RRR හි නොසිතූ ජනප්‍රියත්වය නිසා සැලසුම් වෙනස් කළ රාමා රාඕ : NTR30

Avatar Kavinu Weerakkody | August 18, 2022 101 Views 0 Likes 0 Ratings

101 Views 0 Ratings Rate it

මෙම වසර මුල භාගයේදී තිරගත වීම ඇරඹි RRR නැමැති තෙළිඟු භාෂාමය සිනමාපටය, සමස්ත ඉන්දීය සිනමා ඉතිහාසය තුළම පෙරළියක් ඇති කළ නිර්මාණයක්! ඉන්දීය කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගන්න සමත් වූවා සේම, ඉන්දියානු සිනමාව පිළිබඳව ලෝ පුරා කතාබහක් නිර්මාණය කරන්නට එය සමත් වුනා. හොලිවුඩයේ දැවැන්ත අධ්‍යක්ෂකවරුන් – නලු නිළියන් – සිනමාකරුවන් බොහෝ දෙනෙකු RRR නරඹා, එය අගයමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තැබූ සටහන් පසුගිය දිනවල සුලබ දසුනක් වුනා.
Avengers අධ්‍යක්ෂක Russo Brothers, Doctor Strange අධ්‍යක්ෂක Scott Derrickson සහ Suicide Squad අධ්‍යක්ෂක James Gunn වැනි සිනමාකරුවන්ගෙන් ඊට ලැබුනේ බොහොම සුබවාදී ප්‍රතිචාරයක්. එරට මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉතිහාසයේ කිසිදු ඉන්දියානු සිනමාපටයකට මින් පෙර මෙතරම් විශාල ගෝලීය අවධානයක් සහ හොලිවුඩ් ප්‍රචාරණයක් ලැබී නැහැ.

RRR සිනමාපටයේ ජනප්‍රියත්වයට සමගාමීව එහි ප්‍රධාන චරිත නිරූපණය කළ Ram Charan සහ Jr NTR යන ප්‍රාන්තීය රංගන ශිල්පීන් දෙදෙනාට ද නොසිතූ අන්දමේ ජනප්‍රියත්වයක් නිර්මාණය වුනා. දකුණු ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට පමණක් සීමා වී සිටි ඔවුන් දෙදෙනා එක් රැයින් සමස්ත ආසියාව තුළම ප්‍රසිද්ධියට පත් වුනා. විශේෂයෙන්ම Jr NTRගේ රංගනය විදෙස් රටවල ප්‍රේක්ෂකයින්ගේ ඇගයුමට පවා ලක්වූ කාරණයක්. මෙම නොසිතූ ජනප්‍රියත්වය නිසාම, ඔවුන්ගේ ඉදිරි සිනමාපට පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඔවුන්ගේ upcoming නිර්මාණ අතුරින් මුලින්ම සිනමාශාලා වලට නිකුත් වන්නේ රාම් චරන්ගේ RC15 සහ රාමා රාඕගේ NTR30 සිනමාපට ද්විත්වය නිසා ඊට හිමිව තිබෙන රසික ආකර්ෂණය බෙහෙවින්ම ඉහළයි.

N.T. රාමා රාඕ හෙවත් Jr NTR රංගනයෙන් දායක වන 30වන සිනමාපටය වන මෙය ඔහුගේ සෙසු චිත්‍රපට සේම Action Entertainer ගනයට අයත් වන නිර්මාණයක්. තවම නිශ්චිත නමක් යෝජනා වී නොතිබුනත් ඔහු රඟන 30වන සිනමාපටය නිසා දැනට මෙය හඳුන්වන්නේ ” NTR30 “ යනුවෙනුයි. මේ වනවිට පෙර නිෂ්පාදන කටයුතු සියල්ලම පාහේ අවසන් වී තිබෙන මෙම සිනමාපටය, Koratala Sivaගේ අධ්‍යක්ෂණයක්!

තෙළංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ ආශ්‍රිතව සිය නිර්මාණකරණයේ යෙදෙන Koratala Siva, එම කලාපයේ වාණිජ සිනමාව තුළ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. තෙළිඟු වාණිජ සිනමාවට සුපුරුදු ශෛලයේ ක්‍රියාදාම සිනමාපට ගණනාවක්ම ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 2016 වර්ෂයේදී Jr NTR සමඟින් ඔහු අධ්‍යක්ෂණය කළ Janatha Garage ක්‍රියාදාම චිත්‍රපටය අදටත් එක සේ ජනප්‍රිය ප්‍රාන්තීය නිර්මාණයක්!
NTR30 යනු Janatha Garageට පසු ඔවුන්ගේ සුසංයෝගයෙන් බිහිවන දෙවන සිනමාපටයයි.

මෙම නිර්මාණය පිළිබඳව පළමු නිල නිවේදනය නිකුත් වූයේ මීට මාස කිහිපයකට පෙරදී වුනත්, ඉන්පසුව ඇති වූ යම් මතබේදාත්මක කරුණු කිහිපයක් නිසා මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නතර වේ දැයි සැකයක් පවා මතු වුනා. ඊට හේතුව වූයේ අධ්‍යක්ෂක Koratala Sivaගේ අවසන් චිත්‍රපටය වූ Acharya හි අසාර්ථකත්වයයි.
තෙළිඟු සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන Chiranjeevi සහ ඔහුගේ පුත්‍රයා වන Ram Charan රඟපෑ Acharya සිනමාපටය මෑතකාලීන ඉන්දීය – වාණිජ සිනමාවේ most anticipated චිත්‍රපට කිහිපයෙන් එකක් ලෙසටයි සැලකුණේ…
තෙළිඟු සිනමාවේ ප්‍රධාන ශිල්පීන් දෙදෙනෙකු එකම සිනමා තිරයකින් නැරඹීමට ලැබෙන දුර්ලබ අවස්ථාව නිසා එම චිත්‍රපටයට දැවැන්ත රසික ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි සෑම දෙනාම පාහේ සිතා සිටියා. Koratala Sivaගේ වාණිජ චිත්‍රපට කෙරෙහි රසිකයින් තුළ තිබෙන උනන්දුව නිසා මෙහි සාර්ථකත්වය තවත් වැඩි විය හැකි බවටයි ඔවුන් විශ්වාස කළේ.

නමුත් අවසානයේදී Acharya (2022) තෙළිඟු සිනමාටයට හිමි වුනේ කිසිවෙකුත් නොසිතූ අසාර්ථකත්වයක්! ඉන්දීය කෝටි 50කටත් අධික මූල්‍යමය අලාබයක් නිෂ්පාදකයින්ට අත් කර දෙමින් මෑතකාලීන තෙළිඟු සිනමාපටයක් ලැබූ දැවැන්තම මූල්‍යමය පාඩුව Acharya ඉදිරියේ ලියැවුනා. ප්‍රාන්තීය බෙදා හරින්නන්ට සිය චිත්‍රපටය නිසා උදා වූ පාඩුව පියවීමට, තමන්ගේ ඉඩකඩම් පවා විකුණා දමන්නටයි අධ්‍යක්ෂක Koratala Siva හට සිදු වුනේ…
මෙම අර්බුදකාරී තත්වය නිසා Koratala Sivaගේ ඊළඟ චිත්‍රපටය වන මෙම NTR30න් ඔහුට ඉවත් වන්නට සිදු වේ යැයි බොහෝ දෙනෙකු පැවසුවත්, එය එසේ වුනේ නැහැ. රංගන ශිල්පී Jr NTRගේ මැදිහත්වීම මත Koratala Sivaටම අධ්‍යක්ෂක භූමිකාව ලබා දෙමින් පසුගිය ජුනි මාසයේ සිට මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු ඇරඹුනා.

“It is high on an emotional note and very powerful script…
very strong character set in a very very new, never seen backdrop,”

චිත්‍රපටයේ තිර පිටපත පිළිබඳ අධ්‍යක්ෂකවරයාගෙන් විමසූ අවස්ථාවකදී ඔහු පවසා සිටියේ තමන්ගේ සෙසු නිර්මාණවලට වඩා වැඩි හැඟීම්බර (emotional) පිටපතක් මෙම චිත්‍රපටයට ඔහු රචනා කළ බවයි. නමුත් නිර්මාණයේ කතා තේමාව සහ සිද්ධි දාමය ගැන කිසිදු තොරතුරක් ඔහු ප්‍රකාශ කළේ නැහැ. නමුත් මෙය මුහුදුබඩ ගම්මානයක් ආශ්‍රිතව නිර්මාණයක් බවට නම් ඇතැම් ගොසිප් අඩවි තුළ විස්තර පළවී තිබෙනවා.
වරෙක අධ්‍යක්ෂක Koratala Siva විසින්ම එවැන්නක් ගැන ඉඟි පළ කරමින් පැවසූයේ, NTR මින් පෙර කිසිදු චිත්‍රපටයක නොකළ ආකාරයේ චරිතයක් මෙහිදී දැක ගත හැකි වනු බවයි .

මුලදී මෙය සාමාන්‍ය තෙළිඟු – ක්‍රියාදාම සිනමාපටයක් මට්ටමින් රූගත කරන්නට ඔවුන් සැලසුම් කර තිබුණද RRR හි සාර්ථකත්වය නිසා එම සැලසුම් පවා යළි වෙනස් කරන්නට නිෂ්පාදකයින්ට සිදුව තිබෙනවා. RRRට පසුව සිනමා ශාලාවලට නිකුත් වීමට නියමිත, Jr NTR රඟන මුල්ම සිනමාපටය මෙය වන නිසා මුලදී වෙන් කර තිබූ නිෂ්පාදන පිරිවැය තවත් වැඩි කරමින් High Scale චිත්‍රපටයක් ලෙසයි දැන් මෙය නිර්මාණය වන්නේ. ඒ අනුව NTR30 හි වර්තමාන ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දීය කෝටි 300කට ආසන්නයි.

මෙහි ප්‍රධාන කාන්තා චරිතය සඳහා හින්දි රංගන ශිල්පිනී Alia Bhatt යෝජනා වූ බවත්, සාකච්ඡා වට කිහිපයකට පසුව ඇය ඒ සඳහා එකඟ වූ බවත් කාලයක සිටම රසිකයින් අතරෙ හි කතාබහට ලක් වුනා. නමුත් මේ වනවිට ආරංචි වන්නේ මෙහි ප්‍රධාන කාන්තා චරිතයට ගිවිසුම්ගත වී තිබෙන්නේ වෙනත් හින්දි නිළියක වන Murnal Thakur බවයි. මේ දිනවල තිරගත වන Sita Ramam තෙළිඟු සිනමාපටය නිසා එම කලාප තුළ දැඩි ජනප්‍රියත්වයක් හිමි කරගන්නට ඇය සමත්ව තිබෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත්, ලබන වසර තුළදී මෙය නැරඹීමට අවස්ථාවක් උදා විය හැකියි.

Share

101 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.