දිවි රඟ මඩලින් බැස ගිය හෙළ නිලි රාජිනිය – මාලිනී ෆොන්සේකා
ලාංකීය සිනමාවේ නිලි රැජින මෙන්ම, එදා මෙදා තුර මෙරට සිනමාවෙන් බිහිවූ ජනකාන්තම සිනමා තාරකාවිය ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන, ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගියදා සිය දිවි ගමනින් සමුගත්තා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

1947 වසරේදී කැළණිය ප්‍රෙද්ශයේදී උපත ලද මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය, පළමු වරට රංගනයට පිවිසෙන්නේ නොරත රත නැමැති වේදිකා නාට්‍යයේ චරිතයක් නිරූපණය කරමිනුයි. ඉන්පසුව දිගින් දිගටම, වේදිකාව සමඟින් සමීපව කටයුතු කළ ඇය ජාතික නාට්‍ය උළෙලේ විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි සම්මානය පවා දිනා ගත්තා.
වේදිකාවෙන් අනතුරුව මාලිනි ෆොන්සේකා මහත්මිය පා තබන්නේ සිනමාවටයි. 1968 වසරේදී මෙරට තිරගත පුංචි බබා චිත්‍රපටය ඇගේ පළමු සිනමා රංගනයයි.
ඉන්පසුව අබුද්දස්ස කාලේ – ආදරවන්තයෝ – දහසක් සිතුවිලි – කවුද හරි – අක්කර පහ වැනි චිත්‍රපටවලට රංගනයෙන් එක්වෙමින් ලාංකීය සිනමාව තුළ සිය සලකුණ තහවුරු කරගන්නට සමත් වූ ඇය කලාත්මක සිනමාව මෙන්ම වාණිජ සිනමාව ද, එක ලෙසින් ජයගන්නට සමත් වුනා.

මාලිනී ෆොන්සේනා මහත්මිය රංගනයෙන් එක්වුනු නිධානය, තුෂාරා, බඹරු ඇවිත්, බැද්දේගම, හිඟන කොල්ලා, ආරාධනා, සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, සූරයා සූරයාමයි, සිරිපාල සහ රන්මැණිකා, කවුද රජා, ආකාස කුසුම් වැනි සිනමාපට අදටත් එක ලෙසම මෙරට සිනමා රසිකයින් අතරෙ හි අතිශය ජනප්‍රියයි.
1968 වසරේ සිට මේ දක්වා දශක හයකට අධික කාලයක් පුරාවට ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 150කට ආසන්නයි.
ලාංකීය සිනමාව පමණක් නොවෙයි, විදෙස් දකුණු ඉන්දියානු සිනමාව පවා ජය ගන්නට මාලිනී ෆොන්සේකාට හැකියාව ලැබුනා. 1978 වසරේදී දකුණු ඉන්දියානු දමිළ භාෂිත චිත්‍රපටයක් වන Pilot Premnath හි ඇය ප්‍රධාන චරිත රඟපෑවේ, එවකට දමිළ සිනමාවේ සිටි විශිෂ්ටතම නලුවා ලෙසින් හැඳින්වෙන සිවාජි ගනේෂන් සමඟයි.

සිනමාව තුළ රංගනයට පමණක් සීමා නොවුනු ඇය, එවකට කතාබහට ලක්වූ චිත්‍රපට 03ක අධ්‍යක්ෂකවරිය ද වනවා. සසර චේතනා (1984) – අහිම්සා (1987) – ස්ත්‍රී (1991) චිත්‍රපට තුනම අධ්‍යක්ෂණය කළේ මාලිනී ෆොන්සේකා මහත්මියයි.
සිය රංගන කුසලතාව වෙනුවෙන් ජනාධිපති සම්මාන, සිග්නීස්, සුමති සහ සරසවිය සම්මාන ඇතුලු ජයග්‍රහණ අති විශාල ප්‍රමාණයක් දිනාගත් ඇය මෙරට මෙන්ම විදෙස් සිනමා උළෙල තුළදීත් කිහිප වරක්ම සම්මානයට පාත්‍ර වුනා. සිරිපාල සහ රණ්මැනිකා වෙනුවෙන් 1978 ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ ගෞරව සම්මානයක් දිනාගන්නා ඇය 2009 වසරේ එම සිනමා උළෙලේදී රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ආකාස කුසුම් සිනමපටයේදී ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනුයි.

වේදිකාව, සිනමාව මෙන්ම රූපවාහිනිය තුළ ද සිය රංගන ප්‍රතිභාව එකලෙසින් විදහා පෙන්වූ ඇය ලංකාවෙන් බිහිවූ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරිය ද වනවා. ඇය අධ්‍යක්ෂණය කළ නිරූපමාලා ටෙලි නාට්‍යය මෙන්ම අඹු දරුවෝ, මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර වැනි ටෙලි නාට්‍ය සඳහාත් මාලිනී ෆොන්සේකා මහත්මිය රංගනයෙන් දායක වුනා.
මෑතකාලීනව එතුමිය රංගනයෙන් එක්වුනු සිනමාපට කිහිපයක් ම මෙරට සිනමා ශාලාවල තිරගත වුනු අතර රූකඩ පැංචි, භවතරණ, සරිගම වැනි නිර්මාණ ඒ අතුරින් සුවිශේෂියි.
මාලිනි ෆොන්සේකා මහත්මිය අවසාන වරට රංගනයෙන් එක්වුනේ මලකි දුවේ නුඹ යනුවෙන් කල්පන ආරියවංශ – වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් සඳහායි. එහිදී ඇය සමඟින් රංගනයෙන් එක්වුනේ මාලිනි ෆොන්සේකා මහත්මියගේම ඥාති දියණියන් වන සමනලි ෆොන්සේකා සහ කුශේන්‍යා ෆොන්සේකා යි.

මිය යන විට එතුමිය, 78 වන වියෙහි පසුවුනා.
මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10ට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රෙය් මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසාන කටයුතු 26 වන සඳුදා සවස් භාගයේදී නිදහස් චතුරශ්‍රෙය්දී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
ලාංකීය සිනමාවට නොමැකෙන මතක එකතු කළ හෙල නිලි රැජිනියනි,
ඔබට සුබ ගමන්!!!!
Written by Kavinu Weerakkody
