Jason Momoa, Fast & Furious චිත්‍රපට මාලාවට එක්වේ

Avatar Kavinu Weerakkody | February 3, 2022 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

Fast and Furious චිත්‍රපට මාලාවේ ඊළඟ නිර්මාණය වන F10 සිනමාපටය සඳහා රංගන ශිල්පී Jason Momoa සම්බන්ධ වන බවට නිල වශයෙන් ඊයේ(29) දිනයේදී දැනුම් දුන්නා. Aquaman සිනමාපටය හරහා පසුගිය දිනවල වැඩි වැඩියෙන් රසිකයින්ට සමීප වූ Jason Momoa, ස්වභාවයෙන්ම ක්‍රියාදාම ජවනිකා සඳහා හොඳින් ගැළපෙන දේහදාරී රංගන ශිල්පියෙක් වනවා.

Variety වෙබ් අඩවිය තහවුරු කර තිබෙන ආකාරයට Jason Momoa ගිවිසුම්ගත වී තිබෙන්නේ F10 චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවීර චරිතය සඳහායි. “Dominic Toretto” ඇතුළු Fast and Furious කණ්ඩායමට එරෙහිව කටයුතු කරන ඔහුගේ චරිතයේ ස්වභාවය ගැන වැඩි විස්තරයක් තවමත් දැනගන්නට ලැබී නැහැ. නමුත් ප්‍රතිවීර චරිතය සඳහා Jason Momoa වැනි හැඩිදැඩි පුද්ගලයෙක්වම තෝරාගත්තේ ක්‍රියාදාම දර්ශන සඳහාත් හොඳින් සැලකිලිමත් වෙමින් බව රසිකයින්ට සිතා ගන්නට හැකියි. ඒ අනුව F10 චිත්‍රපටය පුරාවට ‘Dominic Toretto’ එරෙහිව Jason Momoa අතර සෘජු ක්‍රියාදාම සටන් කිහිපයක්ම දැකගන්නට බොහෝ දුරට ඉඩකඩක් පවතිනවා.

” The Fast Fam keeps getting bigger. Welcome, Jason Momoa.
#F10 “

Fast and Furious චිත්‍රපට මාලාවේ නිල Twitter ගිණුමෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජේසන්ගේ සම්බන්ධ වීම ගැන රසිකයින්ව දැනුම්වත් කළේ ඒ ආකාරයටයි.

F9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Justin Lin විසින්ම මේ චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. නිර්මාණයේ නම තවමත් සාකච්ඡා මට්ටමේ පවතින නිසා Fast and Furious 10 නැමැති working title එක යොදා ගනිමිනුයි මෙහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ. පෙර චිත්‍රපටවල සිටි Vin Diesel, Michelle Rodriguez, Tyrese Gibson, Ludacris, Sung Kang ඇතුළු Fast and Furious කණ්ඩායමේ original cast එක මේ චිත්‍රපටයටත් රංගනයෙන් සම්බන්ධ වනවා. 2017දී තිරගත වූ The Fate of the Furious හරහා F&F කතාමාලාවට පිවිසි ප්‍රතිවීර චරිතයක් වූ Charlize Theron ද චිත්‍රපටයේ සැලකිය යුතු රංගනයක් ඉදිරිපත් කරන බවට වාර්තා වනවා.

F9 : The Fast Saga චිත්‍රපටයට පෙර මේ කතාමාලාවේ තවත් චිත්‍රපට තුනක් Justin Lin විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී නිකුත් වීමට නියමිත F10 සහ F11 අධ්‍යක්ෂණයද ඔහු විසින් සිදු කිරීමට සූදානම් බවත් සනාථ වී තිබෙනවා. ඒ අනුව ඔහු විසින් සම්බන්ධ වූ සහ සම්බන්ධ වීමට නියමිත F&F චිත්‍රපට සංඛ්‍යාව 06ක්!

The Fast and the Furious: Tokyo Drift (2006)
Fast & Furious (2009)
Fast Five (2011)
Fast & Furious 6 (2013)
F9 : The Fast Saga (2021)
F10 (2023)
F11 (2024)

නිෂ්පාදක කණ්ඩායම පෙරදී තහවුරු කළ අන්දමට නම් F10 සිනමාපටය ලෝ පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ 2023 මැයි 19 වනදායි. නමුත් දැන් පවතින කෝවිඩ් වසංගතය උත්සන්න වුවහොත් හෝ අවධානමත් සමඟ නිසි කලට නිෂ්පාදන කටයුතු අවසන් කරගන්නට නොහැකි වුවහොත්; release dates වෙනස් වීමට යම් සම්භාවිතාවක් තිබෙනවා.

පළමු චිත්‍රපටයේ සිට මේ දක්වා විවිධ, ජනප්‍රිය රංගන ශිල්පීන් බොහෝමයක් F&F චිත්‍රපට මාලාව සමඟ එක්වී තිබෙනවා. Vin Diesel, Paul Walker, Michelle Rodriguez, Tyrese Gibson, Ludacris වැනි main cast එකට අමතරව Dwayne Johnson, Jason Statham, Luke Evans, Kurt Russell, Helen Mirren සහ John Cena වැනි ලෝක ප්‍රසිද්ධ දැවැන්ත චරිත රාශියක් මේ කතාමාලාව හරහා රසිකයින්ට සමීප වුනා. Wonder Woman චිත්‍රපටයට සම්බන්ධ වීමට පෙර Gal Gadot විසින්ද F&F සිනමාපට 03කට රංගනයෙන් සම්බන්ධ වුනා.

Justin Lin අවසාන වරට අධ්‍යක්ෂණය කළ F9 : The Fast Saga (2021) සිනමාපටය, මේ චිත්‍රපට මාලාවේ පෙර නිර්මාණවලට වඩා වැඩි ඍණාත්මක ප්‍රතිචාරයක් ලබා ගත්තද ගෝලීය Box-Office දර්ශකයේ සාර්ථක ආදායමක් හිමි කරගනු ලැබුවා. පසුගිය ජූනි 25 වනදා තිරගත වීම ඇරඹූ එය ඇමරිකානු ඩොලර් මිලියන 726කට වැඩි ආදායමක් රැස් කර ගත්තේ ලෝ පුරා පැතිරුණු කෝවිඩ් වසංගත තත්වය පවා අභියෝගයට ලක් කරමින්…
වසරේ වැඩිම ආදායම්ලාභී සිනමාපට අතුරින් 05වන ස්ථානයට පත් වූයේ ද එයයි.

Jason Momoa කියන්නේ මේ ලැයිස්තුවට එක්වන අලුත්ම සිනමා තාරකාවයි. Jason Momoa නිරූපණය කරන චරිතය ප්‍රතිවීරයෙකු‍ගේ බව දැනගන්නට ලැබුණත් ඔහුගේ චරිතය ගැන දීර්ඝ විස්තරයක් කිසිදු පිළිගත් මූලාශ්‍රයක සටහන් වී නැහැ. Arthur Curry හෙවත් Aquamanගේ චරිතය හරහා ලොවක් වසඟයට ගත් Jason Momoa අද වනවිට DC සිනමා විශ්වයේ ප්‍රධානම සුපිරි වීරයින්ගෙන් අයෙක්. පළමු Aquaman චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම දෙවැන්නක් දක්වා දිගු කළ Aquaman චිත්‍රපට මාලාවේ දෙවන දිගහැරුමේ (Aquaman and the Lost Kingdom) රූපගත කිරීම් කටයුතු ද පසුගිය මාසයේදී අවසන් වුනා.

Furious 7 (2015) අධ්‍යක්ෂණය කළේ ද Aquaman අධ්‍යක්ෂක James Wan විසිනුයි. පසුගිය දිනවල Dune සිනමාපටයෙන් දැකගන්නට ලැබුණු Jason Momoaගේ කැපී පෙනෙන රංගනය ද ඔබට මතක ඇති. ඊට අමරතව See සහ Game of Thrones රූපවාහිනී කතාමාලා ද්විත්වයෙන් දක්නට ලැබුණු Jason Momoaගේ රංගනයත් බොහෝ ප්‍රේක්ෂක – විචරක අවධානය දිනා ගත්තා.
Conan the Barbarian, Zack Snyder’s Justice League, Debug, The Lego Movie 2: The Second Part, Once Upon a Time in Venice සිනමාපට ඔහුගේ රංගන ජීවිතයේ සාර්ථකම නිර්මාණ කිහිපයක්…

ඉදිරියේදී නිකුත් වීමට නියමිත F10 සහ F11 චිත්‍රපට ද්විත්වයට පසුව Fast and Furious මාලාව අවසන් වෙන නිසා අනවශ්‍ය dull ගතියකින් තොරව satisfied අවසානයක් ලබා දීමට නිර්මාණකරුවන් හැකි සෑම උත්සාහයක්ම ගන්නට ඉඩ තිබෙනවා.
ලෝකය පුරාම ජනප්‍රිය වූ, ලෝක සිනමාවෙන් බිහිවූ සාර්ථකම චිත්‍රපට මාලා කිහිපයෙන් එකක් වූ, Fast and Furious චිත්‍රපට මාලාවේ අවසානය සිදු විය යුතු ආකාරය ගැන Vin Diesel සහ Justin Lin මාස ගණනක් තිස්සේ සාකච්ඡා කළ බවත් එක් සම්මුඛ සාකච්ඡාවකදී අණාවරණය වුනා.

රංගන ශිල්පී Vin Diesel සමඟ ඇති කරගත් පෞද්ගලික විරසකයක් නිසා පෙර සිනමාපටවල සිටි Dwayne Johnson හෙවත් ‘ද රොක්’ව F9 හි රඟපෑවේ නැහැ. ඉන් වසරකට පමණ පසු Vin Diesel විසින් තමන්ගේ සමාජ ජාලා ගිණුම් හරහා යළිත් Dwayne Johnsonට ආරාධනා කරමින් පැවසූයේ Fast and Furious චිත්‍රපට මාලාවට නිසි අවසානයක් ලබා දීමට යළිත් තමන් හා එකතු වන ලෙසයි. නමුත් ප්‍රසිද්ධියේම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළ Dwayne Johnson යළිත් F&Fට එකතු වීමට තමාට කිසිදු අදහසක් නැති බවත් ප්‍රකාශ කර සිටියා.

එනිසා, F10 සිනමාපටයට වගේම අවසාන නිර්මාණය වන F11 සිනමාපටයටත් Dwayne Johnsonගේ මුහුණ එකතු වන්නට ඉඩකඩක් නැහැ!

2001 වර්ෂයේදී The Fast and the Furious චිත්‍රපටයෙන් ඇරඹි Fast and Furious franchise මාලාවට දැන් වසර 22ක් සම්පූර්ණ වනවා. මුල සිට මේ දක්වාම ස්ථාවර ප්‍රේක්ෂකාගාරයක් රඳවා ගන්නට සමත් වූ මේ චිත්‍රපට මාලාව ලෝ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 6.6කටත් (6.61 $ Billion) වැඩි ආදායමකට හිමිකම් කියනවා. මේ නිර්මාණය වටා බැදුණු වීඩියෝ ක්‍රීඩා, විවිධ ක්‍රීඩා භාණ්ඩ, වාහන උපාංග…
Fast and Furious මේ සියල්ලකින්ම බැදුණු සිනමා පුරාවෘත්තයක්!
ලෝක සිනමාව තුළ වෙනම cult එකක් බිහි කළ, යුරෝපය පුරා වෙනම සංස්කෘතියක් බිහි කරන්නට මුල් වුණු චිත්‍රපට මාලාවක්!

ඉතින් එවන් ඉතිහාසගත චිත්‍රපට මාලාවක අවසානය වෙනුවෙන් එහි නිර්මාණකරුවන් තමන්ට හැකි උපරිම සාධාරණය ඉටු කරන්නට වෙහෙස වන බවට කිසිදු සැකයක් නැහැ.

Share

51 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.