අමරසිරි කලංසුරිය
ඔහුගේ ජීවිතය ඉතා සීරුවෙන් ඇරඹී, අසීරුතා රැසකට මුහුණ දුන් යුගයක් පසු කළ එකක් යෑයි කීම නිවැරැදියි. එහෙත් පෞද්ගලික දිවිය සේම තමා නියෑළි ක්‍ෂේත්‍රය වුව නොපසුබස්‌නා උත්සාහයෙන් ජයගන්නට ඔහු සමත් විය.
හෙතෙම “අමරසිරි කලංසූරියයි”.
සිනමා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ගේ සෙනෙහසට ගෞරවයට පාත්‍ර වන්නේ “කලං” යන සෙනෙහස් ආමන්ත්‍රණයෙනි.
“කලං” ගේ දිවියේ බොහෝ කාලයක් ගෙවී යන්නේ සිංහල සිනමාව වෙනුවෙන් වූ අර්ථවත්, යථාරූපී රංගන දායකත්වයක් වෙනුවෙනි. හෙතෙම සාම්ප්‍රදායික “සීනි බෝල” පෙම්වතාගේ චරිතය සිය රංගන ප්‍රතිභාවෙන් වෙනස් කළ අපූර්ව රංගධරයෙකි. “හන්තානේ කතාවෙන්” ඇරැඹි සිය සිනමා දිවියේ දෙවන සිනමා පටය වූ “අහස්‌ගව්ව” සඳහා කලං හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගන්නේ ඒ අපූර්වත්වය මොනවට සාක්‍ෂාත් කරමිනි
1940 දී මහනුවර උපන් කලංසූරිය මුලික අධ්‍යාපනය ලැබුවේ ධර්මරාජ විදුහලෙනි. පාසල් අවදියේදී ඔහු මලල ක්‍රීඩාවට හා බොක්සිං ක්‍රීඩාවට විශේෂ සාමාර්ථයක් දැක්වූයේය. ජීවත්වීම උදෙසා විවිධ වෘත්තීන්හී යෙදුණු කලං සෙසු නළුවන්ට සාපේක්ෂව ගත්විට තරුණයකු වශයෙන් අනේක විධ දුක් ගැහැට විඳි අයෙකි. ඒ සකල විධ අත්දැකීම් පසු කලෙක ඔහු සිනමා රංගනයේදී මහෝපකාරී වූවාට නිසැකය.
පාසල් මිත්‍රයකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මාර්ගයෙන් කලං ‘හන්තානේ කතාව’ චිත්‍රපටයට සම්බන්ධ වූයේය. කලංට විජය කුමාරතුංග මුණ ගැසුණේ ‘හන්තානේ කතාවේ’දීය. එය දීර්ඝකාලීන සිනමා හා දේශපාලන මිතු දමක ආරම්භය වූයේය.
‘හන්තානේ කතාවේ’ රඟපාන අතරවාරයේ කලංට තවත් චිත්‍රපට දෙකක රඟපාන්ට අවස්ථාව ලැබුණේය. ඒ ‘අක්කර පහ’ හා ‘නිම් වළල්ල’ය. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑ පළමු හා එකම අවස්ථාව ‘අක්කර පහ’ වූයේය.
කලංසූරිය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේය. ඔහු එහි රැකියා විරහිත නන්නත්තාර තරුණයන් දෙදෙනාගෙන් එකකු වූ විජේගේ චරිතය නිරූපණය කළේය. (අනික් චරිතය – ගුණේ ලෙස රඟපෑවේ විමල් කුමාර ද කොස්තාය).
අලුත් මුහුණකින් ද, අපූර්ව රංග ශෛලියකින්ද හෙබියා වූ නළුවෙක් අහස් ගව්වෙන්’ බිහි වූයේය. පෙනුමෙන් හා රංග ශෛලියෙන් කලං වඩාත් ළං වුයේ ප්‍රංශ නවරැල්ලේ ප්‍රකට නළුවෙක් වූ ශාන් පෝල් බෙල්මොන්ඩෝටය.
රැලි කොණ්ඩය සහිත නළුවාගේ සම්මත ප්‍රතිරූපය කලං ‘අහස් ගව්ව’ හරහා එක රැයින් වෙනස් කළේය. කොණ්ඩය නොපීරූ, එය අවුල් කර ගත් නළුවෙකි අප මේ සිනමා පටයෙන් දුටුවේ. සිංහල සිනමාවේ තාරකා ප්‍රතිරූපයට කලං දැවැන්ත පහරක් එල්ල කළ ආකාරය පෙනී යයි. පසු කලෙක ලින්ටන් සේමගේ, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය ලියනගේ වැනි නළුවන් බිහිවීමට මූලික පදනම දැමුවේ එක් පැත්තකින් ජෝ අබේවික්‍රම වූ අතර අනිත් පැත්තෙන් කලංසූරි යැයි කීම නිවැරදිය.
‘අහස් ගව්වෙ’න් කලං මූර්තිමත් කළේ මෙරට පීඩිත පන්තියේ තරුණයාගේ යථාවිධ ප්‍රතිරූපයයි. ඔහු පසු කලෙක රඟපෑවේද එබඳුම ආකාරයේ චරිතය.
‘අපේක්ෂා’ චිත්‍රපටයේ ඉන්ධන පිරවුම් හලේ කම්කරුවා, ‘ඩොරින්ගේ සයනය’ චිත්‍රපටයේ නගර සභා කුණු ට්‍රැක්ටරයේ කම්කරුවා වැනි චරිත ඊට නිදසුන්ය. සමාජයේ පහළම අඩියේ රැකියා කිරීමෙන් ලද අත්දැකීම් මේ චරිත ප්‍රතිනිර්මාණය කිරිමේදී කලංට ප්‍රයෝජනවත් වූවා නොඅනුමානය. ‘අහස් ගව්වේ’ කලංගේ චරිතාංග නිරූපණය විචාරක ප්‍රශංසාවට නොමඳව ලක් වූයේය. 1975 වසරේ පැවති හත්වැනි විචාරක සම්මාන උළෙලේදී හොඳම නළුවා සඳහා වන සම්මානය පිරිනැමුණේ කලංටය. එහි හේතු පාඨයේ මෙසේ සඳහන්ව තිබිණි.
‘රංගනයේ සුගම බව, රම්‍යතාව හා අව්‍යාජත්වයත්, රඟපෑමෙහිලා ප්‍රකට කර ඇති යෞවන ලාලිත්‍යය හා සියුම් හැගුම්බර ජීව ශක්තියත් හේතු කොට ගෙන මේ වසරේ හොඳම රඟපෑම (නළු) සඳහා වන විචාරක සම්මානය ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ අමරසිරි කලංසූරියට පිරිනැමේ.’
‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ද කලංගේ සාර්ථක රංගනයක් දැක්ක හැකිය. ඔහු එහි විජය කුමාරතුංග හා විමල් කුමාර ද කොස්තා සමඟ නිරුවතින් රඟපෑම සුවිශේෂත්වයක් වූයේය.
‘අනුපමා’, ‘පරිත්‍යාගය’, ‘සිංහබාහු’, ‘වජිරා’ ‘යස ඉසුරු’, ‘පූජා’ කලං රඟපෑ සෙසු චිත්‍රපට අතර වෙයි.
‘පොඩි විජේ’ චිත්‍රපටයේ ද කලංගේ චරිතාංග නිරූපණය ප්‍රේක්ෂක – විචාරක ඇගැයීමට ලක් වූයේය.
කලං පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයටද එක් වූයේය. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ඔහු යැයි සිතමි. ඒ ප්‍රථම ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තය වූ ‘දිමුතු මුතු’ හී ප්‍රධාන චරිතය රැඟුවේ ඔහු බැවිනි.
කලං වේදිකා නාට්‍ය කීපයක ද රඟපා ඇත. ‘ගුවන් කරණම්’ ඔහු එලෙස රඟපෑ වේදිකා නාට්‍යයකි. එසේම ඔහු ‘සොල්දාදුවෝ’ යන නමින් වේදිකා නාට්‍යයක්ද නිෂ්පාදනය කර ඇත.
කලංසූරිය ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන සරසවිය හා ජනාධිපති සම්මානයන්ද, ‘යසඉසුරු’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන ‘සරසවිය’ සම්මානය ද හිමිකර ගත්තේය. එසේම 1974 දීපශිඛා සම්මාන උළෙලේදී නව පරපුරේ නළු නිළියන්ගේ චරිතාංග නිරූපණයේ දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් ද ඔහු සම්මානයක් දිනා ගෙන ඇත.
Written by Cinema.lk A
