මාතෘත්වයට පිදෙන Happy Birthday දිවයින පුරා

Avatar Kavinu Weerakkody | March 27, 2022 3760 Views 1 Like 1.5 On 2 Ratings

3760 Views 1.5 On 2 Ratings Rate it

කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට නැවතත් සුපුරුදු පරිදි ලාංකීය චිත්‍රපට ගණනාවක්ම මෙරට සිනමාහල් පුරා තිරගත වීම ආරම්භ වුනා. විශේෂයෙන්ම 2022 වසරට පා තබා තවමත් ගත වූයේ මාස තුනකටත් අඩු කාලයක් වූවද මේ කෙටි කාල සීමාව තුළ ලාංකීය නිර්මාණකරුවන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 04කට නොඅඩු ප්‍රමාණයක් දිවයින පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කළා.
අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ රශ්මි එසේ තිරගත වීම ආරම්භ කළ ලාංකීය චිත්‍රපට 04 වනවා.

ඒ නිර්මාණවලට පසු 2022 වසරේ මුදාහරින 05වන ලාංකීය චිත්‍රපටය වශයෙන් පසුගියදා ප්‍රදර්ශනය ඇරඹියේ දිල්හානි අශෝකමාලා සමඟින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ප්‍රධාන චරිත රඟන හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමා නිර්මාණයයි. අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය Stein Films නිෂ්පාදනයකි. Happy Birthday සිනමාපටයේ කතා තේමාව ගෙතෙන්නේ මවක් සහ ඇගේ දියණියන් දෙදෙනාට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක අත්දැකීමක් වටායි.

නීටා සපරමාදු, ඇගේ දියණියන් දෙදෙනා වන නතාලි සහ වෙනුකි සමඟින් සිය පියාට අයත් වතු බංගලාවක් වෙත පැමිණෙන්නේ නතාලිගේ උපන්දින සැමරුම වෙනුවෙනුයි. නතාලිගේ 18වෙනි උපන්දිනය සැමරීමට නීටා සපරමාදු සහ ඇගේ වැඩිමහල් දියණිය විසින් කුඩා උපන්දින සාදයක් සැලසුම් කර තිබෙන අවස්ථාවේදී ඔවුන් වෙත පැමිණෙන නොහඳුනන ආගන්තුකයින් පිරිසක් නිසා මවටත් දියණියන් දෙදෙනාටත් මුහුණ දෙන්නට සිදු වන්නේ ඔවුන් නොසිතූ අත්දැකීමකටයි. නීටාගේ පියා විසින් මිණිපිරියන් වෙනුවෙන් ඉතිරි කර ගිය රහස් දායාදයක්ද එදිනම ඔවුන් අතට පත්වීමට නියමිතව තිබුණත් ඒ සියල්ලම කණපිට හැරෙන්නේ හදිසි ආගන්තුකයින්ගේ පැමිණීම නිසායි.
හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමා නිර්මාණයේ එතැන් පටන් කතාව ගෙතෙන්නේ නීටා සපරමාදු විසින් මෙම නොහඳුනන මැරයන්ගෙන් සිය දියණියන් දෙදෙනා ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහය වටායි.

පහත සබැඳිය ඔස්සේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.

නීටා සපරමාදුගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක වන දිල්හානි අශෝකමාලා විසිනුයි. Underpants Thief චිත්‍රපටය නිසා සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක් වූ ඇය, එයින් පසු රංගන දායකත්වය ලබා දෙන පළමු නිර්මාණය වන්නේද මෙම හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමාපටයයි.
ඇගේ දියණියන් දෙදෙනා වන නතාලි සහ වෙනුකිගේ චරිතවලට පිළිවෙළින් ටාෂියා කාලිදාස හා යොහානි හෙට්ටිආරච්චි රංගන දායකත්වය ලබා දෙනවා. යොහානි හෙට්ටිආරච්චි මින් පෙර සිනමාපට ගණනාවකට සම්බන්ධ වී තිබුණද ටාෂියා කාලිදාසගේ පළමු සිනමා අත්දැකීම වන්නේ මෙයයි.

සිනමාපටය පුරාම දක්නට ලැබෙන වික්ටර්ගේ උපප්‍රධාන චරිතයට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රංගනය ලබාදෙන අතර මැණිකාගේ චරිතයට පණ පොවන්නේ සුරංගා රණවක විසිනි. සූර්යා දයාරුවන්, රන්දික ගුණතිලක, ප්‍රසන්න දෙකුම්පිටිය සහ බන්දුල සූරියබණ්ඩාර අතිරේක නළුවන් අතර වනවා. මෙහි කලා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ සුනිල් ප්‍රේමරත්න ද නීතිඥවරයෙකුගේ චරිතයකින් ඔබට දැකගත හැකියි.

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ තෙවන නිර්මාණය වන්නේ මෙයයි. සිය පළමු සිනමාපටය වන නිකිණි වැස්ස තුළින්ම ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ අරුණ ජයවර්ධන 2011 වසරේ Derana Lux Film Awards හි “මතු බලාපොරොත්තු තැබිය හැකි හොඳම අධ්‍යක්ෂකවරයාට” හිමි සම්මානයත් දිනාගනු ලැබුවා.
රංගන ශිල්පී හේමාල් රණසිංහ සමඟින් අරුණ ජයවර්ධන තවත් චිත්‍රපට ද්විත්වයක් (1970 Love Story, මාරියා) නිර්මාණය කර තිබෙන අතර ඒ චිත්‍රපට ද්විත්වයම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

Happy Birthday හි කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ මෙරට ජනප්‍රිය චිත්‍රපට ගණනාවක කැමරාකරණය මෙහෙයවූ චන්න දේශප්‍රියයි. සංගීතය චින්තක ජයකොඩි විසිනි. සංස්කරණය සහ වර්ණ සංයෝජනය සිදු කර තිබෙන්නේ අසංක වික්‍රමසිරියි.

කෝටි 20 අදායම් කඩයිම ඉක්මවාලූ “ධර්ම යුද්ද්ධය” , කෝටි 10 අදායම් කඩයිම ඉක්මවාලූ “ඒ ලෙවල්”, “ගෝල්” හා “තාල” යනාදී චිත්‍රපට නිෂ්පාදනය කරමින්,  පසුගිය දශකයේ වැඩිම Blockbuster  චිත්‍රපට සංඛ්‍යාව දේශීය සිනමා කර්මාන්තයට එක් කළ Stein Films හි නවතම සිනමා නිමවුම වන මෙය M Entertainments බෙදාහැරීමකි.

අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන
කැමරාකරණය – චන්න දේශප්‍රිය
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – අසංක වික්‍රමසිරි
සංගීතය – චින්තක ජයකොඩි
කලා අධ්‍යක්ෂණය – සුනිල් ප්‍රේමරත්න
M Entertainments බෙදාහැරීමක්
Stein Films නිෂ්පාදනයක්

පසුගිය මාර්තු 25වනදා සිට LFD හා CEL මණ්ඩල ඒකාබද්ධ බෙදාහැරීමක් ලෙස තිරගත වීම ඇරඹුනු හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමාපටය දිවයින පුරා සිනමාශාලා 34කදී ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා. එම සිනමාශාලා ලැයිස්තුව පහතින් දක්වා තිබෙන අතර සියලුම තොරතුරු උපුටා ගනු ලැබූයේ උදිත ලක්මාල් කහඳවආරච්චිගේ මූලාශ්‍රයන් හරහායි.

කොළඹ දිස්ත්‍රික්කය

(01) CCC ස්කෝප්- ගංගාරාම: 11.15am/ 4.45pm/ 6.45pm
(02) ලිබර්ටි ස්කෝප්- කොල්ලුපිටිය: 10.30am/ 4.30pm/ 6.30pm
(03) PVR- ගෝල්ෆේස්:10.15am/ 1.45pm
(04) රීගල් – කොටුව: 4.30pm
(05) රිකී- කොටුව: 10.30am/ 2.00pm/4.15pm/ 6.30pm
(06) MC – බම්බලපිටිය:1.00pm/ 6.15pm
(07) රීගල්- දෙමටගොඩ: 1.30pm/7.15pm
(08) රිට්ස්- බොරැල්ල: 4.15pm/ 6.30pm
(09) ලිඩෝ – බොරැල්ල: 10.30am/ 1.30pm/ 7.00pm
(10) සිටි සිනමා- ගල්කිස්ස: 10.30am/ 1.30pm
(11) එමෙස්- මොරටුව: 4.15pm
(12) ස්කයි ලයිට්- මාළබේ: 10.30am/ 2.30pm
(13) නිව් රේඛා- කඩුවෙල: 10.30am/  2.30pm/ 6.30pm

ගම්පහ දිස්ත්‍රික්කය

(14) හිමාලි- කිරිබත්ගොඩ: 1.30pm/ 6.30pm
(15) රීගල්- ගම්පහ: 4.00pm/ 7.00pm
(16) රෝයල්- මීගමුව: 11.00am/ 3.00pm
(17) සිටි සිනමා- කොච්චිකඩේ: 10.30am/ 1.30pm

කළුතර දිස්ත්‍රික්කය

(18) දොන් ප්ලාසා- කළුතර:10.30pm/ 1.15pm
(19) නිව් චංපිකා ඉංගිරිය: 6.30pm
(20) නිව් ජානකී මතුගම: 10.30am/ 2.30pm/6.30pm

කුරුණෑගල දිස්ත්‍රික්කය

(21) නිව් ඉම්පීරියල්- කුරුණෑගල:10.30am
(22) මහලේකම්- කුලියාපිටිය: 10.30am/ 2.30pm/ 6.30pm
(23) නිව් නන්දා- නිකවැරටිය:10.30am/ 2.30pm/ 6.30pm
(24) ශ්‍රියා- වාරියපොළ: 10.30am/ 2.30pm/ 6.30pm

රත්නපුර දිස්ත්‍රික්කය

(25) නිව් ඉම්පීරියල්- රත්නපුර: 10.30am/ 1.30pm
(26) නිව් ටවුන්-ඇඹිලිපිටිය:10.30am/ 2.30pm/ 7.00pm
(27) ගාමිණී- ඇහැළියගොඩ: 10.30am/  2.30pm/ 6.30pm

මහනුවර දිස්ත්‍රික්කය

(28) KCC- නුවර: 10.45am/ 6.30pm
(29) සීගිරි- කටුගස්තොට: 10.30am/ 4.30pm/ 7.30pm
(30) සන්ධ්‍යා- ගම්පොළ: 10.30am/ 2.30pm

සෙසු දිස්ත්‍රික්කවල

(31) මිලානෝ ගෝල්ඩ්- කෑගල්ල:10.30am/ 2.30pm
(32) සිනෙල්මා- බදුල්ල: 10.30am/ 2.30pm/ 6.30pm
(33) ෂැම්රොක්- වෙන්නප්පුව: 10.30am/ 4.15pm
(34) චාන්දනි- වැලිගම: 29 වෙනිදා සිට

ප.ලි-
විදුලි කප්පාදුව නිසා විදුලි ජනක යන්ත්‍ර නොමැති සිනමාශාලාවල දර්ශන වේලාවන් වෙනස්වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇත.

Share

3760 Views 1.5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.