Drishyam අධ්‍යක්ෂක Jeethu Joseph සහ Mohanlal සුසංයෝගය නැවතත්.

Avatar Nisanka Weheraduwa | July 21, 2021 85 Views 1 Like 5 On 1 Rating

85 Views 5 On 1 Rating Rate it

ලෝක සිනමාවේ බිහිවන ඇතැම් අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග දිහා ප්‍රේක්ෂකයින් කවදත් බලා සිටින්නේ විමසිල්ලෙන්. මොකද ප්‍රේක්ෂයින් හොඳාකාරයෙන් දන්නවා, මේ පුද්ගලයන් යම් සිනමාපටයක් වෙනුවෙන් එකට ගිවිසුම්ගත වුණොත් එතන අනිවාර්යෙන්ම බිහිවෙන්නේ “Massive” Hit එකක් කියලා. මේ කාරණාව ඉන්දියානු සිනමාවටත් පොදුයි. ඉන්දියානු සිනමාවෙත් මෙවැනි iconic pairings රාශියක්ම දැක බලාගන්න පුලුවන්.

මුලු දකුණු ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකාගාරයම පසුගිය දිනෙක සමාජ ජාලා අවකාශය ඇතුළේ කැළඹෙන්න ගත්තෙත්, මෙවැනි iconic duo එකක් තවත් චිත්‍රපටයක් වෙනුවෙන් එකට එකතු වුණු පුවත අසන්නට ලැබුණු නිසයි.

ඒ Jeethu Joseph සහ Mohanlalගේ 12th man…

Drishyam 02 සිනමාපටයෙන් පසු අධ්‍යක්ෂක Jeethu Joseph සහ Mohanlal නැවතත් මෙහෙම එකතු වුණේ තවත් Thriller ශානරයේ චිත්‍රපටයක් වෙනුවෙන්. චිත්‍රපටයේ නම 12th man. පැය 24ක් ඇතුළත සිද්ධ වෙන සිදුවීම් දාමයක් වටා ගෙතෙන කතාව සහ තිරපිටපත ලියන්නේ Krishna Kumar විසින්. 12th man කියන්නේ Jeethu Joseph විසින් මෝහන්ලාල්ගේ සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන 04වන වතාවයි. Drishyam, Drishyam 02, RAM සිනමාපටයන්ගෙන් පසුව සිව්වන වතාවටත් ඔවුන් දෙදෙනා එකතු වුණු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Ashirwad Cinemas නිෂ්පාදක ආයතනයෙන්.

පසුගියදා චිත්‍රපටයේ ටීසර් පෝස්ටරයක් එළි දක්වනකොට එම ටීසර් පෝස්ටරයේ ලියැවිලා තිබුණු “12th man: Unveiling the Shadows” කියන ටැග්ලයින් එක ගැන රසිකයන් බොහෝමයක් අදහස් කියලා තිබුණා. කොහොම වුණත් මේ හැම ඉඟියක්ම නිසා සිනමාපටය අයිති වෙන්නේ mystery thriller කැටගරියට කියලා predict කරන්න  හැකියාව තියෙනවා. මෙම ටීසර් පෝස්ටරය එළි දැක්වීමත් සමඟ මලයාලමේ Social Media Records පවා අලුත් කරන්නට මෝහන්ලාල්ගේ රසිකයන්ට හැකි වුණා.

පැය 24ක ඇතුළතදී,

මලයාලම් සිනමාපටයක් වෙනුවෙන් දෙවන වැඩිම tweets ප්‍රමාණයක් සහිත title tag එක

Second Most Tweeted Malayalam Movie Title Tag – (233K+ tweets)

වැඩිම Retweets ප්‍රමාණයක් ලබා ගත් මලයාලම් සිනමා පෝස්ටරය

Most Retweeted Malayalam Poster in 24hrs – (6.3K+ Retweets)

වැඩිම comments ප්‍රමාණයක් ලබා ගත් මලයාලම් සිනමා පෝස්ටරය

Most Commented Malayalam Movie Poster in 24hrs – (11.5K+ comments) යන වාර්තා අලුත් කරන්නටත් මෝහන්ලාල්ගේ තරු ගුණයට පුලුවන්කම ලැබුණා.

Satheesh Kurupu කැමරා අධ්‍යක්ෂක ලෙසත්, VS Vinayak සංස්කරණ ශිල්පී ලෙසත් කටයුතු කරන 12th man මලයාලම් සිනමාපටයට ඇදුම් නිර්මාණයෙන් එකතු වෙන්නේ අධ්‍යක්ෂක ජිතුගේ බිරිඳ Linda Jeethu.  දැනට ලැබෙන ආරංචිවලට අනුව නම් බොහොම පොඩි schedule එකකින් රූපගත කිරීම් ඉවර කරන්නයි නිෂ්පාදක කණ්ඩායමේ සූදානම තියන්නේ. කේරළයෙන් පිටතට නොයා කේරළයේ ස්ථාන කිහිපයකම පමණක් ශූටින් කරන නිසා Post-Productions පවා වේගයෙන් අවසන් කරන්නට ඔවුන්ට හැකියාව තියෙනවා. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Amazon Prime වැනි ප්ලැට්ෆෝමයක් හරහා චිත්‍රපටය Direct අන්තර්ජාලයට නිකුත් කරන්න ඔවුන්ගේ අදහසක් ඇති බවයි පැවසෙන්නෙ. හැබැයි මේ කාරණාව තවමත් තහවුරු වෙලා නම් නැහැ.

15 දෙනෙකු වැනි කුඩා පිරිසකට සීමා වන සිනමාපටයේ නලු නිළි පිරිස අතරේ බොහෝමයක් දෙනා තරුණ ශිල්පීන් බවටයි කේරළයෙන් ආරංචි වෙන්නේ. ඔවුන් අතරේ Shine Tom Chacko, Aditi Ravi, Leona Lishoy, Anusree සහ Veena Nandakumar වැනි අපිට හුරුදුපුරුදු මුහුණු රාශියක්ම තියෙන බවත් සඳහන්. අධ්‍යක්ෂක Jeethu Joseph සහ Mohanlal සුසංයෝගය මුලු ඉන්දියාවම හොලවපු එකතුවක්. ඔවුන් දෙදෙනාගේ පළවෙනි සිනමාපටය මුලු ආසියානු සිනමාව පුරාම ජනප්‍රිය වුණා. ඒ Drishyam චිත්‍රපටය.

2013 වසරේ තිරගත වුණු Drishyam මලයාලම් සිනමාපටය මේ වෙනකොට භාෂා 06කට remake වෙලා අවසානයි. මලයාලම් මුල් භාෂාවට අමතරව දෙමළ, තෙළෙඟු, හින්දි, කන්නඩ යන ඉන්දීය ප්‍රාන්තීය භාෂාවලටද  ප්‍රතිනිර්මාණය වුණු Drishyam, සිංහල භාෂාවට හා චීන භාෂාවටත් හැරවුණා. අපට හුරුපුරුදු “ධර්ම යුද්ධය” කියන්නේ සිනමාපටයේ සිංහල ප්‍රතිනිර්මාණයයි. Drishyam හි දෙවන දිගහැරුම ලෙසින් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වුණු Drishyam 02 සිනමාපටයත් මේ වෙනකොට අතිසාර්ථක සලකුණක් තියලා ඉවරයි වගේම එහි remake කටයුතු පවා දැන් ආරම්භ වෙලා තියනවා. ඉතින් මෙවැනි iconic duo එකක් නැවතත් එකට සිනමාපටයක් කරන්නට සූදානම් වෙද්දි රසිකයෝ මෙහෙම උද්යෝගීමත් වෙන එක පුදුමයට කාරණයක්ද නොවෙයි.

Share

85 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.