සිනමාවට 75යි, චිත්‍රපට 08ක් තරංගනියේ…

Avatar Kavinu Weerakkody | January 10, 2022 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය කළේ ජෝතිෂ් සිංහා විසිනුයි. නිෂ්පාදනය සහ රූපගත කිරීම් ඉන්දියාවේදී සිදු වුණත්, සිංහල භාෂාවෙන් නිපදවූ පළමු කතානාද සිනමාපටය වශයෙන් හැඳින්වෙන්නේ මෙම කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි.

එළඹෙන ජනවාරි 21වනදා වනවිට ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 50ක් ද සම්පූර්ණ වනවා. මෙම කරුණු මුල් කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් 10 වනදා සිට 16 වනදා දක්වා ලාංකීය සිනමාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ සිනමාපට හතක් මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තිරගත කිරීමටයි ජාතික චිත්‍රපට සංස්ථාවෙන් තීරණය කර තිබෙන්නේ. ඒ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී යි.

අද (10) ගොළු හදවත චිත්‍රපටයෙන් ආරම්භ වන මෙය, බඹරු ඇවිත් චිත්‍රපටය තිරගත වන එළඹෙන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. සෑම දිනකම සවස 05ට ඇරඹෙන මෙම සිනමා දැක්මෙ හි ප්‍රදර්ශනය වන සිනමාපට කිහිපය පහතින් දක්වා තිබේ.

ගොළු හදවත – ජනවාරි 10 සඳුදා
විරාගය – ජනවාරි 11 අඟහරුවාදා
වල්මත් වූවෝ – ජනවාරි 12 බදාදා
සිකුරුලියා – ජනවාරි 13 බ්‍රහස්පතින්දා
ගැහැනු ළමයි – ජනවාරි 14 සිකුරාදා
සුද්දිලාගේ කතාව – ජනවාරි 15 සෙනසුරාදා
බඹරු ඇවිත් – ජනවාරි 16 ඉරිදා

මීට අමතරව ජනවාරි 18 වනදා ඩී.බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ වැලිකතර සිනමාපටයේ විශේෂ දර්ශනවාරයක් ද පැවැත්වීමට නියමිතයි. මෙම සෑම සිනමාපටයක්ම නොමිලේ ප්‍රදර්ශනය කරන අතර කිසිදු ඇතුල්වීමේ ගාස්තුවක් අය නොකෙරේ.

මීට අමතරව ජනවාරි 21වනදා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙලක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙන අතර එහිදී ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්ට ගෞරව උපහාර දැක්වීමක් පැවැත්වීමට නියමිතයි. රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ඇතුළු කලා ශිල්පීන්ගේ දේශන කිහිපයකින්ද සමන්විත මෙම සැමරුම් උළෙලේදී ජ්‍යෙශ්ඨ රංගන ශිල්පීන් 25 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

ජනවාරි 21වනදා පැවැත්වෙන මෙම උළෙලට සමගාමීව ජයන්ත ගලගෙදර විසින් රචිත “බයිස්කෝප් කතා 35ක්” ග්‍රන්ථය ද දොරට වැඩීමට නියමිතයි.

සිංහල සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට ගොන්නක් නැරඹීමට සිනමාලෝලී ඔබට මෙසේ ආරාධනා කර සිටිමු!

Share

52 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.