හිතුමතේ ජීවිතේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවාද?

Avatar Kavinu Weerakkody | March 7, 2022 797 Views 0 Likes 0 Ratings

797 Views 0 Ratings Rate it

ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ, දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන, “හිතුමතේ ජීවිතේ” සිනමාපටය පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි සිංහල සිනමා නිර්මාණයක්. චිත්‍රපටයට පාදක කරගත් කතා තේමාව කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීම නිසත්, එහි සත්‍ය අසත්‍යතාවය ගැන බොහෝ දෙනෙකු තුළ කුකුසක් පවතින නිසාත් “හිතුමතේ ජීවිතේ” සිනමාපටය විශාල කාලයක් තිස්සේ මෙරට සිනමා රසිකාගාරයේ අවධානය දිනා ගත්තා.

හිතුමතේ ජීවිතේ සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ මෑතකාලීන ලාංකීය ඉතිහාසය තුළ සිදු වූ අභාග්‍යසම්පන්න සහ සත්‍ය සිදුවීමක් ආශ්‍රය කරගෙනයි. ඒ සත්‍ය සිදුවීම අනුසාරයෙන් උදේනි සමන් කුමාර විසින් රචිත “හිතුමතේ ජීවිතේ” නැමැති ග්‍රන්ථය පාදක කරගෙන මෙම සිනමාපටයේ තිර පිටපත රචනා කර තිබෙනවා. සිනමාපටයේ කතා තේමාව ගොඩ නැඟී තිබෙන්නේ කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර, මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදු වන සිද්ධි දාමයක් මුල් කරගෙනයි. ‍

2019 වර්ෂයේදී වැඩ නිම කළ හිතුමතේ ජීවිතේ සිනමාපටය මීට මාස කිහිපයකට පෙර තිරගත කරන්නට තිබුණත්, කෝවිඩ් වසංගතය සහ තවත් හේතු නිසා එහි ප්‍රදර්ශනය කල් ගියා. නමුත් ඒ සියලුම බාධක මඟ හරවමින් එළඹෙන අප්‍රියෙල්-මැයි කාල සීමාව තුළදී මෙහි සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන්නට සූදානම් බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.

පහතින් දක්වා තිබෙන්නේ හිතුමතේ ජීවිතේ සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයයි.

වෘත්තියෙන් ගුවන් හමුදා නිලධාරියෙකු වන ක්‍රිෂාන්ත මනම්පේරිගේ පළමු සහ කුළුදුල් වෘතාන්ත – චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ මෙම හිතුමතේ ජීවිතේ චිත්‍රපටයයි. මින් පෙර ටෙලි නාට්‍ය කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබෙන ඔහු කලාවට සම්බන්ධ වී වසර විස්සකට අධික කාලයක් වනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් පසුව එසේ සිනමා අධ්‍යක්ෂණය සඳහා පිවිසෙන ඔහුට, “හිතුමතේ ජීවිතේ” නිර්මාණය සඳහා සහයෝගය ලබා දී තිබෙන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන ප්‍රියංකර රත්නායක සහ සනත් ගුණතිලකයි.
ඔවුන්ගේ සහයෝගය මත නළු නිළියන් තෝරා ගනිමින් මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන අතර ප්‍රධාන චරිතය ඇතුළු බොහෝමයක් ශිල්පීන් තෝරාගෙන තිබෙන්නේ ද ඔවුන්ගේ අනුදැනුම මතයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘හිතුමතේ ජීවිතේ’ හෙවත් සුමතිපාලව නිරූපණය කරන්නේ දිනෙත් ද සිල්වා විසිනුයි. වර්තමාන ලාංකීය සිනමාවේ නැඟීගෙන එන රංගන ශිල්පියෙක් වන ඔහු ආලෝකෝ උදපාදි, ශෙලීනා, Face to Face, පැණි මකුලුවෝ, බිම්බා දේවි වැනි සිනමා නිර්මාණ ගණනාවකින්ම දැක ගැනීමට ලැබුනා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත කන්දක් සේමා, යාත්‍රා සහ 1970 Love Story චිත්‍රපට හරහාත් දිනෙත්ගේ රංගනය දැක ගැනීමට මෙරට සිනමා රසිකයින්ට හැකියාව තිබෙනවා!

ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ජයනි සේනානායක, ජගත් චමිල, කුමාර තිරිමාදුර, ප්‍රියංකර රත්නායක, රොජර් සෙනවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, දමිතා අබේරත්න, පාලිත සිල්වා, අනුරුද්ධිකා පාදුක්කගේ, සරත් චන්ද්‍රසිරි, මරියාන් වෙත්තසිංහ සහ ඉශාන් ගම්මුදලි වැනි රංගන ශිල්පීන් පිරිසක් ද මෙහි සෙසු චරිතවලට රංගනයෙන් දායක වනවා.

හිතුමතේ ජීවිතේ සිනමාපටයට පාදක වී තිබෙන්නේ ’70 දශකයේ කතාවක් නිසා මෙහි රූපගත කිරීම් සඳහා ත් සාමාන්‍ය සිනමාපටයකට වඩා වැඩි වෙහෙසක් දරන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදුව තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිත රූපගත කිරීම්වලදී චිත්‍රපටයට සුදුසු පරිදි දර්ශතල නැවත සකසමිනුයි ඔවුන් මෙහි වැඩකටයුතු නිමා කර තිබෙන්නේ…
ඊට අමතරව කුලියාපිටිය සහ ගිරිඋල්ල ප්‍රදේශවලත් වැදගත් සිදුවීම් කිහිපයක්ම රූපගත කර තිබෙනවා.

2021 වසරේ පැවැත්වූ 19වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට ද මෙය සුදුසුකම් ලබා ගත්තා. ‘බංගලාදේශයේ ඩකා සිනමා උළෙල’ දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානම අන්තර්ජාතික සිනමා උළෙලක් වන අතර 2021 වසරේදී එය නියෝජනය වරම් ලබා ගත් එකම ලාංකීය සිනමාපටය වන්නේ ද “හිතුමතේ ජීවිතේ” වීම විශේෂත්වයක්..!

හිතුමතේ ජීවිතේ හි කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ නිශාන්ත ප්‍රදීප් විසිනි. භවතරණ, සිනේමා, Secret of the Rose, ගොවි තාත්තා වැනි ලාංකීය චිත්‍රපට ගණනාවක කැමරා අධ්‍යක්ෂණය සිදු කළ ඔහු වසර ගණනාවක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත සිනමාකරුවෙක්…
රුක්මල් නිරෝෂ් විසින් සංස්කරණය සිදු කළ මෙය ගයාත්‍රී කේමදාස සහ සාගර විජේසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී තිබෙනවා. කලා අධ්‍යක්ෂණය රංජිත් විජේසිංහගෙනි. මෙහි තිර රචනය කර තිබෙන්නේ ඉන්දික අතුල ප්‍රියන්ත විසිනුයි. හිතුමතේ ජීවිතේ විහාරා සමරසිංහ නිෂ්පාදනයකි.

චිත්‍රපටයට සමබන්ධ වූ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් සහ නළු නිළියන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙනවා.

සිනමාපටය : හිතුමතේ ජීවිතේ
අධ්‍යක්ෂණය : ක්‍රිෂාන්ත මනම්පේරි
තිර රචනය : ඉන්දික අතුල ප්‍රියන්ත
නිෂ්පාදනය : විහාරා සමරසිංහ

කැමරාකරණය : නිශාන්ත ප්‍රදීප්
රේඛීය නිෂ්පාදනය : ප්‍රියංකර රත්නායක
කලා අධ්‍යක්ෂණය : රංජිත් ද සිල්වා

සංගීත අධ්‍යක්ෂණය : ගයත්‍රී කේමදාස, සාගර විජේසිංහ
අංග රචනය : ප්‍රියන්ත දිසානායක
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග : ජයසිංහ වීරක්කොඩි
ඇඳුම් නිර්මාණකරණය : ප්‍රියා රණසිංහ

සංස්කරණය : රුක්මල් නිරෝෂ්
වර්ණ සංයෝජනය : ඩිලාන් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය :දුෂාන් චන්දිමාල්
නිෂ්පාදන කළමනාකරණය : විරාජ් වර්ණසූරිය

Share

797 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.