“සුනාමි” ලන්ඩන් නුවරදී ජාත්‍යන්තර සම්මාන දිනයි
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි
ඔක්තොම්බර් 18 වෙනිදා සිට 25 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති රේන්බෝ සිනමා උළෙලේදී (Rainbow Film Festival) ජූරියේ විශේෂ සඳහනකින් (Special Jury Mention) පිදුම් ලැබීමට සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටය සමත්විය. ඉන්දියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව ආදි රටවල් 12 කට අයත් සිනමාපට 20ක් මෙවර උළෙලේ තිරගතවුණු අතර, ඒ වෙනුවෙන් “හොඳම චිත්‍රපටය”, “හොඳම අධ්‍යක්ෂණය”, “හොඳම තිර කතාව” ඇතුළුව සම්මාන 08 ක් පිරිනැමුණි. එහිදී උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස “Trijiya” නම් වූ ඉන්දියානු සිනමාපටය සම්මානයට පාත්‍ර වෙද්දී, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය “Gondi” නම් වූ බංගලාදේශ චිත්‍රපටයට පිරිනැමුණි.
21 වෙනි වරට පැවති මෙම උළෙලේ සමාරම්භය 2000 වසරේ සටහන් විය. ශ්‍රී ලාංකේය සිනමාපට 05 ක් මීට පෙර රේන්බෝ සිනමා උළෙල නියෝජනය කොට තිබුනද, ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට ජයග්‍රහණයක් හිමිවූ පළමු අවස්ථාව මෙය විය. මීට පෙර 2007 දී ඉර මැදියම (ප්‍රසන්න විතානගේ) හා උඩුගංයාමය (සුදත් දේවප්‍රිය) යන නිර්මාණ තරගකාරීත්වයෙන් බැහැරවද, 2008 දී සංකාරා (ප්‍රසන්න ජයකොඩි), 2010 දී බින්දු (සෝමරත්න දිසානායක) හා 2014 දී සිරි පැරකුම් (සෝමරත්න දිසානායක) යන නිර්මාණ තරගකාරීත්වය යටතේද උළෙලේ තිරගත විය.
සුනාමි චිත්‍රපටය ලද 06 වෙනි ජාත්යන්තර ජයග්රහණය මෙය වන අතර, මීට පෙර භූතානයේ ඩ්රක් අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන 04 කින්ද , ඉන්දියාවේ පිකාසෝ අයින්ස්ටයින් බෞද්ධ අන්තර්ජාතික සිනමා උළෙලේදී එක් සම්මානයකින්ද පිදුම් ලැබීමට සමත් විය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Written by Nisanka Weheraduwa
