වෙට්‍රිමාරන්ගේ Viduthalai කොටස් දෙකකට නිකුත් වෙයි

Avatar Kavinu Weerakkody | September 18, 2022 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

සිනමාව තුළ රංගන ශිල්පියෙකු ලබා ගන්නා ජනප්‍රියත්වය සහ රසික ආකර්ෂණය, සිනමා තිරයෙන් පිටුපස සිටින අධ්‍යක්ෂකවරයෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. යම් චිත්‍රපටයකට සාර්ථකත්වයට සමගාමීව එහි රඟන නලු නිළියන් වටා රසික අවධානය වැඩි වනවා මිස, එය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා හට එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ.
නමුත් කලාතුරකින් සිනමා අධ්‍යක්ෂකවරුන් වටාත් එවැනි තමන්ටම අනන්‍ය වූ ප්‍රේක්ෂකාගාර බිහි වනු දැක ගත හැකියි. හොලිවුඩයේ Quentin Tarantiono, David Lynch… ජපානයේ Akira Kurasawa… ඉතාලියේ Roberto Rossellini… ආදී පුද්ගලයින් ලෝක සිනමාව තුළ එවැනි විශාල රසික අවධානයක් ලබා ගන්නට සමත් වූ සිනමාකරුවන් අතරෙ හි උඩින්ම සිටිනවා.

ආසියානු කලාපයේ දැවැන්තම චිත්‍රපට කර්මාන්තය ලෙස සැලකෙන ‘ඉන්දියානු සිනමා කර්මාන්තය’ තුළද එවැනි Cult නිර්මාණය කරමින්, තමන්ටම අනන්‍ය රසිකාගාරයක් බිහි කරගන්නට සමත් වුනු අධ්‍යක්ෂකවරුන් ගණනාවක්ම දක්නට ලැබෙනවා. Mani Ratnam, Rituparno Ghosh සහ Anurag Kashyap වැනි අධ්‍යක්ෂකවරුන් මෑතකාලීන ඉන්දීය සිනමාව තුළ ඊට දැකගත හැකි හොඳම නිදසුන් කිහිපයක්…

දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන තමිල්නාඩුව ප්‍රධාන කොටගෙන බිහිවූ දමිළ චිත්‍රපට ක්ෂේත්‍රයේ සක්‍රීය සිනමාකරුවෙකු වන Vetrimaran ද, රසිකයින් අතරෙ හි මෙවැනි වෙනමම ස්ථාවරත්වයක් ගොඩ නඟාගෙන සිටින අධ්‍යක්ෂකවරයෙක්. Polladhavan, Visaranai, Kaaka Muttai වැනි පෙරළිකාර චිත්‍රපට ගණනාවක් වෙට්‍රිමාරන් විසින් නිර්මාණය කර තිබෙන අතර ඔහු සහ ධනුෂ්ගේ සුසංයෝගයෙන් නිපදවූ Adukalam – Vada Chennai ආදී චිත්‍රපට ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

වෙට්‍රිමාරන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම සිනමාපටය වන ‘Viduthalai’ හැඳින්වෙන්නේ, මෑතකාලයේ වැඩිම රසික අවධානයක් දිනාගෙන තිබෙන දමිළ චිත්‍රපට අතුරින් එකක් ලෙසටයි. දමිළ සිනමාවේ දක්ෂ චරිතාංග නලුවෙකු වන Vijay Sethupathi ප්‍රධාන චරිතය රඟන මෙහි තවත් වැදගත් චරිතයක් සඳහා රංගන ශිල්පී Sooriව සම්බන්ධ කොට ගෙන තිබෙනවා. චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම දිවෙන්නේ ඔවුන් දෙදෙනා වටායි. හාස්‍ය රංගන ශිල්පියෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසි Soori, මේ වනවිට දමිළ සිනමාවේ වැඩිම මුදලක් අය කරන හාස්‍ය නළුවන්ගෙන් කෙනෙක්. ඔහු සතුව පුළුල් රංගන පරාසයක් තිබුණත්, මෙතෙක් කිසිදු සිනමාපටයකින් චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස ඔහුව ඉස්මතු වී පෙනුනේ නැහැ. Viduthalai සිනමාපටයෙ හි සූරිට ලැබී තිබෙන භූමිකාව ඔහුගේ පෙර චිත්‍රපටවලට හාත්පසින්ම වෙනස් – දරුණු චරිතයක්. මේ නිසාම මෙතෙක් කල් නොදුටු Sooriගේ රංගන පරාසය Viduthalai හරහා රසිකයින්ට දැක ගැනීමට හැකි වෙතැයි සිනමා විචාරකයින් පවා ඉඟි පළ කරනවා.

අධ්‍යක්ෂක Vetrimaran විසින්ම තිර පිටපත ද රචනා කළ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුනේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී යි. දකුණු ඉන්දියාවේ “සත්‍යමන්ගලම්” නැමැති වනාන්තරය තුළ මෙහි ප්‍රධාන දර්ශන කිහිපය රූපගත කළ අතර මාස හතරක් පුරාවට නිෂ්පාදක කණ්ඩායම සිටියේ එම වනාන්තරය තුළයි.
Viduthalai හි රූපගත කිරීම් සියල්ලම පාහේ මේ වනවිට අවසන් වී තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

කෙසේ නමුත් මෙය තනි (Solo) චිත්‍රපටයක් ලෙස නිකුත් වන්නක් නොවන බවට නිෂ්පාදක කණ්ඩායම විසින් පසුගියදා දැනුම් දීමත් සමග යළි සිනමා රසිකයින් මේ චිත්‍රපටය ගැන කතාබහ කරන්න පටන් අරන්. මුලදී Solo නිර්මාණයක් ලෙස වැඩ පටන් ගත්තද මෙහි කතා තේමාවේ දීර්ඝ බව නිසාම ඔවුන් සිය සැලසුම් යළිත් වෙනස් කොට තිබෙනවා. ඒ අනුව Viduthalai පළමු සහ දෙවන කොටස් ලෙස චිත්‍රපට ද්විත්වයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

Viduthalai දෙවන චිත්‍රපටයට සඳහා අදාළ වන දර්ශන විශාල ප්‍රමාණයක් ද නිමා කොට තිබෙන අතර දෙවන කොටසට අදාළ වන පසුමිබ් දර්ශන කිහිපයක් පමණක් තවම ඉතිරිව ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.
Vijay Sethupathi සහ Sooriට අමතරව Gautham Vasudev Menon, Prakash Raj, Rajiv Menon වැනි දක්ෂ නළු නිළියන් පිරිසක් මීට රංගනයෙන් සම්බන්ධ වනවා. චිත්‍රපට ද්විත්වයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ වර්තමාන ඉන්දියානු සංගීතයේ පරිණතම නිර්මාණකරුවෙකු වන මාස්ටර් Ilaiyaraaja විසිනුයි.

Asuran (2019)ට පසුව වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කරන නවතම දිගු වෘතාන්ත සිනමාපටය මෙය වුනත්, මින් පෙර වෙනත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු තීරණය කර තිබුනා. නමුත් එහි පූර්ව නිෂ්පාදන කටයුතු මදක් ප්‍රමාද වුනු නිසා Viduthalai ආරම්භ කොට තිබෙනවා.

Vadivaasal වෙනුවෙන් සූරියා සහ වෙට්‍රිමාරන් ගිවිසුම්ගත වී දිගු කාලයක් ගත වී තිබුනත් ඔවුන් දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා එහි නිෂ්පාදන කටයුතු දිගින් දිගටම ඇණහිටියා. කෙසේ වුවත් වසර දෙකකට පමණ පසු, එළඹෙන දෙසැම්බරයේදී මෙහි රූගත කිරීම් ඇරඹීමටයි ඔවුන් සූදානම් වන්නේ. ඒ වනවිට Viduthalai පළමු කොටසේ වැඩ කටයුතු නිමා කොට Vadivaasal හි රූගතකිරීම් ඇරඹීමට සැළසුම් කොට තිබෙනවා.

Share

65 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.