ශේෂ සමඟින් ගයාත්‍රි කේමදාස යළිත්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට

Avatar Kavinu Weerakkody | December 4, 2024 90 Views 0 Likes 5 On 1 Rating

90 Views 5 On 1 Rating Rate it

ලංකාවේ අපේ සාම්ප්‍රදායික නර්තන කලාව වියැකෙන්නට නොදී රැකගන්නට වෙර දරන, පාරම්පරික නර්තන ගුරු පවුලක් ගැන කියැවෙන ශේෂ (Sheysha) අලුත්ම සිංහල චිත්‍රපටය බොහොම ඉක්මනින් දිවයින පුරා සිනමා හල්වල තිරගත කරන්නට සූදානම්.

චන්දන වික්‍රමසිංහ සමඟින් උමාලි තිලකරත්න ප්‍රධාන චරිත රඟපාන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉසුරු ගුණතිලක විසිනුයි.

ඒ වගේම ශේෂ චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරමින්, එහි සංගීත අධ්‍යක්ෂණයට එක්වී සිටින්නේ ත් තවත් විශේෂ පුද්ගලයෙක්! ඇය, මෙරට සිටි අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ දියණිය වන ගයාත්‍රි කේමදාස…

චෙක් ජනරජයේ ප්‍රාග් සංගීත විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරූ ගයාත්‍රි කේමදාස, මේ වනවිට සිය සංගීත නිර්මාණ වෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා සිටිනවා. චිත්‍රපට පසුබිම් සංගීතය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනාගත් පළමු ලාංකීය කාන්තව වන්නේ ද ගයාත්‍රි කේමදාස මහත්මියයි.

බීතෝවන් – ඇන්ටෝනියෝ විවල්ඩි – ජෝසප් හයිඩ්න් වැනි ලෝක සංගීතයේ පුරෝගාමීන්ගේ නිර්මාණවලට සංගීතය එකතු කිරීම සඳහාත් ඇයට වරෙක අවස්ථාව ලැබුනු බව ඔබ දන්නවාද?

ලෝක සංගීත ඉතිහාසයේ අග්‍රගණ්‍ය සංධ්වනියක් වන ජෝසප් හයිඩ්න්ගේ “Creation” නැමැති සංගීත වාදනයේ, ඔහු විසින් අවසන් නොකළ කොටසකටයි ගයාත්‍රි කේමදාස විසින් මේ ආකාරයට සංගීතය මුසු කළේ. දැනටමත් එංගලන්තය ඇතුලු රටවල් රැසකදී මෙය තිරගත කර තිබෙනවා. මෙය ලාංකික සංගීතවේදියෙකුට ලැබුනු අතිශය දුර්ලභ අවස්ථාවක්!

එමෙන්ම, ලෝකප්‍රසිද්ධ සාහිත්‍යධරයෙකු වන රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කාව්‍යයක් වෙනුවෙන් සංගීතය මුසු කිරීමේ භාග්‍යය ද මීට පෙර ඇයට ලැබුනා. Freedom නැමැති තාගෝර්තුමාගේ ප්‍රසිද්ධ කවියක් එහිදී ඇය සංගීතවත් කලා.

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සමයේදී ‘පුලාන් දේවි’ නැමැති සංගීත ඔපෙරාව හරහා ඇය සිය නිර්මාණ දිවිය අරඹන අතර එතැන් පටන් විදෙස් සම්භාව්‍ය සංගීත පර්යේෂණ විශාල ප්‍රමාණයකට එක්වන්නට ගයාත්‍රි කේමදාසට හැකියාව ලැබෙනවා. ඇය මෙරට සංගීත දිවිය අරඹන්නේ, පසුගිය කාලයේදී ලංකාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වුනු තණ්හා රතී රඟා චිත්‍රපටයත් සමඟයි.

තණ්හා රතී රඟා චිත්‍රපටය වෙනුවෙන් 2015 දෙරණ සිනමා උළෙල, Hiru Golden Film Awards උළෙල සහ OCIC සම්මාන උළෙලේදී ගයාත්‍රි කේමදාස මහත්මිය විසින් “විශිෂ්ටතම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට” හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ, චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා මෙරට ජාතික මට්ටමේ සම්මානයක් දිනාගත් ප්‍රථම ලාංකික කාන්තාව බවට පත් වෙමිනුයි..!

ඉන්පසුව 2020 වසරේදී, ඇය The Newspaper චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා එක්වුනා. දෙස් විදෙස් සම්මාන රැසක් ජයග්‍රහණය කළ The Newspaper චිත්‍රපටය වෙනුවෙන් යළිත් ඇය හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ඇමරිකාවේ සිලෝන් සිනමා උළෙලේ දීයි.

ඉන්පසුව 2023 වසරේදී පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලේදී ත්, The Newspaper චිත්‍රපටය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය සහ විශිෂ්ටතම ගී තනුවට හිමි සම්මාන දිනාගත්තේ ද ගයාත්‍රි කේමදාස මහත්මිය විසිනුයි.

මෙවැනි ජාත්‍යන්තර අවධානයට ලක් වුනු මෙරට විශිෂ්ට සංගීතවේදිනියක වන ගයාත්‍රි කේමදාස මහත්මිය විසින් සංගීත අධ්‍යක්ෂණය කළ නවතම නිර්මාණය වන “ශේෂ” (Sheysha) සිනමාපටයත් 2025 වසරේ මුල සිට ලංකාව පුරා තිරගත වීමට නියමිතයි.

මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව රැකගන්නට වෙර දරන පාරම්පරික නර්තන පවුලක් වටා ගෙතෙන ශේෂ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉසුරු ගුණතිලකයි. ලාංකීය නර්තන කලාවේ පුරෝගාමී චරිතයක් වන චන්දන වික්‍රමසිංහ මහතා සමඟින් ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ වනවිටත්, ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කරන්නටත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

2025 වසරේ මුල සිට ශේෂ සිනමාපටය ලෝ පුරා රටවල් කිහිපයකම තිරගත වීමට නියමිතයි.

ඇගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන, නුදුරේදීම දිවයින පුරා තිරගත වීමට නියමිතව තිබෙන ශේෂ (Sheysha) සිනමාපටයත්, තණ්හා රතී රඟා සහ ද නිවුස්පේපර් මෙන්ම විශිෂ්ට අන්දමේ පසුබිම් සංගීතයකින් වර්ණවත් වී තිබෙන බවට කිසිදු සැකයක් නැහැ.

විශේෂයෙන්ම, ලාංකීය නර්තන කලාව හා සබැඳුනු අතිශය රමණීය නාද රටාවන් සිනමා තිරය මතින් දැකබලා ගන්නට මෙරට සිනමාලෝලීන්ට මෙය අපූරු අවස්ථාවක් වේවි…!!!

Share

90 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.