සිහින සමීකරණ – අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමයක්

Avatar Kavinu Weerakkody | June 7, 2024 327 Views 0 Likes 1 On 1 Rating

327 Views 1 On 1 Rating Rate it

ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ, මෙරට තරුණ නිර්මාණකරුවෙකුගේ කුළුදුල් සිනමාපටයක් ඊයේ දිනයේ‍ (07) සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා.
ඒ සසික හේරත් විසින් අධ්‍යක්ෂණය කළ සිහින සමීකරණ (The Dream Equation) නැමැති නවතම ලාංකීය චිත්‍රපටයයි.

සජිත ඇන්තනි – රන්දික ගුණතිලක – කසුනි කාවින්දි – අශාන් ඩයස් වැනි තරුණ පරපුරේ ජනප්‍රිය නලු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය වන නිසල්ගේ චරිතය සජිත ඇන්තනි විසිනුත්, අශේන්ගේ චරිතය රන්දික ගුණතිලක විසිනුත් නිරූපණය කරන අතර රිද්මි නැමැති චරිතයට පණ පොවන්නේ කසුනි කාවින්දි ප්‍රනාන්දුයි.

ජනක නැමැති ගුරුතුමාගේ චරිතයට අශාන් ඩයස් සහ අසංකගේ චරිතයට ජූජන දන්දෙණිය රංගන දායකත්වය ලබාදෙනවා. දිල්කිගේ භූමිකාව රඟපාන්නේ රෙබෙකා දිල්රුක්ෂියි. මීට අමතරව වසන්ත විට්ටච්චි, මොරින් චාරුනී, නයනා හෙට්ටිආරච්චි වැනි ප්‍රවීණ ශිල්පීන් පිරිසකුත් සිහින සමීකරණ චිත්‍රපටයෙන් දැකගන්නට පුලුවන්.

සිය අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්නට නොහැකිව ලතැවෙමින් සිටින නිසල්ට, අහම්බයකින් මෙන් මුණගැසෙන අශේන් නැමැති මත්කුඩු ජාවාරම්කරුවෙකු නිසා ඔහුගේ ජීවිතයම කණපිට පෙරළෙන අතර අවසානයේදී නිසල්ට නිකරුනේ සිරබත් කෑමට පවා සිදුවනවා.
නමුත් අවසානයේදී මෙම බාධක සියල්ලම මඟ හරවාගනිමින්, අඩාළ වූ සිය අධ්‍යාපනය නැවතත් පටන්ගෙන මුලට සිටම ජීවිතය හැඩගස්වා ගන්නා නිසල්ගේ කතාව සිහින සමීකරණ චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

ශ්‍රී ලාංකීය ප්‍රදර්ශනය ඇරඹීමට පෙර අප්‍රිකානු කලාපයේ ජනප්‍රිය සිනමා සම්මාන උළෙලක් වන නයිජීරියාවේ “බයෙල්සා (Bayelsa International Film Festival) අන්තර්ජාතික සිනමා උළෙලේදී” ජගත් සම්මානයක් ජයග්‍රහණය කිරීමටත් මෙම සිනමාපටයට හැකියාව ලැබුනා.
එහි කැමරා අධ්‍යක්ෂණය සිදු කළ චන්දන ජයසිංහ මහතා සිහින සමීකරණ චිත්‍රපටය වෙනුවෙන් Bayelsa International Film Festival හි “හොඳම කැමරාකරණයට හිමි සම්මානය” දිනා ගන්නට සමත් වූ අතර සිහින සමීකරණ චිත්‍රපටය විසින් දිනාගත් පළමු විදෙස් සම්මානය වන්නේ ද මෙයයි.

බයෙල්සා සම්මාන උළෙලේදී ‘සිහින සමීකරණ’ චිත්‍රපටය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ලෝ පුරා රටවල් 217ක් නියෝජනය කරමින් තරඟ වැදුනු චිත්‍රපට 3900කට ආසන්න ප්‍රමාණයක් අතරිනුයි. හොඳම කැමරාකරණයට අමතරව තවත් සම්මාන 05ක අවසන් නිර්දේශවීම් අතරට පැමිණීමටත් එහිදී මෙය සමත් වුනා.

සිනමාපටය අධ්‍යක්ණය සසික හේරත්ගෙනි. ‘සිහින සමීකරණ’ අධ්‍යක්ෂණය කරන්නට ඔහු සම්බන්ධ වන්නේ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස දශකයකට ආසන්න කාලයක් ක්ෂේත්‍රයේ වැඩ කරමින්, තමන්ට ලැබුනු අත්දැකීම් ද සමඟයි.

දර්ශන විද්‍යාඅරවින්ද විසින් තිර පිටපත ලියා තිබෙනවා. චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරයායි. සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනේ ඉන්දික ධර්මතිලකයි. අජිත් රාමනායකගේ සංස්කරණයෙන් හැඩවන සිහින සමීකරණ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසිනි. විධායක නිෂ්පාදනය දුමින්ද පෙරේරාගෙනි.

පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණකරණයෙනුත්, ප්‍රියන්ත වන්නිනායක අංග රචනයෙනුත් එක්ව තිබෙනවා. සසික රුවන් මාරසිංහ මෙහි ශබ්ද පරිපාලක ශිල්පියායි.
හර්ශන දිසානායක සහ නෙල්කා තිළිණිගේ සුමියුරු ගායනාවලින් හැඩවන මෙහි ගී පද රචනය සිදු කළේ උපුල් ශාන්ත සන්නස්ගලයි. මේ වනවිට චිත්‍රපටයේ ඇතුළත් ගීත කිහිපයකුත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

සිහින සමීකරණ නිෂ්පාදනය කරන්නේ ධම්මික ගීකියනගේ සමඟින් ආචාර්ය චරිත් ජයතිලකයි.

Scope, Lite Cinemas, Regal ඇතුලු දිවයින පුරා තෝරාගත් සිනමා ශාලා රැසකදී සිහින සමීකරණ චිත්‍රපටය රස විඳීමට දැන් ඔබට හැකියාව තිබෙනවා.

Share

327 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.