සිනේමා – සැප්තැම්බර් 02 වැනිදා සිට දිවයින පුරා…

Avatar Kavinu Weerakkody | August 26, 2022 629 Views 0 Likes 5 On 1 Rating

629 Views 5 On 1 Rating Rate it

මෙරට ලාංකීය සිනමාවට සෑම වසරකදීම විවිධ ශානරයන් හි, විවිධ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, ප්‍රේම කතා, හාස්‍ය නිර්මාණ ආදී එකිනෙකට වෙනස් දේශීය සිනමාපට සෑම වසරකම පාහේ දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වනවා. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට අද නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපට නිකුත් වීමත්, විදේශීය නිර්මාණ ගණනාවක මෙරට ප්‍රදර්ශනය ඇරඹීමත් නිසා රසිකයින් විශාල ප්‍රමාණයක් නැවතත් සිනමාශාලාවට ළඟා වෙමින් සිටිනවා.

අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී, සුරංග ද අල්විස්ගේ The Game, කසුන් පතිරණගේ නයිට් රයිඩර් ආදී සිනමාපටවලට පසුව 2022 වසරේ ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත නවතම සිංහල සිනමාපටය වන්නේ කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ “සිනේමා” (Cine Ma) නිර්මාණයයි.

මෑතකාලයේ නිකුත් වූ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් කතා අනතර්ගතයක් “සිනේමා” චිත්‍රපටයේ ඇති බවත් පැවසෙනවා. 2012 වසරේදී මාලිනී ෆොන්සේකා චරිත නිරූපණය කළ “ප්‍රතිරූ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි කපිල සූරියආරච්චි, අධ්‍යක්ෂණය කළ දෙවන නිර්මාණය වන මෙය චම්පික ජයනන්දනගේ නිෂ්පාදනයකි.

‘සිනේමා’ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 05කට අධික කාලයක් ගත වී තිබුණත්, විශේෂ දර්ශනවාර කිහිපයක් හැර පුළුල් මහජන ප්‍රදර්ශනයක් සඳහා ඊට අවස්ථාව හිමි වූයේ නැහැ. කෙසේ නමුත්, සිනේමා චිත්‍රපටය නිකුත් කිරීමට දැන් නිශ්චිත දිනයක් (release date) ලැබී තිබෙනවා. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 02 වනදා සිට දිවයින පුරා තෝරාගත් සිනමාහල් ප්‍රමාණයකට සිනේමා චිත්‍රපටය මුදා හැරීමට නිෂ්පාදක කණ්ඩායම විසින් තීරණය කර තිබෙනවා.

සිනේමා චිත්‍රපටය‍ ගොඩ නැඟෙන්නේ සිනමාව හා බැදුණු පුද්ගලයින් හය දෙනෙකුගේ සිද්ධි දාමයක් මුල් කරගෙනයි. ඔවුන් හය දෙනා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරයත්, සිනමාව තුළ එකිනෙකාගේ ගමනට අනෙක් පුද්ගලයින් බලපෑම් කරන ආකාරයත් මේ නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකියි.

සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නට සිහින මවන සුමල් ධර්මරත්න…
සිනමාව පිළිබඳ ඉගෙන ගන්නට වෙර දරන තරුණ ජාලිය ජයසේකර…
හෙළ සිනමාවේ ප්‍රතාපවත් චරිතයක් වූ සාගර පේමචන්ද්‍ර…
නොසිතූ අයුරින් සිනමා ගමන නැවතුණු සුප්‍රසිද්ධ නළු ආනන්ද ගුණරත්න…
සිනමා නිළියක වීමට සිහින දකින තිළිණි සමරසිංහ…
සිනමාව ව්‍යාපාරයක් කරගත් කූට ව්‍යාපාරික විශ්වකීර්ති අමරසූරිය…

මෙම ප්‍රධාන චරිත හය වටා ගෙතෙන සිනේමා චිත්‍රපටය “බයිස්කෝප් සිහිනය” දකිනා අය වෙනුවෙන්ම නිර්මාණය වූවක් බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නට සිහින දකින සුමල් ධර්මරත්න නැමැති යන්ත්‍ර ක්‍රියාකරුවා, තමන්ට අහම්බයකින් මුණ ගැසෙන ජාලිය ජයසේකර සමඟ එක්ව තමන්ගේ සිහිනය හැබෑ කරගන්නට දරන උත්සාහය වටා සිනමාපටය ගොඩනැගෙනවා. විශ්වකීර්ති අමරසූරියත් ඔහුගේ හිතවතුනුත් ධනය, බලය අවභාවිතා කරමින් සුමල්ගේ සිහිනයට බාධා ඇති කළත් සුමල් සහ ජාලිය ඒ සියල්ලම අභිබවමින් ඔවුන්ගේ ගමන ඉදිරියටම යන අයුරු සිනේමා කතා තේමාව වනවා.

පහත සබැඳිය ඔස්සේ සිනේ මා (Cine Ma) හි නිළ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.

ප්‍රධාන චරිතය වන සුමල් ධර්මරත්න ලෙස ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයේ යෙදෙන අතර විහඟ සූරියආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, නයන්තාරා වික්‍රමාරච්චි සහ බිමල් ජයකොඩි සෙසු උපප්‍රධාන චරිත රඟ දක්වනවා. ඊට අමතරව ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජගත් බෙනරගම, චාන්දනී සෙනවිරත්න, විජේරත්න වරකාගොඩ, අයිරාංගනී සේරසිංහ, දුලීකා මාරපන ආදී ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ගණනාවක්ම සිනේමා (CineMa) සඳහා දායකවී තිබෙනවා.
2019 වසරේ යුක්‍රේනයේ Kiev International Film Festival සඳහා ලංකාව නියෝජනය කිරීමට සිනේ මා සමත්වුනා.

අධ්‍යක්ෂණයට අමතරව මෙහි කතාව සහ තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ ද වෛද්‍ය කපිල සූරියආරච්චි විසිනි. රෝස රහස, ඊතලය, ගොවි තාත්තා වැනි චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත ප්‍රදීප් සිනේමා චිත්‍රපටයට කැමරාකරණයෙන් එක්ව තිබෙනවා.
සිනේමා කලා අධ්‍යක්ෂණය බුද්ධි සංජය එදිරිසිංහ සහ දිනේෂ් ඉන්දික විජේසිරි එකතුවෙනි. තේමා ගීත ගායනයට සේනක බටගොඩ එක්ව සිටිනවා.

සිනේමා (CineMa) චිත්‍රපටයට එක් වූ රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් පිරිස…..

අධ්‍යක්ෂණය : කපිල සූරියආරච්චි
කතාව සහ තිර පිටපත : කපිල සූරියආරච්චි
නිෂ්පාදනය : චම්පික ජයනන්දන

රංගන ශිල්පීන් :

ශ්‍යාම් ප්‍රනාන්දු, විහඟ සූරියආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, නයන්තාරා වික්‍රමාරච්චි, බිමල් ජයකොඩි, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජගත් බෙනරගම, චාන්දනී සෙනවිරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ, කළණි දොඩැන්තැන්න, දුලීකා මාරපන, අයිරාංගනී සේරසිංහ, තුසිත් රණවීර, ත්‍රිෂලා නතාෂි සහ කෞෂල්‍යා සමරසිංහ

කැමරාකරණය : නිශාන්ත ප්‍රදීප්
සංස්කරණය : ප්‍රසංග නාපවල
කලා අධ්‍යක්ෂණය : බුද්ධි සංජය එදිරිසිංහ සහ දිනේෂ් ඉන්දික විජේසිරි
නිෂ්පාදන කළමනාකරණය : දමයන්ති ෆොන්සේකා
වේෂ නිරූපණය : සුසන්ත රාමසිංහ

සංගීත අධ්‍යක්ෂණය : ආචාර්ය රෝහණ වීරසිංහ
පසුබිම් ගීත ගායනය : සේනක බටගොඩ, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, රන්ජන් සාලිය පෙරේරා

Share

629 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.