ඉරාන සිනමා උළෙල – අද සහ හෙට චිත්‍රපට තුනක්
ඉරාන සිනමා උළෙලක් 21 සිට 25 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බව cinema.lk ප්‍රේක්ෂකයින් වෙත අප මීට පෙර තොරතුරු ලබා දුන්නා. එම සිනමා උළෙල ඊයේ (21 වැනිදා) ඉරාන සංස්කෘතික ආයතනයේදී ආරම්භ වුනා. චිත්‍රපට උළෙලේ දෙවැනි සහ තුන්වැනි දිනයන් වන අද සහ හෙට එනම් 22 සහ 23 වැනිදා තිරගත කෙරෙන චිත්‍රපට පිලිබඳ තොරතුරුයි මේ.
22 වැනි සිකුරාදා සවස 6.00ට තිරගත වන්නේ Love Stricken නම් වන ඉරාන චිත්‍රපටය. 1992 වසරේ නිර්මාණය කෙරුනු මෙම චිත්‍රපටය ඉතිහාස සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුනු නාට්‍යමය චිත්‍රපටයක්. පර්සියන් බසින් නිර්මාණය වුනු චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ali Hatami විසින්. ඉරාන සම්භාව්‍ය සංගීතඥයින් සිය පළමු පටිගත කරන ලද සංගීත පටය නිර්මාණය කරගැනීම සඳහා සිදුකළ අරගලය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Amin Torokh, Akbar Abdi, Saeed Poursamimi, Mohamed Ali, Keshavarz, Jamshid Hashempour, Hamid Jebelli ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මිනිත්තු 91ක ධාවන කාලයකින් යුක්තයි.
23 වැනි සෙනසුරාදා දිනයේ සිනමා උළෙලේ චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිතයි. ඉන් පළමුවැන්න සවස 3.00ට තිරගත කෙරෙනවා. ඒ Hamoon හෙවත් Hamoun චිත්‍රපටයයි. Psychological drama කාණ්ඩය යටතට ගැනෙන මෙම චිත්‍රපටය 1989 වසරේ නිර්මාණය වූවක්. Dariush Mehrjui විසින් අධ්‍යක්ෂණ කළ චිත්‍රපටයට පදනම් වන්නේ ඉරාන මධ්‍යම පාන්තික සැමියකු සහ ඔහුගේ බිරිඳ අතර වන සිදුවීම් මාලාවක්. සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කළ බිරිඳ සහ ස්වාමියා අතර සිදුවීම් මාලාවක් වටා චිත්‍රපටය ගොඩනගා තිබෙනවා. Khosrow Shakibai සහ Bita Farrahi මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 122ක්.
සෙනසුරාදා දිනයේ සවස 6.00ට තිරගත වන්නේ Leila චිත්‍රපටයයි. 1996 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Dariushi Mehrjui විසින්. Raza සහ Leila විවාහක යුවලක්. බිරිඳ Leilaට එක් අවස්ථාවක දැනගන්නට ලැබෙන්නේ ඇයට ගැබ් ගැනීමට හැකියාවක් නොමැති බවයි. නමුත් Reza පවුලේ එකම පුතා වීම නිසාම ඔහුගේ මවට මුණුබුරන් අවශ්‍ය වනවා. නමුත් Reza තමාට දරුවන් අනවශ්‍ය බව ප්‍රකාශ කරනවා. සිය ස්වාමියාත් ඔහුගේ මවත් අතර දෙලොවක සිරගත වන Leilaට අවසානයේ අත්වන ඉරණම කුමක්දැයි මේ චිත්‍රපටය හරහා සාකච්ඡ කෙරෙනවා. 23 වැනි සෙනසුරාදා සවස 6.00ට මේ චිත්‍රපටය තිරගත වනවා.
ඉරාන සිනමාවේ අපුර්වත්වය විඳින්නට සිනමා උළෙල සමග එක්වන ලෙස සිනමලෝලින්ට ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa
