Tovino Thomas තවත් අලුත් මලයාලම් චිත්‍රපටයකින්…

Avatar Kavinu Weerakkody | December 14, 2021 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

සාර්ථකත්වයට පත් Driving license සිනමාපටයෙන් පසු අධ්‍යක්ෂක Jean-Paul Lal, තවත් අලුත් නිර්මාණයක වැඩ කටයුතු පටන් ගෙන තිබෙනවා. ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු Lalගේ පුත්‍රයා වන ඔහුව රසිකයින් බොහෝ දෙනෙක් හඳුනන්නේ Lal Jr. කියන නමිනුයි. Lal Jr. 2019දී අධ්‍යක්ෂණය කළ Driving license සිනමාපටය වසරේ වැඩිම ආදායම්ලාභී මලයාලම් සිනමාපට අතරට එක් වුණා වගේම, ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්නත් සමත් වුණා. එයින් පසු ඔහු සහ පියා එක්ව අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය Tsunami පසුගිය මාර්තු මාසයේදී නිකුත් වුණත් කෝවිඩ් බලපෑම නිසා එය සාර්ථක වුණේ නැහැ.

අධ්‍යක්ෂක Lal Jr.ගේ ඊළඟ නිර්මාණයට Tovino Thomas රංගනයයෙන් එක් වීමට නියමිත බවට මලයාලමේ ඇතැම් ගොසිප් අඩවි කාලයක සිටම වාර්තා කළත්, නිල වශයෙන් තහවුරු වුණු ආරංචියක් අපිට දැකගන්න ලැබුණේ නැහැ. නමුත් කැමරා අධ්‍යක්ෂක Alby Antony පසුගිය දවසක Instagram ගිණුමේ පළ කළ ඡායාරූපයක් නිසා රසිකයින් අතරේ මේ ආරංචිය ගැන යළිත් කතාබහක් ඇති වුනා. ඉතින් කාලයක සිටම ගොසිප් මවපු මේ චිත්‍රපට විස්තරය නිල වශයෙන්ම තහවුරු වුණේ දැනට සතියකට පමණ කලින්! පසුගිය සතියේදී චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින්ම මේ පිළිබඳ official announcement එකක් රිලීස් කළා.

Nadikar Thilakam යනුවෙන් නම් කර තිබෙන මේ නිර්මාණයට Tovino Thomas සමඟින් Soubin Shahir රංගනයෙන් එක්වනවා. කේරළ මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ චිත්‍රපටය feel-good commercial entertainer නිර්මාණයක් බවත් දැනගන්න ලැබෙනවා. Lal Jr.ගේ පෙර චිත්‍රපට වගේම හාස්‍යය මුසු වුණු සරල කතාවකට ටොවිනෝගේ රංගනය මුසු කරන්නයි ඔහු මෙවර සූදානම් වෙන්නේ. චිත්‍රපටයට රංගනයෙන් දායක වන සෙසු ශිල්පීන් පිරිස සහ plot details තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෑතකාලීනව Tovino Thomas රංගනයෙන් දායක වුණු නිර්මාණ සියල්ලම පා‌හේ සාර්ථක වුණු නිසා බොහෝ දෙනෙක් මේ නිර්මාණය ගැන දක්වන්නෙත් සුබවාදී බලාපොරොත්තුවක්. ටොවිනෝගේ පිටපත් තෝරා ගැනීම ගැන විශ්වාසයෙන් ඉන්න රසිකයින් බොහෝ දෙනෙක් මේ නිර්මාණයේ වැඩි විස්තර දැනගන්න උනන්දුවෙන් පසුවෙනවා. Nadikar Thilakam හි තිර පිටපත රචනයෙන් එක්වන්නේ නොවැම්බර් 23වනදා නිකුත් වූ STAR මලයාලම් සිනමාපටය රචනා කළ Suvin S. Somasekharan විසින්මයි. 2022 දෙසැම්බර් මාසයේදී චිත්‍රපටය එළි දක්වන්නයි නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙන්නේ…

Driving License හි සංගීත අධ්‍යක්ෂණය කළ Yakzan Gary Pereiraවම මේ චිත්‍රපටය සඳහත් සම්බන්ධ කරගෙන තිබෙන බවට අන්තර්ජාලයේ සඳහන් වුණත් පිළිගත් කිසිදු මූලාශ්‍රයකින් ඒ බව තහවුරු වෙලා නැහැ. නමුත් පෙර චිත්‍රපටවල සාර්ථකත්වය නිසාම ඔහුව මේ movie එකටත් සම්බන්ධ කරගන්න Lal Jr. තීරණය කළා වෙන්න පුලුවන්. ප්‍රධාන කාන්තා චරිතය ගැන දැකගන්න ලැබෙන්නෙත් එවැනිම තොරතුරු මූලාශ්‍ර කිහිපයක්. Ahana Krishna සහ Aishwarya Lekshmiගේ නම් දැනටමත් චිත්‍රපටයට ඇඳිලා තිබුණත් තහවුරු වෙලා නැහැ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය හසුරුවන Alby Antony කියන්නෙත් මීට පෙර Tovino Thomas සමඟ වැඩ කරපු පුද්ගලයෙක්. දැනට මාස කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් වුණු ටොවිනෝගේ Kaanekkaane සිනමාපටයේ Cinematographer වශයෙන් කටයුතු කළේ Albyයි.

2013 වසරේ Honey Bee චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි Lal Jr. විසින් Hi I’m Tony, Honey Bee 2 සහ Driving License වැනි සාර්ථක නිර්මාණ කිහිපයක්ම මලයාලම් සිනමාවට එකතු කළා. අධ්‍යක්ෂණයට අමතරව Asif Aliගේ UnderWorld (2019) සිනමාපටය සහ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Mammoottyගේ Bilal (2022) සිනමාපටය තුළින් නලුවෙක් වශයෙනුත් ඔහුව දැකගන්න පුලුවන්.

2012දී Prabhuvinte Makkal හරහා රංගනයට පිවිසි ටොවිනෝ තෝමස් අද වනවිට මලයාලම් සිනමාවේ දක්නට ලැබෙන ජනප්‍රියම සිනමා තාරකාවක්. මුල සිට මේ දක්වාම එකිනෙකට වෙනස් පිටපත් තෝරා ගනිමින්, විවිධ චරිත අත්හදා බලන්නට කැමැත්ත දක්වන නළුවෙක් විදිහටයි Tovino Thomas ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. 2015 වසරේ Ennu Ninte Moideen චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පියාට හිමි Filmfare සම්මානය ජයග්‍රහණය කළ Tovino දමිළ සිනමාවේ ජනප්‍රිය වුණේ Maari 2 චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කිරීමෙන් පසුවයි. Mayanadhi, Theevandi, Guppy සහ Godha වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට ඔහු ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණා. පහුගිය දවස්වල ලාංකීය ප්‍රේක්ෂකාගාරයට ඔහු වැඩිපුරම සමීප වුණේ Luca (2019) චිත්‍රපටයත් සමඟයි.

දෙමළ සහ තෙළෙඟු ප්‍රාන්තීය නලු නිළියන්ට සාපේක්ෂව මලයාලම් ශිල්පීන් වෙනත් භාෂාවල සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වීම යම් අඩු මට්ටමකයි තිබෙන්නේ. Dulqer Salamaan, Fahadh Faasil වැනි සීමිත පිරිසක් හැරුණු කොට බහුතරයකට කේරළයෙන් පිට එතරම් ජනප්‍රියත්වයක් නැහැ. නමුත් Tovinoට කේරළය වගේම ඉන් පිටතත් ඔහුටම ආවේණික ජනප්‍රියත්වයක් ගොඩ නැඟෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. එමෙන්ම රංගනයට කිසිදු සම්බන්ධයක් නොතිබූ පවුල් පසුබිමකින් පැමිණි පුද්ගලයෙක් විදිහට, ඔහු මේ ලබාගෙන තිබෙන සාර්ථකත්වය පැසසිය යුතුමයි. සහාය අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාවේ සිට ප්‍රධාන දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු දක්වා පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

එළඹෙන දෙසැම්බර් 24වනදා Netflix හරහා නිකුත් වීමට නියමිත Minnal Murali  මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් ටොවිනෝ සම්බන්ධ වෙනවා. විශේෂත්වය වන්නේ මලයාලම් සිනමාවෙන් නිර්මාණය වූ පළමු Super-Hero චිත්‍රපටය එය වීමයි. දැවැන්ත ප්‍රචාරණයක් සහිතව නිකුත් වීමට නියමිත මේ සිනමාපටය Tovino Thomasගේ ඉදිරි සිනමා ගමන වෙනස් කරන්නට අනිවාර්යෙන්ම සමත් වේවි…

Share

64 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.