සිංහල චිත්‍රපට හතරක් දිවයින පුරා සිනමාහල්වල

Avatar Nisanka Weheraduwa | December 10, 2021 1761 Views 1 Like 1 On 1 Rating

1761 Views 1 On 1 Rating Rate it

කොවිඩ් වසංගතය නිසා වසා තිබුනු දිවයින පුරා සිනමාශාලා දැන් යළිත් විවෘත වෙන්න පටන් අරගෙන. මේ අතරේ කොවිඩ් වසංගත සමයේ තිරගත වෙමින් පැවති ලාංකීය චිත්‍රපටි කිහිපයකුත් පසුගිය දිනවල නැවතත් සිනමාශාලා තුළින් දැකගන්න අවස්ථාව ලැබුණා. කබඩි, Colombo වැනි චිත්‍රපට එසේ සාර්ථකව සිනමාශාලා තුළ ප්‍රදර්ශනය වුනු නිසා මීට පෙර තිරගත නොවුනු තමන්ගේ නවතම නිර්මාණ ප්‍රේක්ෂකයින්ට මුදා හරින්නත් අපගේ සිනමාකරුවන් පෙළඹුනා. කොවිඩ් වසංගතයෙන් පසු යළිත් ඇරඹි මෙරට සිනමාහල් තුළ ලාංකීය චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය ඇරඹුනේ ඒ පෙළඹීමත් සමගයි. ගෝලීය වසංගතයක් නිසා ලෝක සිනමාවම අඩපණ වූ මොහොතක ලාංකීය සිනමාවටත් ඒ බලපෑම තදින්ම දැනුනා. නමුත් දැන්, ඒ බාධක අභිබවමින් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්න අපේ සිනමා ක්ෂේත්‍රය යළිත් උත්සාහ දරනවා.

එසේ මෙරට තිරගත වීම අරඹා තිබෙන නවතම සිංහල සිනමාපට.

සුනිල් ප්‍රේමරත්නගේ නිහඬ සෙවනැලි

උදයකාන්ත වර්ණසූරියගේ ගිනිමල් පොකුරු

දේවින්ද කෝන්ගහගේගේ භවතරණ

මිචෙල් ෆොන්සේකාගේ නිම්හිම්

නිහඬ සෙවනැලි

සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ නිහඬ සෙවනැලි සිනමාපටය මෙරට තිරගත වීම ඇරඹුණේ පසුගිය නොවැම්බර් 11 වනදා සිටයි. වන විනාශය හා බැඳි horror ශානරයේ සිනමාපටයක් වන මෙය ජානක රන්චාගොඩගේ නිෂ්පාදනයක්. මේ ඔහුගේ කුළුදුල් චිත්‍රපට නිෂ්පාදනයයි.“වැලිපවුරු” සහ “ටවුමේ ඉස්කොලේ” චිත්‍රපට ද්විත්වයෙන් පසු සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ තෙවන චිත්‍රපටය වන්නේ නිහඬ සෙවනැලියි. මෙහි කතා තේමාව ගෙතෙන්නේ විනෝද චාරිකාවක් යන කෙළිලොල් මිතුරු මිතුරියන් හය දෙනෙකු වටායි. ගණ වනාන්තරයක් මධ්‍යයේ නොසිතූ පරිදි මුහුණ දීමට සිදුවන අත්භූත සිදුවීම් පෙළක් ඔවුන්ගේ ජීවිතයම වෙනස් කරන්නේ මේ අතරේදීයි. පුබුදු චතුරංග, රොශාන් රණවන සහ හරිත් වාසල විසින් මිතුරන් තිදෙනාගේ ප්‍රධාන චරිත රඟ දක්වද්දි කාන්තා චරිත සඳහා දායකත්වය ලබාදෙන්නේ තාරුකා වන්නිආරච්චි, මාෂි සිරිවර්ධන සමඟින් ධනංජි තාරුකායි.

රංගනයට අමතරව මෙහි තිර පිටපත රචනය සඳහාත් හරිත් වාසල එක්ව තිබෙනවා. චිත්‍රපටයේ දර්ශනවලින් විශාල ප්‍රමාණයක් රූපගත කර තිබෙන්නේ පන්නල, මොරගහහේන සහ ගෝනවල ආශ්‍රිත ගන වනාන්තර තුළයි. දර්ශන වික්‍රමතුංගගේ සංගීත සංයෝජනයෙන් හැඩ වන මෙහි සංස්කරණය අනුර බණ්ඩාර විසිනි. සටන් අධ්‍යක්ෂණයෙන් එක්ව සිටින්නේ වසන්ත කුමාරයි.

ගිනිමල් පොකුරු

නිහඬ සෙවනැලි සිනමාපටයෙන් පසු මෙරට සිනමාශාලාවලට නිකුත් වූ ඊළඟ නිර්මාණය වූයේ ගිනිමල් පොකුරු චිත්‍රපටයයි. ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයක් වූ ගිනිමල් පොකුරු චිත්‍රපටය ඔහුගේ පෙර නිර්මාණවලට වඩා වෙනස්ම ප්‍රවේශයක් ගත්තක්. පවුලේ සැමට නැරඹිය හැකි, සරල කතා තේමාවන් සහිත චිත්‍රපට රාශියකට පසු නැවතත් වැඩිහිටියන්ට පමණක් වෙන් වූ කතා තේමාවකට යෑමට ඔහු ගිනිමල් පොකුරු තුළින් උත්සාහ ගෙන තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් චුලක්ෂි රණතුංගයි. ඊට අමතරව චරිත් අබේසිංහ, ආනන්ද කුමාර උන්නැහෙ, දිල්රුෆා ෂනාස් වැනි නළු නිළියන් බොහෝමයක් ගිනිමල් පොකුරු තුළින් දැකගත හැකියි.

අසරණ කාන්තාවන් මුලා කරමින් ඔවුන්ගෙන් අනිසි ප්‍රයෝජන ලබා ගැනීමට තැත් කරන පොලිස් නිලධාරියෙකු පිළිබඳවත්, අවසානයේදී ඔහුට අත්වන ඉරණම පිළිබඳවත් චිත්‍රපටයෙන් දැකගන්න හැකියාව තිබෙනවා. මෙය උදයකාන්ත වර්ණසූරියගේ විසිපස් වන සිනමාපටය වීමත් විශේෂත්වයක්. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන අතර සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙන්. ගිනිමල් පොකුරු තිරගත වීම ඇරඹුනේ පසුගිය දෙසැම්බර් දෙවන දා සිටයි.

භවතරණ

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ දේශපාලනික සහ සමාජීය සිද්ධි දාමයක් වටා ගෙතෙන භවතරණ චිත්‍රපටය, අතිවිශාල පිරිවැයක් යොදා කළ නිර්මාණයක්. ගිරිවැසිපුර චිත්‍රපටය නිපදවූ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන්නේ මෙයයි. රාජපුත්‍ර ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ භවතරණ සිනමාපටය මීට පෙර අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික සම්මාන දිනාගැනීමටත් සමත් වී තිබෙනවා. ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා රංගනයෙන් සම්බන්ධ වූ භවතරණ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සජීව් ක්ෂත්‍රීය රාජපුත්‍රයි.

මහේන්ද්‍ර පෙරේරා, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග සහ රොෂාන් රවින්ද්‍ර වැනි ජනප්‍රිය තලයේ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් මෙහි උපප්‍රධාන චරිත සඳහා සම්බන්ධ වී තිබෙනවා. භවතරණ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුව තිබෙන්නේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ අතිනුයි. ගිනිමල් පොකුරු චිත්‍රපටයෙන් දිනකට පසු, දෙසැම්බර් 03වනදා නිකුත් වූ මෙම භවතරණ සිංහල සිනමාපටය දිවයින පුරා සිනමාහල්වලදී ඔබට දැන් නැරඹිය හැකියි.

නිම්හිම්

සනම් තේරී කසම් (Sanam Teri Kasam) හින්දි චිත්‍රපටය අනුසාරයෙන් නිපදවූ “නිම්හිම්” මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණයක්. සුපිරි අන්දරේට පසුව ඔහු නිර්මාණය කළ දෙවන චිත්‍රපටය වන්නේ මෙයයි. ධනවත් කෙළිලොල් තරුණයෙකු හා පෙමින් බැඳෙන අහිංසක තරුණියක වටා නිම්හිම් චිත්‍රපටයේ කතාව දිව යනවා. මිලින්ද මඩුගල්ලේ සහ ගංඟු රොෂානා ප්‍රධාන රංගනයෙන් එක්වන මෙහි නිෂ්පාදනය Ama Films ආයතනයෙන් සිදු කර තිබෙනවා. ජනක් පේ‍්‍රමලාල්, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, ඩබ්ලිව්. ජයසිරි, රොෂාන් පිලපිටිය වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පීන් රැසක්ම නිම්හිම් චිත්‍රපටයේ උප චරිත තුළින් ප්‍රේක්ෂකයින්ට දැකගත හැකියි. පවුලේ සැමට නැරඹිය හැකි ආදරණීය කතා පුවතක් රැගත් මෙහි  සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ සරත් වික්‍රම විසිනි.

නුවරඑළිය, කුරුණෑගල සහ කොළඹ ආශ්‍රිතව රූපගත කිරීම් සිදු කළ නිම්හිම් සිනමාපටය දිවයින පුරා තිරගත වීම ඇරඹුණේ දෙසැම්බර් 09වනදා සිටයි. මේ අයුරින්, එකිනෙකට වෙනස් ලාංකීය නිර්මාණ 04ක් මේ වෙනවිටත් තිරගත වෙමින් තිබෙනවා. කෝවිඩ් වසංගතයෙන් පසුව යළි විවෘත වූ සිනමාහලෙන් මේ නවතම නිර්මාණ රස විඳීමට ඔබට පුළුවන්.

නිහඬ සෙවනැලි – සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණයක්

(Horror, Adventure, Romance)

ගිනිමල් පොකුරු – උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණයක්

(Romance, 18+)

භවතරණ – දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණයක්

(War, History, Action)

නිම්හිම් – මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණයක්

(Drama, Romance, Family)

Share

1761 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.