මෝහන්ලාල්ගේ Malaikottai Valibanට කමල් හාසන් එක් වේවිද?
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මුල් කරගනිමින් බිහිවී තිබෙන මලයාලම් සිනමාව මෙරට ලාංකීය රසිකයින් අතරෙ හි පවා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. 2000 දශකයෙන් පසුව බිහිවූ නව රැල්ලේ මලයාලම් සිනමාව අද වනවිට ලංකාව තුළ පමණක් නොවෙයි; ලොව පුරා සිය ජනප්‍රියත්වය ව්‍යාප්ත කරගනිමින් සිටිනවා.
වර්තමාන මලයාලම් සිනමාව තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පීන් අතුරින් Moohanlal Wishwanathan නොහොත් මෝහන්ලාල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එදා මෙදාතුර මලයාලම් සිනමා කර්මාන්තයෙන් බිහිවූ දැවැන්තම රංගන පෞරුෂය ලෙසින් සැලකෙන ඔහු, චිත්‍රපට 400කට අධික ප්‍රමාණයකට රංගනයෙන් සම්බන්ධ වී ඇති අතර 1980 වසරේ සිට පුරා දශක 05කට ආසන්න කාලයක් ඉන්දීය සිනමාවට සිය සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටිනවා.
මලයාලම් සිනමාවේ කෝටි 150 සහ කෝටි 200 ආදායම් වාර්තා පසු කළ Pulimurugan – Lucifer චිත්‍රපට ද්විත්වයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළේත් ඔහුයි.
මේ ආකාරයට දශක ගණනාවක් තිස්සේ ඔහු කේරළ සිනමාවේ වැඩිම Profitable නලුවා බවට පත්ව සිටියද, පසුගිය වසර කිහිපය මෝහන්ලාල්ගේ සිනමා ජීවිතයට එතරම් සුබදායක කාල පරිච්ඡේදයක් වූයේ නැහැ. 2019 වසරේදී ඔහු රඟපෑ Lucifer චිත්‍රපටය ඉන්දියානු කෝටි 200ට අධික ආදායමක් රැස් කරගත්තද ඉන්පසුව මේ වනතෙක් ඔහු රඟපෑ එකදු චිත්‍රපටයකටවත් ලාබ ඉපයීමට හැකිවුනේ නැහැ.
Ittymani, Big Brother, Marakkar, Araattu සහ Monster සිනමාපට පහේම ප්‍රදර්ශනය අවසන් වූයේ ඒවායේ නිෂ්පාදන පිරිවැයවත් සපුරා ගත නොහැකිවයි.
මේ නිසාම Mohanlalගේ රසිකයින් බොහෝ දෙනෙකු දැන් බලා සිටින්නේ ඔහුට හිමිව තිබූ පෙර ජනප්‍රියත්වය සහ රසික ආකර්ෂණය නැවතත් ලැබෙන ආකාරයේ Solid සිනමා නිර්මාණයක වැඩ කටයුතු පටන් ගන්නා තුරුයි.
Angamaly Diaries, Jallikattu වැනි පෙරළිකාර චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Lijo Jose Pellissery සමඟින් මෝහන්ලාල් ගිවිසුම්ගත වූ බවට ඔහුගේ රසිකයින්ට ආරංචි වූයේ මේ අතරේදී යි. මෝහන්ලාල්ගේ රසික ආකර්ෂණය නැවතත් ලබා ගැනීමට නම් ඊට අවශ්‍යම ආකාරයේ සිනමාපටයක් නිර්මාණය කිරීමට හැකියාවක් තිබෙන පුද්ගලයෙකු ලෙසයි Lijo Jose Pelliseryව (LJP) මලයාලම් රසිකයින් විසින් හැඳින්වූයේ…
මාස ගණනාවක් පුරාවට විවිධ ගොසිප් අඩවි හරහා මෙම පුවත සංසරණය වුවත්, Mohanlal – LJP සුසංයෝගය ගැන කිසිදු නිල නිවේදනයක් මෑතක් වනතුරුම නිකුත් වූයේ නැහැ!! නමුත් දැන් මෙම චිත්‍රපටය පිළිබඳව එහි නිෂ්පාදකවරුන් විසින්ම නිල වශයෙන් මාධ්‍යයට නිවේදනය කොට තිබෙන අතර පසුගියදා චිත්‍රපටයේ නම ඇතුළත් පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් එළි දැක්වූවා.
Mohanlal විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහනක් තබමින් එය එළි දැක්වූයේ මෙලෙසයි…
“Presenting to you the title of my upcoming movie with Lijo Jose Pellissery – ‘Malaikottai Valiban'”
මේ වනවිට චිත්‍රපටය ගැන නවතම තොරතුරු රාශියකුත් මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා. Malaikottai Valiban යනුවෙන් නම් කර තිබෙන මෙම සිනමා නිර්මාණය තුළ මෝහන්ලාල් රඟපෑමට නියමිතව තිබෙන්නේ ගුස්ති ක්‍රීඩකයෙකුගේ චරිතයයි. රාජස්ථාන් ප්‍රදේශය සහ කේරළය පසුබිම් කරගෙනයි මෙහි කතා තේමාව නිමැවී තිබෙන්නේ. පසුගිය වසර කිහිපයේදී මෝහන්ලාල් රඟපෑ චිත්‍රපටවලට සාපේක්ෂව, වඩා වැඩි නිෂ්පාදන පිරිවැයක් Malaikottai Valiban සඳහා වැය කිරීමටත් සිදුවනවා.
ඒ නිසාම ප්‍රධාන නිෂ්පාදකයින් තිදෙනෙකු මීට සම්බන්ධ වන අතර John and Mary Creative, Maxlab සහ Century Films ආයතන ත්‍රිත්වයම චිත්‍රපටයේ පිරිවැය දැරීමට සූදානම්…
Malaikottai Valiban සිනමාපටයෙ හි ප්‍රධාන කාන්තා චරිතයට තෝරාගෙන තිබෙන්නේ බොලිවුඩයේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක වන රාධිකා ආප්තේවයි.
Badlapur, Parched, Rakta Charitra, Padman වැනි සිනමාපටවල එකිනෙකට වෙනස් චරිත ගණනාවකින් ප්‍රේක්ෂකයින්ට සමීප වූ ඇය Ghoul සහ Sacred Games වෙබ් කතාමාලාවල කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. 2015 වසරේදී ඇය සහ ෆහද් ෆාසිල් ප්‍රධාන චරිත රඟපෑ Haram සිනමාපටය රාධිකාගේ පළමු මලයාලම් නිර්මාණයයි. ඉන් වසර පහකට පසුව Malaikottai Valiban හරහා යළිත් මලයාලම් සිනමාවට පිවිසෙන Radhika Apte, මෝහන්ලාල්ගේ බිරිඳගේ චරිතය රඟ දක්වනු ඇති බවටයි බොහෝ කේරළ මාධ්‍ය වාර්තා කරන්නේ.
සුප්‍රසිද්ධ දකුණු ඉන්දියානු නලු Kamal Haasan ද මෙම නිර්මාණයේ කැමියෝ චරිතයට එක්වීමට නියමිතැ යි විවිධ මාධ්‍ය තුළ සඳහන් වනවා. මේ වනවිටත් එහි සාකච්ඡා ආරම්භ කර ඇති බවටයි ඔවුන් වාර්තා කරන්නේ. නමුත් ඒ ගැන කිසිදු පිළිගත් නිල තොරතුරක් තවමත් වාර්තා වී නැහැ. වසර ගණනාවක් තිස්සේ මෝහන්ලාල් – කමලාසන් අතර තිබෙන මිතුරු සබඳතාවය නිසාම ඔහු මෙම චරිතය බාර ගැනීමට ඉඩකඩ තිබිය හැකියි.
චිත්‍රපටයේ පළමු දර්ශන කොටස උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේදී රූගත කිරීමට නියමිතයි. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය පසුතල සූදානම් කරමින් තිබෙන අතර එළඹෙන මාසය මුල භාගයේදී රාජස්ථාන දර්ශන කොටස් රූගත කිරීමටයි නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කරන්නේ. ඉන්පසුව කේරළය සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි ස්ථාන කිහිපයකදී ඉතිරි දර්ශන නිමා කිරීමට නියමිතයි. චිත්‍රපටයේ කිසිදු කොටසක් ඉන්දියාවෙන් පිටතදී රූපගත නොකිරීමත් විශේෂත්වයක්.
Malaikottai Valiban හි සටන් අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන්නේ පසුගිය දිනවල ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයටත් පත් වූ Kantara සහ KGF කන්නඩ සිනමාපටවල සටන් අධ්‍යක්ෂණය කළ Vikram More විසිනුයි. ඒ නිසාම කන්නඩ ප්‍රාන්තය සහ KGF-Kantara වටා බැඳුනු හින්දි ප්‍රේක්ෂකාගාරයේ අවධානයත් දැන් Malaikottai Valiban සිනමාපටයට යොමුව තිබෙනවා. Lijo Jose Pellisseryගේ අධ්‍යක්ෂණ විලාසයත් දරුණු සටන් හා බැඳුණු රෞද ස්වරූපයක් ගන්නා නිසා මේ චිත්‍රපටයේදීත් නිසැකවම එවැනි සටන් ජවනිකා ගණනාවක් දැකගත හැකි වේවි.
Vikram Moreට අමතරව දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දක්ෂ තාක්ෂණික ශිල්පීන් රැසක් මෙම ව්‍යාපෘතියට තම දායකත්වය ලබා දෙනවා. මෙහි සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් සම්බන්ධ වන්නේ Swathanthryam Ardharathriyil සහ Ajagajantharam සිනමාපට ද්විත්වය සෑදූ Tinu Pappachan විසිනුයි. ඔහු මීට පෙරත් LJPගේ නිර්මාණ ගණනාවක සහාය අධ්‍යක්ෂකවරා ලෙසින් කටයුතු කළා.
තිර පිටපත් රචනය P S Rafeequeගෙනි. ලිජෝ ජෝසේගේ පෙර නිර්මාණ වන Jallikattu සහ Amen හි සංගීත අධ්‍යක්ෂණය කළ Prashanth Pillai මෙම චිත්‍රපටයට නැවතත් ඔහු සමඟින් එක්ව තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ Kammatipadam, Churuli, SOLO වැනි සම්මානිත නිර්මාණ ගණනාවකට සම්බන්ධ වූ Madhu Neelakandan විසිනුයි.
මේ දිනවල මෝහන්ලාල්ගේ චිත්‍රපට දෙකක නිෂ්පාදන කටයුතු සිදුවන අතර එළඹෙන ජනවාරියේදී ඔහු තවත් නිර්මාණයක රූපගත කිරීම් සඳහා සම්බන්ධ වීමට නියමිතයි. එම නිසා බොහෝදුරට මෙම Malaikottai Valiban හි වැඩ කටයුතු එළඹෙන වසර මැද භාගයේදී ඇරඹීමට ඉඩකඩ තිබෙන අතර 2024 වසරේදී ලෝ පුරා සිනමාශාලා වලදී ප්‍රදර්ශනය අරඹනු ඇති..!!
Written by Kavinu Weerakkody