ළඟ ළඟම එන ‘ගජමෑන්’

Avatar Kavinu Weerakkody | December 15, 2022 1259 Views 2 Likes 4.33 On 6 Ratings

1259 Views 4.33 On 6 Ratings Rate it

ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව, මේ නිර්මාණය වටා දැවැන්ත රසිකයින් පිරිසක් එකතු වූ අතර චිත්‍රපටය සිනමාහලට නිකුත් වන තෙක්ම ඔවුන් පසු වූයේ බොහොම නොඉවසිල්ලකින්…!
නිෂ්පාදන කටයුතුවල අවහිරතා නිසා ගජමෑන් (Gajaman) සිනමාශාලා ප්‍රදර්ශනය දිගින් දිගටම කල් ගියත්, ඒ සියලුම බාධක මඟ හරවාගනිමින් සිය පළමු පුළුල් තිර ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කරන්නට චිත්‍රපටයේ නිෂ්පාදකයින් වූ Studio101 කණ්ඩායම පසුගියදා සමත් වුනා.
ඒ පසුගිය ‍දෙසැම්බර් 09 වනදා තෝරා ගත් සිනමාශාලා ප්‍රමාණයකදී එක් දිනකට පමණක් චිත්‍රපටය, සීමිතව ප්‍රදර්ශනය කිරීමත් සමඟයි.

නමුත් මෙයින් පසුව ලැබුනු ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟින්, ගජමෑන් (Gajaman) හි පුළුල් සිනමාශාලා ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරන්නට ඔවුන් දැන් සූදානම් වනවා. ඒ අනුව බොහෝදුරට එළඹෙන 2023 ජනවාරි මාසයේදී නැවතත් දිවයින පුරා පිහිටි සිනමාහල් වලින් මෙම නිර්මාණය රස විඳින්නට ඔබට අවස්ථාව ලැබේවි.

ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්‍රකතාවක් වන, කැමිලස් පෙරේරා මහතාගේ ‘ගජමෑන්’ කාටූනය ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙය, මෙරට සිනමා ඉතිහාසයේ බිහිවූ පළමු 3D Animation දිගු වෘතාන්ත සිනමාපටය ද වනවා. එමෙන්ම Avatar, The Adventures of TinTin වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්ෂණය ලාංකීය නිර්මාණයකට උපයෝගී කරගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

මුල සිට අවසානය දක්වාම නරඹන්නන්ව හාස්‍යයෙන් ඇඳ බැඳ තබා ගන්නා විනෝදකාමී දර්ශන රැසක් ඇතුළත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ චානක පෙරේරා විසිනුයි. ඔහු සහ ඔහුගේ Studio 101 සජීවීකරණ කණ්ඩායමේ මූලිකත්වයෙන් මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනේ 2010 වසරේදී යි. 2010 අගෝස්තු මාසයේදී චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරන ඔවුන් ඉන්පසුව Motion Capture තාක්ෂණය භාවිතයෙන් මෙහි රූගත කිරීම් සිදු කොට තිබෙනවා. චරිත හඬකැවීම් සහ පසු නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් වීමෙන් පසුව ගජමෑන් (GajaMan) චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වූයේ 2018 වසරේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී යි.

Motion Capture තාක්ෂණයෙන් සිදු වූ මෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වන්නේ පහත පිරිසයි.
ගජමෑන් – දසුන් පතිරණ
මගෝඩිස්තුමා – ටිරාන් අබේවර්ධන
ඇම්ඩා – චාමර ප්‍රියදර්ශන
ස්වීටි – නිපුනි ශාරදා
පද්මාවතී – කසුනි කාවින්දි
ටික්කා – ප්‍රදීප් රාමවික්‍රම

මෙම 3D Animation සිනමාපටය දිවෙන්නේ “ගජමෑන්” යනුවෙන් හැඳින්වෙන එක්තරා තරුණයෙකු වටායි. ඔහු සහ ඔහුගේ ගම්මානයේ ජීවත් වන තවත් පුද්ගලයන් අතර සිදුවන සිද්ධි දාමයක් වටා චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. මගෝඩිස්තුමා නැමැති ප්‍රාදේශීය දේශපාලකයා සමීපයේ සිටින ගජමෑන්, මගෝඩිස්තුමාගේ ඡන්ද කටයුතුවලට සහාය දෙමින් ඔහුගේ සහායකයෙකු ලෙස සේවය කරනවා.
ගජමෑන්ගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වන්නට ගන්නේ මගෝඩිස්තුමාගේ දියණිය වන පද්මාවතී විදේශ රටක සිට නැවත ගම්මානයට පැමිණීමත් සමඟයි. ගජමෑන්ගේ සිතෙ හි ඇය ගැන ආදරයක් හට ගන්නා අතර විවිධ උපක්‍රම යොදා ගනිමින් ඇගේ සිත දිනා ගැනීමටයි ඔහු උත්සාහ දරන්නේ. ගජමෑන්ගේ මෙම උත්සාහයට ඔහුගේ මිතුරන් දෙදෙනා වන ඇම්ඩා සහ ලපයාගේ සහායත් ලැබෙනවා.
ගජමෑන් සිනමාපටය ගෙතෙන්නේ ඔවුන් එක්ව පද්මාවතීගේ සිත දිනා ගැනීමට උත්සාහ කරන ආකාරයත්, ඒ අතරතුරදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන නොසිතූ කරදරවලින් බේරෙන ආකාරයත් පාදක කොටගෙනයි.

පහත සබැඳිය ඔස්සේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට ඔබට හැකියි.

සිනමාපටයෙ හි චරිත සඳහා හඬ මුසු කරන්නට එක්ව තිබෙන්නේ දැනට ලංකාවේ සිටින ජනප්‍රියම සහ ප්‍රවීණතම හඬ නලුවන් පිරිසකුයි. පොඩි මල්ලි – චූටි මල්ලි යුගලයේ මූලිකත්වයෙන් සිදුව තිබෙන මෙහි හඬ පරිපාලන කටයුතුවලට ජනප්‍රිය හාස්‍ය ශිල්පීන්, නලු නිළියන්, රේඩියෝ නිවේදකයින් ගණනාවක්ම එක්ව තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘ගජමෑන්’ සඳහා හඬ මුසු කරන්නේ ගාමින්ද ප්‍රිත්විරාජ් විසිනුයි. සුනෙත් චිත්‍රානන්දගේ හඬින් ‘ඇම්ඩා’ගේ චරිතය රසවත් වී තිබෙනවා. රශිප්‍රබෝදා ‘පද්මාවතී’ චරිතයටත්, අනුරාධ සිගේරා ‘කට්ටඬි ගුරා’ චරිතයටත්, යුරේනි නොෂිකා ‘ස්වීටි’ චරිතයටත් එක්ව තිබෙනවා.

‘මගෝඩිස්තුමා’ වෙනුවෙන් හඬ මුසු කොට තිබෙන්නේ මෙරට සිටි ජනප්‍රියම සංගීතවේදියෙකු වන සුනිල් පෙරේරා විසිනුයි. රංගන ශිල්පිනී දමිතා අබේරත්න හඬ කවන්නේ මගෝඩිස්තුමාගේ බිරිඳගේ භූමිකාවටයි.
ඊට අමතරව Gehan Block, Dino Corera, දිලාන් සේනානායක සමඟින් රේඩියෝ නිවේදකයින් දෙපළක් වන DJ Ara – Pasbara වැනි ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටයේ සෙසු චරිත හඬ කවන්නට සම්බන්ධ වී තිබෙනවා.

ගජමෑන් තිර පිටපත රචනය සිදු කොට තිබෙන්නේ ද මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬ මුසු කරන ගාමින්ද ප්‍රිත්විරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද (පොඩි මල්ලියි චූටි මල්ලියි) දෙදෙනාගේ එකතුවෙනුයි. චාමික ජිනදාස චිත්‍රපටයේ නිෂ්පාදකවරයායි. ගජමෑන් හි සංගීත අධ්‍යක්ෂණය අනුෂ්ක උදාන ලියනගේ (Wasthi) විසිනි.

බොහෝදුරට එළඹෙන 2023 වසරේ මුල් භාගයේදී දිවයින පුරා සිනමාහල්වල ගජමෑන් (Gajaman) රස විඳින්නට ඔබට අවස්ථාව හිමිවේවි..!

Share

1259 Views 4.33 On 6 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.