිර්මාණ සහ නිර්මාණකරුවන් බිහි වෙනවා. ඒ නිසාම අපිට පුළුවන් තාම ලංකාවේ සිනමාව ගැන උනන්දුවක් තියෙන නවකයින් ඉන්නවා කියලා පෙන්වන්න සහ, අපේ සිනමාව ගොඩ ගන්න පුළුවන් දක්ෂයින් ඉන්නවා කියලා පෙන්වන්න.

8. විදෙස් රටවල කෙටි චිත්‍රපට කර්මාන්ත සහ ලංකාවේ අපේ නිර්මාණකරුවන්ගේ කෙචි චිත්‍රපට අතරෙ හි ඔබ දකින වෙනස්කම් මොනවද?

නිර්මාණකරුවෙක් කෙටි චිත්‍රපටයක් නිරමාණය කරන්නෙ අත්දැකීම් හා පර්යේෂණ සිදු කිරීම අරමුණු කරගෙන. නමුත් අපේ රටේ සිනමාව තියෙන තැනත් එක්ක අපිට විකල්පයක් විදියට තමයි කෙටි චිත්‍රපට කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසාම නමුත් වගේ රටේ අපේ කෙටි චිත්‍රපට වල විවිධත්වයක් තියෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ හුදෙක් අත්දැකීමකට පර්යේෂණයට එහා ගිය වාණිජ සිනමාවක් විදියට පවා කෙටි චිත්‍රපට කලාව අපේ රටේ දියුණු වෙනවා කියලා පේන්න තියෙනවා.

9. වර්තමාන කෙටි චිත්‍රපට කලාවට යම් යෝජනාවක් ලබා දෙන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්, එය කුමක් වේවිද?

ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණය වුනත් තාම ඒ සඳහා හොඳ ඇගයීමක් හා නිර්මාණ පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් වීම සම්බන්ධයෙන් ලංකාවේ විශාල ගැටළුවක් තියෙනවා. මං හිතන්නේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට අරන් යන සහ නිර්මාණයක් වෙනුවෙන් නිසි ඇගයීමක් ලැබෙන වැඩ පිළිවෙළක් ඇති වෙන්න ඕන.

10. මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ දිගු වෘතාන්ත සිනමාව සම්බන්ධව තරුණ ප්‍රේක්ෂකයින්ගේ දැඩි විවේචනයක් දක්නට ලැබෙනවා. ඇත්තටම මොකක්ද මීට හේතුව?

එදා හැත්තෑව අසූව දශකයේ දේශීය සිනමාව කියන්නේ අපේ රටේ Cult එකක්… නමුත් දැන් අපිට අපේ සිනමාව කියලා ඉතුරු වෙලා තියෙන ටිකත් ඩීල් එකක් වෙලා. අද සිනමාව තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න ඇතැම් ප්‍රවීණයින්ගේ ක්‍රියාකලාපය ඍජුවම මේකට හේතුවක්. මිනිස්සු ඉල්ලන දේ නිර්මාණකරුවෙක්ට දෙන්න අමාරු වෙන්න පුළුවන්.. නමුත් මිනිස්සු එපා කියන, ප්‍රතික්ෂේප කරන දෙයක් නිර්මාණය කරනවා නම් ඒක සිනමාවට හා ප්‍රේක්ෂකයන්ට කරන ලොකු අසාධාරණයක්.

ඉතිහාස කතා වට්ටෝරුව ප්‍රේක්ෂකයන් දැන් ප්‍රතික්ෂේප කරනවා කියලා දැන දැන තාමත් ඒ වට්ටෝරුයෙන්ම චිත්‍රපට නිර්මාණය කරනවා නම් ඒක සිනමාව තව තවත් අගාධයට ඇද දැමීමක් නෙවෙයිද? දැන් රටේ සිනමාව ගොඩ ගන්න නම් මේ වෙලාවේ වාණිජ සිනමාව දියුණු කරන්න ඕන. ඒ වෙනුවෙන් එකකෝ අලුත් අයට අතදීමක් සිදු වෙන්න ඕන; නැත්නම් ප්‍රවීණයෝ උත්සහ කරන්න ඕන.

11. අපිට තිබෙන්නේ නිර්මාණකරුවන්ගේ හිඟයක්ද? නැතිනම් ඔවුන්ගේ නිර්මාණ ප්‍රායෝගිකව සිදු කරන්නට අවශ්‍ය සම්පත්වල හිඟයක්ද?

පැහැදිලිවම ප්‍රයෝජනයට ගන්න පුළුවන් සම්පත්වල හිඟවීම තමයි තියෙන්නේ. නිර්මාණකරුවන්ගේ හිඟයක් නැහැ. දක්ෂයින් ඕන තරම් ඉන්නවා සහ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ සම්පත් හිඟවීම එක්ක ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙන ගැටළුයි! ලංකාවේ සිනමාව හදාරන කෙනෙක්ට චිත්‍රපට නිෂ්පාදනයක් හරියට කරන්නේ කොහොමද කියන දේ ගැන ප්‍රායෝගික අත්දැකිමක් ලබා දෙන්න පුළුවන්ද? මං කියන්නේ සාමාන්‍ය සරල චිත්‍රපට නිෂ්පාදනයක් ගැන නෙවෙයි. වෙනම පසුතල නිර්මාණ කරලා, සිනමාරූපී ආලෝකකරණයන් සිදු කරලා, විවිධ කාර්මික හා තාක්ෂණික ශිල්පීන්ගේ එකතුවකින් ලෝකයේ භාවිතා වෙන අලුත් තාක්ෂණය එක්ක දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනයක් වෙන්නේ කොහොමද කියන දේ ගැන ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙන්න විදියක් තියෙනවාද..?

ඒ තමයි සම්පත් හිඟකම!! ඒක සිනමාව කර්මාන්තයක් විදියට දියුණු නොවීම නිසා සිදු වෙලා තියෙන විශාල පාඩුවක්. නමුත් මේකත් කියන්න ඕන. අපිට සම්පත් හිඟයි, වැඩක් කරන්න බැහැ කියලා මුකුත් නොකර ඉන්නවට වඩා තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන වැඩක් කරන එකත් අනිවාර්යෙන් සිදු විය යුතුයි.

12. නිර්මාණකරුවෙකු විදිහට ඉදිරියේදී ඔබ උත්සාහ කර බලන්නට විශේෂ කැමැත්තකින් සිටින චිත්‍රපට ශානර හෝ ශෛලයන් තිබෙනවාද?

මං කැමති ඇත්තටම එකකට එකක් වෙනස් ශනාර වල චිත්‍රපට කරන්න. ඒ හරහා අත්හදාබැලීම් සිදු කරන්න. නිර්මාණකරුවෙක් රාමුවකට කොටු නොවිය යුතුයි කියලා මං හිතනවා. අත්දැකීම් එක්ක නිර්මාණකරුවෙක් ‘මම කරන්නේ මේ ශනාරය විතරයි’ කියලා තමන්ව රාමුවකට කොටු කරගන්න පුළුවන්. නමුත් මං හිතන්නේ නිර්මාණකරුවෙක් නවකයෙක් විදියට රාමුවකට කොටු නොවී අත්හදාබැලීම් සිදු කල යුතුයි කියලා.ඒ නිසා මම ආපසු නිර්මාණ සිදු කරනවා නම් ඒ විදිහේ වෙනස් අත්හදා බැලීම් වලට යොමුවේවි.

13. සිනමාව සහ කලාව ඇතුළේ අනුෂ්කගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

මං හිතනවා බොහෝ දුරට ඉස්සරහට මාව අධ්‍යක්ෂකවරයෙක්ට වඩා තිර රචකයෙක් විදයට දකින්න පුළුවන් වෙයි කියලා. රටේ තත්ත්වය එක්ක වගේම අපේ රටේ සිනමාව තියෙන තැනත් එක්ක අනාගතය මොනා විදියට වෙයිද කියන්න බැහැ.
නමුත් අධ්‍යක්ෂකයෙක් විදියට ඉඳහිට හරි නිර්මාණයක් හරහා පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා.

 

අනුෂ්ක රසාංජන ද සිල්වා සමඟ සිදුකරපු අපේ කතාබහ ඒ විදිහට අවසන් වුණා. ඔහුගේ පළවෙනි අධ්‍යක්ෂණය වුණු මොනාලිසා (Monalisa) කෙටි චිත්‍රපටය ඉහත සබැඳිය ඔස්සේ ඔබට නරඹන්නට පුලුවන්.

cinema lk පාඨක ඔබ සැමට මොනාලිසා නරඹන ලෙසත් අපි ආරාධනා කරනවා. ඒ වගේම, අනුෂ්ක වැනි තරුණ නිර්මාණකරුවන්ගේ අලුත් නිර්මාණ ගැන කතාබහ කරන්නට සහ සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින් – පාඨකයින් ඒ පිළිබඳව දැනුවත් කරන්න cinema.lk හැමවිටම ඉඩ වෙන් කරනවා. ඒ නිසා, ඔබේ නිර්මාණ ගැන තොරතුරු අපට ලියා දන්වන්නත් ඔබට පුළුවන්.

Email : editor.cinema@derana.lk

Share

236 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.