සිංහබාහු – ඉතිහාසයෙන් මිදුනු සිංහ පරපුරේ කතාව

Avatar Kavinu Weerakkody | April 20, 2024 149 Views 0 Likes 5 On 1 Rating

149 Views 5 On 1 Rating Rate it

ඵෙතිහාසික සංසිද්ධි සහ සාහිත්‍යමය පුවත් අනුසාරයෙන් බිහිවන චිත්‍රපට සහ කලා නිර්මාණ, ලාංකීය සිනමාවට නම් එතරම් නුහුරු නුපුරුදු බවක් නැහැ. ජනප්‍රිය කතා පුවත් ඇසුරින් බිහිවන චිත්‍රපටවලට රසිකයින් දක්වන කැමැත්ත නිසාම, මෙරට සිනමාකරුවන් පවා එවැනි සිනමාපට නිෂ්පාදනය කරන්නට ඇල්මක් සහ උනන්දුවක් දක්වනවා.

කුසපබා – මහින්දාගමනය – ගුත්තිල – කදිර දිව්‍යරාජ වැනි ඒ ශානරයේ චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විශාල ජනප්‍රසාදයක් දිනාගත්තේ බොක්ස්-ඔෆිස් ආදායමෙන් පවා නිෂ්පාදකයින්ට දැවැන්ත ආදායම් ළඟා කර දෙමින්…

මේ දිනවල සාර්ථකව තිරගත වන, “සිංහබාහු (Sinhabahu)” සිනමාපටයත් එවැනිම සාහිත්‍යමය මූලාශ්‍රයක් මුල් කරගෙන නිර්මාණය වුනු අලුත්ම ලාංකීය චිත්‍රපටයක්. මෙරට සිංහල ජාතියේ උපත සිදුවූවා යැයි කියැවෙන සිංහයාගේ සහ සුප්පා දේවියගේ කතා පුවත ඇසුරින් නිෂ්පාදනය වුනු මෙම චිත්‍රපටය, පසුගිය අප්‍රේල් 18 වනදා සිට EAP ඇතුළු දිවයින පුරා සිනමා හල් රැසකදී සාර්ථකව තිරගත වනවා.

වංග දේශයේ රජුගේ දියණිය වන සුප්පා දේවිය, සිය පිරිවර ද සමඟින් වනාන්තරයක් මැදින් ගමන් කරන අවස්ථාවකදී සිංහ නැමැති තරුණ ග්‍රෝතික නායකයෙකුට හසුවන අතර සිංහ විසින් සුප්පාදේවියව සිය බිරිඳ ලෙසට එම වනාන්තරයේ තබා ගන්නවා. සිංහබාහු සහ සිංහසීවලී යනුවෙන් හැඳින්වෙන්නේ ඔවුන්ගේ දරුවන් දෙදෙනායි. සිංහ විසින් තම දරු දෙදෙනාට සහ බිරිඳට වනයෙන් එළියට පය තැබීමටවත් ඉඩ නොදෙන්නේ මතු යම් දිනෙක ඔහුට ඔවුන්ව අහිමි වේ යැයි හට ගන්නා බිය නිසාමයි.

නමුත්, හිතුවක්කාර සිංහබාහු විසින් සිය නැඟණිය සහ මව ද රැගෙන, පියාට හොරෙන් වංග දේශයට පලා යන්නේ ඒ වනාන්තරයෙන් එහා ලෝකය රස විඳීමට ඇති කුතුහලය නිසාවෙනුයි. ඔවුන්ගේ පලා යෑම ගැන දැනගන්නා සිංහ කෝපයෙන් වියරු වැටී, ගම් නියම්ගම් පීරමින් තම දරුවන් සොයා යෑමට පටන් ගනී.
අවසානයේදී සිය පියාට එරෙහිව සටනට පිවිසෙන්නේ ඔහුගේම පුත්‍රයා වන සිංහබාහුයි…

සිංහබාහු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සිංහයා ලෙසින් රඟපෑමට මුලදී තෝරාගෙන තිබුනේ පසුගියදා අප අතුරින් සමුගත්, මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ජැක්සන් ඇන්තනි මහතාවයි. නමුත් මේ චිත්‍රපටයේම රූගත කිරීම් අතරතුරදී ඔහු මුහුණ දුන් මරණීය රිය අනතුර නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු මාස ගණනාවක් ප්‍රමාද කරන්නට නිෂ්පාදකයින්ට සිදුවුනා.

ඒ අවාසනාවන්ත තත්වය හමුවේ ජැක්සන් ඇන්තනි මහතා විසින් රඟපෑ දර්ශන සියල්ලම යළිත් රූගත කරන්නට සිදු වූ අතර ඊට ඉදිරිපත් වුනේ ඔහුගේ පුත්‍රයා වන අකිල ධනුද්දරයි. සිංහයාගේ චරිතය අකිල ධනුද්දර විසින් නිරූපණය කරද්දී සිංහබාහුගේ චරිතයට පණ පොවන්නේ සජිත අනුත්තරයි. දුෂේනි මියුරංගි සිංහසීවලී ලෙසින් රඟපානවා.
සුප්පා දේවියගේ තරුණ අවධියට අභිලාශි ශන්තුෂ්කි විසිනුත්, වැඩිමල් අවධියට යශෝධා විමලධර්ම විසිනුත් රංගනයෙන් එක්වනවා.

සිංහබාහු චිත්‍රපටය මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයක්. දෙස් – විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහු සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි වැනි මෙරට blockbuster සිනමාපට ගණනාවක ම අධ්‍යක්ෂකවරයායි. කලක් මෙරට වැඩිම ආදායම්ලාභී චිත්‍රපටය වූ “සිරි පැරකුම්” ද ඔහුගේ නිර්මාණයක්.

සිංහබාහු සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය:

කුමාර තිරිමාදුර, රත්නා ලාලනී, ධර්මප්‍රිය ඩයස්, රදින් රන්දිව්, නිරංජනී ශන්මුගරාජා, සිනෙති අකිලා වැනි තවත් නලු නිළියන් රැසක් සිංහබාහු සිනමාපටයේ රංගනයේ යෙදෙනවා.

අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපටයේ තිර පිටපත රචනය ද සෝමරත්න දිසානායක විසිනි. සිංහබාහු නිෂ්පාදන දායකත්වය රේණුකා බාලසූරිය සහ ගාමිණී වික්‍රමසිංහ විසිනි. විශ්වා බාලසූරියගේ කැමරාකරණයෙන් හැඩ වන චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායකයි. සසික රුවන් මාරසිංහ විසින් මෙහි ශබ්ද සැලසුම්කරණය සිදු කළ අතර ජනක ප්‍රසාද් කලා අධ්‍යක්ෂකවරයායි.

සිංහබාහු චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදු කොට තිබෙන්නේ ආචාර්ය සමන් පනාපිටිය විසිනුයි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනයෙන් සහ චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් මෙම නිර්මාණයට එක්ව තිබෙනවා.

KCC, PVR, Regal ඇතුළු දිවයින පුරා සිනමා රැසකදී ඔබට දැන් මෙම අපූරු සිනමා නිර්මාණය රස විඳිය හැකියි..!!!

Share

149 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.