“ඉගිල්ලෙන මාළුවෝ” ගැන තටු කැපූ සිනමාකරුවා කරුණු පහදයි

Avatar Cinema.lk A | July 17, 2013 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

නව පරපුරේ සිනමාවේදියෙකු හා ලේඛකයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” නම් සිනමා කෘතිය මෙරට ප්‍රදර්ශනය කිරීම මේවන විට තහනමට ලක්කර තිබේ.

අදාළ චිත්‍රපටය තුළින් රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාස වන බැවින් එය වාරණයට ලක්කිරීමට හා ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසා තිබිණි.

චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නොමැති ප්‍රවීණ ලේඛකයෙකු හා කෘතහස්ත ග්‍රන්ථ පරිවර්තකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතාටද අභූත චෝදනා නඟමින් මඩ ප්‍රචාරයක් ගෙනයාමට ඇතැම් මාධ්‍යයන් කටයුතු කරද්දී සංජීව පුෂ්පකුමාර ස්වකීය නිර්මාණය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ.

සංජීව පුෂ්ප කුමාර විසින් එවන ලද මාධ්‍ය නිවේදනය පහත පරිදිය.

ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් මාගේ ස්ථාවරය සහ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයයි!

මා අධ්‍යක්ෂණය කළ “ඉගිල්ලෙන මාළුවෝ” හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් පසුගිය 12 වැනි සිකුරාදා සිට උද්ගත ව තිබෙන අසමතුලිත ප‍්‍රචාරණය හමුවේ මගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය ව තිබෙන බව හඟිමි. එදින රාත‍්‍රී 9.30 පටන් ස්වාධීන රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ මා පිළිබඳ වත් මගේ නිර්මාණය පිළිබඳ වත් ප‍්‍රචාරය කෙරුණු දෑ සියල්ල නිවැරදි කළ යුතු ව පවතී. එසේම පසුව විවිධ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කෙරෙමින් පවතින තොරතුරු අභිමුව මාගේ ආස්ථානය පැහැදිලි කළ යුතුව පවතී.

(1) මෙම චිත‍්‍රපටය නිර්මාණයේ දී ශ‍්‍රී ලංකාව හෝ ත‍්‍රිවිධ හමුදා ඇතුළු ශ‍්‍රී ලංකාවට අයත් කිසිදු ආයතනයක් අපකීර්තියට හෝ අපසහුතාවට පත් කිරීම කිසිසේත් මගේ අරමුණක් වූයේ නැත. මෙහිලා මා උත්සුක වූයේ චිත‍්‍රපටියට වස්තු විෂය වන සියලූ පාර්ශ්වයන් පිළිබඳ සෑබෑ තත්ත්වය මානුෂික වූත් කලාත්මක වූත් නිරූපණයක් ලෙස ඉදිරිපත් කිරීම පමණි. මේ නිර්මාණ ක‍්‍රියාවලිය පුරා ම මා අනුප‍්‍රාණය ලැබුවේ මගේ ම ජීවන අත්දැකීම් සහ ඒවාට සහභාගී වූ මගේ පවුල, මගේ මිතුරන් හා මගේ ලෝකයට ආ ගිය විවිධ වූ මිනිසුන් වෙතිනි.

අවිගත් ත‍්‍රස්තවාදීන්, ඝාතන, සන්නද්ධ ගැටුම්, වෙඩි තැබීම් යනාදිය අවසානයකට පැමිණීමේ ප‍්‍රතිලාභ මා ඉහළින් ම භුක්ති විඳින බව ස්තුතිපූර්වක ව සඳහන් කරමි. මේ කෘතියට සම්පූර්ණයෙන්ම පාදක වූයේ කුඩා කල සිට ම යුද්ධයට ඍජු ව ම මැදි ව හැදී වැඩුණකු ලෙස මා ලද අත්දැකීම් සමුදාය යි. මා ජීවත් වූයේ දිවා කල රජයේ හමුදා විසින් ද රාත‍්‍රියෙහි එල්ටීටීඊය විසින් ද පාලනය කරනු ලැබූ ගමක ය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශ්වයේ ම දායකත්වයෙන් දියත් වූ ගැටුම් නිසා හමුදාවකට සම්බන්ධ නැති ව තිබූ ජනකායකගේ ජීවිත ක‍්‍රමක‍්‍රමයෙන් උඩුයටිකුරු වෙමින් මිලිටරීකරණය වනු මම අත්දුටුවෙමි. එම මිලිටරීකරණය ඔස්සේ වඩා ආරක්ෂිත වනු වෙනුවට එන්න එන්න ම ජන ජීවිතය අනාරක්ෂිතභාවයට ඇද වැටෙනු ද එකල කුඩා දරුවකු ව සිටි මම ලෙස මම බලා සිටියෙමි.

මා මගේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර තිබෙන රූපරාමු රජය ගොඩනැඟූ ප‍්‍රතිරූප සමග නොගැළපෙන බව සැබෑවකි. මෙහි දී මා පෙන්නුම් කර ඇත්තේ මගේ ම ජීවන අත්දැකීම් පිළිබඳ යථාර්ථය යි. එය එසේ කළේ අවිගත් යුද්ධය නිමා වූ පසු සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟිය යුතු ව ඇත්තේ මේ යථාර්ථයේ සිට බැවිණි. ජන ජීවිතය නැවත ගොඩ නැඟීම කිසි දු මතවාදයක් මත පදනම් ව සිදු කළ හැක්කක් නො වේ. එය කළ හැක්කේ යථාර්ථයේ සැබෑ මුහුණුවර හඳුනාගැනීම මගින් පමණක් නො වේ ද? මගේ වෑයම වූයේ එම යථාර්ථය සමාජ කතිකාවක් බවට පරිවර්තනය කිරීම යි.

(2)මේ චිත‍්‍රපටිය නිර්මාණයට පෙර, නිර්මාණය අතවාරයේ දී හෝ පසු ව එල්ටීටීඊ ඩයස්පෝරාව සමග හෝ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග මට කිසි දු සම්බන්ධයක් නොමැත. තව ද එවැනි කිසිදු පාර්ශ්වයකින් නිර්මාණකරණය හෝ අන් කිසිවක් සඳහා මා මුදල් ප‍්‍රතිපාදන ලබාගෙන ද නැත. එවන් කිසිවකු සමග මට මතවාදී සම්බන්ධයක් ද නැත. එබැවින් මේ පිළිබඳ ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරමින් තිබෙන ප‍්‍රකාශ හුදෙක් ගොතනු ලැබූ දෑ පමණක් බව ප‍්‍රකාශ කරමි.

(3) මේ චිත‍්‍රපටිය නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කළේ Asia Digital Entertainment(Pvt.)Ltd සමාගම වෙනුවෙන් මනෝහර නානායක්කාර මහතා යි. චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ රුපියල් ලක්ෂ විසිපහක මුදලිනි. අනතුරුව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හුබර්ට් බාල්ස් අරමුදල (Hubert Bals Fund) විසින් තුන්වැනි ලෝකයේ සිනමාකරුවන් සඳහා පිරිනැමෙන පසුනිෂ්පාදනය සඳහා වන ප‍්‍රදානයක් ලෙස යුරෝ විසිදහසක මුදලක් හිමි වූයේය. එම මුදලින් චිත‍්‍රපටිය සම්පූර්ණයෙන් ම නිමකරගත හැකි විය. මේ සියල්ල තිබිය දීත්, අද වන තුරුත් චිත‍්‍රපටයට දායක වූ ඇතැම් පාර්ශවයන්ට මුදල් ගෙවීම් කළ යුතු ව පවතී. රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ මූල්‍ය ප‍්‍රදානයේ කොන්දේසිය වූයේ ලක්සම්බර්ග්, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල චිත‍්‍රපටියේ අයිතිය සහ එය ප‍්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම හුබර්ට් බාල්ස් අරමුදල සතු විය යුතු බව යි. මෙකී ප‍්‍රදානය ලබාගත් පළමු සහ එක ම ලාංකික සිනමාකරුවා මා නො වේ. එය මීට පෙර නිෂ්පාදිත චිත‍්‍රපටිවලට ද ලැබී තිබේ. එබැවින් මේ චිත‍්‍රපටියට ප‍්‍රංශ මුදල්, එන්ජී ඕ මුදල්, ඩයස්පෝරාවේ මුදල් ලැබුණු බව කීම අසත්‍යයකි.

(04) චිත‍්‍රපටය තුළ මම ආඛ්‍යාන තුනක් සංකලනය කොට ඇත්තෙමි. ඒවා යුද්ධයට දැනුවත් ව හා නොදැනුවත් ව සහභාගී වූ පාර්ශවවලට අයත් කතා බැව් චිත‍්‍රපටය නරඹන කෙනෙකුට පැහැදිලි ව පෙනී යනු ඇත. එසේ සිදු කෙරුණේ මා ජීවත් වූ ප‍්‍රදේශය තුළ මා අත්විඳි ස්වරූප තුනක ජීවන අත්දැකීම් කලා කෘතිය තුළට ගෙන ඒමේ අරමුණින් මිස චිත‍්‍රපටය කිසියම් පාර්ශ්වයකට පක්ෂ හෝ විපක්ෂ වූ නිසා නො වේ. එල්ටීටීඊය දෙමළ සමාජය මත ඇති කළ ඛේදජනක බලපෑම්වලින් සමහරක්, එනම් කප්පම් ගැනීම, දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සන්නද්ධ කණ්ඩායම්වලට බඳවාගැනීම සහ ඝාතන යනාදිය ද මගේ චිත‍්‍රපටයෙහි දැක්වේ. එම සන්නද්ධ ව්‍යාපාරයේ වූ කුරිරු ස්වභාවය මෙහි නිරූපණය වෙයි. සරල ව කියතොත් මගේ අත්දැකීම් ඔස්සේ මෙහි දී ප‍්‍රතිනිර්මාණය වූයේ සන්නද්ධ අරගලයක් තුළ සිදු වන සියලූ දුර්දාන්ත දෑ සහ මනුෂ්‍යත්වයට සිදු වූ හානියේ ස්වභාවය යි.

එහෙයින් ම මෙහි දී වැදගත් වූයේ ඊට සහභාගී වූ කිසියම් එක් පාර්ශ්වයක් නො ව මනුෂ්‍යත්වය සහ මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය යි. එවැනි නිරූපණයක් සිදු කරනුයේ ඒ ව්‍යසනයන් නරඹා සතුටු වීමට නො ව එම ව්‍යසනයෙන් ගොඩ ඒමට අවශ්‍ය දැනුවත්භාවය වගා කරගැනීමේ අටියෙනි. ඉගිල්ලෙන මාළුවන් යනු මනෝරාජිකයක් නො වේ; යුද්ධයකින් පසු සුන්බුන් ව ඉතිරි වූ මනුෂ්‍යත්වයේ සහ ජීවිතයේ සැබෑ ප‍්‍රකාශනයකි.

සංජීව පුෂ්පකුමාර

අධ්‍යක්ෂ

Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ)

අද දෙරණ

Share

172 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.