සිනමාවට නැඟෙන කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයා: Vijay Mallya

Avatar Kavinu Weerakkody | November 29, 2022 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Anurag Kashyap, රංගන ශිල්පියෙකුගේ භූමිකාව හරහාත් කිහිප වරකදීම සිය රසිකයින්ට සමීප වී තිබෙනවා. ධනාත්මක ප්‍රතිචාර හිමිවූ හින්දි චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයා වන ඔහු Filmfare Awards හතරක හිමිකරුවෙක්. එදා මෙදා’තුර ඉන්දියානු සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම ගණයේ crime චිත්‍රපටයක් ලෙසටයි, අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කළ Gang of Wasseypur හින්දි සිනමාපටය සැලකෙන්නේ…

Shagrid, I Am, Akira, Ghoomketu වැනි පසුගිය සමයේදී නිකුත් වූ සිනමාපට ගණනාවකටම ඔහු රංගනයෙන් එකතු වුනා. නයන්තාරා ප්‍රධාන භූමිකාව රඟපෑ Imaikka Nodigal නැමැති දමිළ සිනමාපටයේදී අනුරාග් කාශ්‍යප් විසින් නිරූපණය කළ ප්‍රතිවීර චරිතය දමිළ සිනමා රසිකයින් බහුතරයකගේ ප්‍රසාදයට ලක් වුනා. Ghoomketu (2020) ඔහුගේ පළමු ත්‍රිත්ව චරිත නිරූපණයයි. One 2 One නැමැති තවත් නවතම දමිළ චිත්‍රපටයකට ඔහු රංගනයෙන් එක්වීමට නියමිත අතර එය සිනමා හල්වලට නිකුත් වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන වසරේදීයි.

පසුගිය සතියේදී මෙම දක්ෂ සිනමාකරුවා රංගනයෙන් එක්වන තවත් අලුත්ම හින්දි චිත්‍රපටයක් ගැන විස්තර මාධ්‍යයට අණාවරණය වුනා. Anurag Kashyap රඟපෑ සෙසු සිනමාපටවලට වඩා වෙනස්ම කතා තේමාවක් සහිත මෙය සත්‍ය සිද්ධි දාමයක් ඇසුරෙන් නිර්මාණ වන්නක් ද වනවා. බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම චිත්‍රපටයට පාදක වන්නේ කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන Vijay Mallyaගේ සත්‍ය ජීවිත කතාවයි.

File No: 323 යනුවෙන් දැනට නම් කර තිබෙන මෙම සිනමා නිර්මාණයෙ හි රූගත කිරීම් මෙම වසර අග භාගයේදී පටන් ගැනීමට නියමිතයි. චිත්‍රපටයේ තිර පිටපත මේ වනවිටත් අවසන් කොට තිබෙන අතර චරිත සඳහා තෝරාගත් නලු නිළියන් සමඟ තිර පිටපත ගැන සාකච්ඡා වට කිහිපයකුත් පවත්වා අවසන් බවයි සඳහන් වන්නේ. පැවසෙන අන්දමට File No: 323 තුළ අනුරාග් කාශ්‍යප් විසින් නිරූපණය කරන්නේ Vijay Mallyaගේ ප්‍රධාන චරිතයයි.
ඔහුට අමතරව තවත් ජනප්‍රිය බොලිවුඩ් නලුවෙකු වන Sunil Shetty ද මෙහි වැදගත් චරිතයකට ගිවිසුම්ගත වී තිබෙනවා.
විජෙයි මල්ලයා හැරුණුකොට තවත් කුප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයින් යුගලක් වන Nirav Modi සහ Mehul Choksi පිළිබඳවත් මෙම චිත්‍රපටයෙන් විස්තර කෙරෙනු ඇති. ඔවුන් දෙදෙනා ද Vijay Mallya මෙන්ම ඉන්දීය බැංකු හරහා ප්‍රකෝටි ගණනින් ණය ලබාගෙන රටින් පලා ගොස් සිටින වංචනික ව්‍යාපාරිකයින් දෙදෙනෙක්.
නමුත් චිත්‍රපටය තුළදී Nirav Modi සහ Mehul Choksiගේ චරිත රඟන නලුවන් ගැන කිසිදු තොරතුරක් තවමත් මාධ්‍යයට වාර්තා වී නැහැ.

ව්‍යාපාරික Vijay Mallyaගේ ව්‍යාපාරික වංචා පසුපස හඹා යන රජයේ විගණන නිලධාරියෙකු‍ගේ චරිතයකුයි Sunil Shetty විසින් මෙහි රඟපෑමට නියමිතව තිබෙන්නේ. ආයෝජකයින් සහ ඉන්දියානු බැංකු රවටමින් විජෙයි මල්ලයා විසින් සිදු කර තිබෙන අපරාධ පිළිබඳව සොයන රජයේ නිලධාරීන් පිරිසකට නායකත්වය දෙන ඔහු File No: 323 හි වැදගත්ම චරිත කිහිපයෙන් එකක් බවත් සඳහන් වනවා.

චිත්‍රපටය පිළිබඳ අදහස ඉදිරිපත් කළ සැනින් සුනිල් ශෙට්ටි එම චරිතයට කැමැත්ත පළ කොට තිබෙන අතර ඔහුගේ දර්ශන කිහිපයක් දෙසැම්බර් මසදී රූගත කිරීමටත් සැලසුම් කර අවසානයි. මුම්බායි නගරය ආශ්‍රිත දර්ශන පෙළ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිනමාපටයේ ඉදිරි වැඩ කටයුතු සඳහා යුරෝපීය රටවල් කිහිපයක්ම යොදා ගැනීමට නියමිතයි. ඒ අතුරින් බ්‍රිතාන්‍යය තුළ සාපේක්ෂව වැඩි දර්ශන වාර ප්‍රමාණයක් රූගත කිරීමට සැලසුම් යොදා ඇති බවයි ආරංචි වන්නේ.

මෙම සිනමා නිර්මාණයට පාදක වූ ව්‍යාපාරික Vijay Mallya, එකල ඉන්දියාව තුළ ජනප්‍රිය වී සිටියේ “The King of Good Times” ලෙසටයි. කලකදී ඉන්දීය ව්‍යාපාරික ලෝකයේ දැවැන්තම පුද්ගලයින් දසදෙනා අතරට එක්ව සිටි Vijay Mallya, කලාපයේ දැවැන්තම මධ්‍යසාර නිෂ්පාදකයා සහ ආහාර ඇසුරුම්කරණයේ දැවැන්තමයා ලෙස සිය ව්‍යාපාරික ආධිපත්‍යය පතුරුවාගෙන සිටියා. නමුත් ඔහු එක්වරම සිය සමාගම් සමූහයෙන් වෙන්වී මීට පෙර සම්බන්ධ නොවුනු විවිධ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනයට පෙළඹුනා. එයින් ප්‍රධානම සංදිස්ථානය වන්නේ Kingfisher ගුවන් සමාගමයි.
කෙටි කාලයක් ඇතුළතදී ඉන්දියාවේ දෙවනියට විශාලතම ගුවන් සමාගම බවට පත්වන්නට පවා ඊට හැකියාව ලැබුනා. ඉන් පසු ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන ඇතිවූ උනන්දුව නිසා Formula 01 ධාවන කණ්ඩායමක් සහ Force India සමූහය මිලදී ගන්නටත් ඔහු කටයුතු කළා.
Royal Challengers Bangalore (RCB) ලීග් ක්‍රිකට් කණ්ඩායමේ මුල් හිමිකාරීත්වය දැරුවේත් Vijay Mallya විසිනුයි.

නමුත් අදක්ෂ කළමනාකාරීත්වය සහ දේශපාලන හේතු නිසා ඔහුගේ ව්‍යාපාරික අධිපත්‍යය කඩා වැටුනු අතර සිය ණය ගෙවා ගැනීමට නොහැකිව රටින් පළා යෑමටත් ඔහුට සිදු වුනා. 2016දී ඉන්දියාව අතහැර ලන්ඩනයට පලා යන විට ඔහුට ගෙවීමට ඉතිරිව තිබූ ණය ප්‍රමාණය දළ වශයෙන් කෝටි 9000කට අධිකයි.

Kalol Das, Mihir Mutta, Prateebha Vyas සහ Vakil Khan සිව්දෙනාගේ සුසංයෝගයෙන් නිෂ්පාදනය වන මෙම Case No: 223 සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් අනුරාග් කාශ්‍යප් කටයුතු කරන බවට මුලදී සඳහන් වුවත් එය ගැන නිල තොරතුරක් මේ වනතෙක්ම නිකුත් වී තිබුනේ නැහැ.
නමුත් Case No: 223 හි අධ්‍යක්ෂකවරයා කවුරුන්ද යන්න දැන් නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කිරීමට ගිවිසුම්ගතව තිබෙන්නේ Karthik නැමැති දමිළ සිනමාකරුවෙකු වන අතර ඔහුගේ පළමු දිගු – වෘතාන්ත සිනමාපටය වන්නේ ද මෙයයි.

අතිශය ජනප්‍රිය දමිළ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන Shankar Shanmugam යටතේ සේවය කර තිබෙන ඔහු වසර ගණනාවක් පුරාවට ශන්කර්ගේ නිර්මාණවලට සම්බන්ධ වුනු පුද්ගලයෙක්. ශන්කර්ගේ Shivaji, Aparichit, 2.0 වැනි වාණිජ චිත්‍රපට ගණනාවක සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස Karthik සේවය කොට තිබෙනවා.

Share

57 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.