විසල් ආදරේ මැයි 03 වනදා සිට සිනමා තිරයට

Avatar Kavinu Weerakkody | April 24, 2024 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

පසුගිය 2022 වසරේදී තිරගත වුනු ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය මෙරට සිනමා රසිකයින් අතරෙ හි විශාල ජනප්‍රියතාවයක් ලබා ගන්නට හැකි වුනා වගේම, එහි නිෂ්පාදකයින්ට දැවැන්ත ලාබයක් උපයා දෙමින් බොක්ස්-ඔෆීස් ආදායමින් සාර්ථක වන්නටත් සමත් වුනා. Romance ශානරයේ සිනමාපටයක් වෙනුවෙන් මෑතකදී සිංහල සිනමාව තුළ දක්නට ලැබුනු වැඩිම රසික ආකර්ෂණය හිමිවූයේ ද “ආදරණීය ප්‍රාර්ථනා” වෙනුවෙනුයි.

ඔවුන් ලැබූ සාර්ථකත්වයත් සමඟ එහි නිර්මාණකරුවන් විසින් තවත් අලුත්ම සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු පසුගිය වසරේදී ආරම්භ කළ අතර මේ වනවිට එහි සියලුම නිෂ්පාදන කටයුතු අවසන් වෙමින්, තිරගත කරන්නට සූදානමින් සිටිනවා.

මේ දිනවල මෙරට ජනප්‍රියම නලු නිළියන් සිව් දෙනෙකු ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක් වන මෙම නවතම සිංහල චිත්‍රපටය නම් කර තිබෙන්නේ “විසල් ආදරේ (Visal Adare)” යනුවෙනුයි. විසල් ආදරේ සිනමාපටය එළඹෙන මැයි 03 වනදා සිට MPI මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලා රැසකදී තිරගත වීමට නියමිතයි.

විසල් ආදරේ සිනමාපටයෙ හි ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ දිනක්ෂි ප්‍රියසාද්, සචින් ලියනගේ, නිමේෂ් වීරංග සමඟින් රශිප්‍රභා සංදීපනී යි. ඊට අමතරව වන්දනා ලියනාරච්චි, අනෝමා වික්‍රමාරච්චි, තනුජ් ගුණවර්ධන සහ ප්‍රියංකා ප්‍රියදර්ශනී වැනි පිරිසක්ද මෙහි සහාය චරිත සඳහා රංගනයෙන් එක්වනවා.

විසල් ආදරේ පූර්ව ප්‍රචාරකපටය නැරඹීමට:

වර්තමාන කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් ඩබල් ට්‍රබල්, මේ වාගේ ආදරයක්, රන් දේදුන්නක්, සූම්, සුපර්ණා වැනි සිනමාපට රැසකින් මින් පෙර රසිකයින්ට සමීප වුනා.

සචින් ලියනගේ මින් පෙර සිනමාවට සම්බන්ධ වී නැතත්, පුංචි තිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක්ම ඔහුගේ ප්‍රධාන චරිතයෙන් හැඩවුනා. සචින් රංගනයෙන් සම්බන්ධ වන තවත් චිත්‍රපටයක වැඩ කටයුතු නුදුරේදීම ඇරඹෙන බවටත් පැවසෙනවා.

විසල් ආදරේ නිර්මාණකරුවන්ගේ පළමු චිත්‍රපටය වූ “ආදරණීය ප්‍රාර්ථනා” චිත්‍රපටයටත් නිමේෂ් වීරංග සම්බන්ධ වූ අතර ඔහු එහි කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා. 2022 වසරේදී තිරගත වූ “නිමි”, රශිප්‍රභා සංදීපනීගේ පළමු චිත්‍රපට රංගනයයි. දමිළ නලු ප්‍රභූ දේවා රඟන Musasi ඇතුළු ඉන්දීය සිනමාප කිහිපයක පෙනී සිටින්නට ද ඇයට අවස්ථාව හිමි වී තිබෙනවා.

වාසව බදුගේ අධ්‍යක්ෂණය සිදු කර තිබෙන මෙම සිනමාපටයෙ හි සංගීත තනු නිර්මාණය යසස් මැදගෙදර විසිනි. තිර පිටපත රචනා කොට තිබෙන්නේ “බීර සුවඳැති හාදු” කෘතියේ රචිකාවිය වන දිල්ෂි තත්සරණි විසිනුයි.

මෙය වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරන දෙවන චිත්‍රපටයයි. සංගීත රූප රචනා නිර්මාණකරුවෙකු වශයෙන් මෙරට රසිකයින් අතරෙ හි ජනප්‍රිය වී සිටින ඔහු, සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ පසුගිය වසරේදී ආදරණීය ප්‍රාර්ථනා හරහා යි. සිනමාපටයේ කැමරාකරණය සිදු කොට තිබෙන්නේ ද අධ්‍යක්ෂක වාසව බදුගේ විසින්මයි.
ධනුෂ්ක පෙරේරා මෙහි සහාය අධ්‍යක්ෂකවරයායි. සඳරුවන් පෙරේරා සහ වාසව බදුගේ එකතුවෙන් සංස්කරණ කටයුතු සිදු කොට තිබෙනවා.

විසල් ආදරේ සිනමාපටයේ නිෂ්පාදන සැලසුම්කරණයෙන් සිල්වාත්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිරෝශන් වෙලගෙදරත්, සම්බන්ධයි. ගීපද රචනය ශෙහාන් ගලහිටියාව සහ සජිත් අක්මීමන දෙදෙනායි. ඔවුන් දෙදෙනා වාසවගේ පළමු චිත්‍රපටය වූ ආදරණීය ප්‍රාර්ථනා හි ගීත රචනයටත් එක්වුනා.
රසිත කාවින්ද මෙහි ශබ්ද පරිපාලකවරයායි. හර්ෂ මාදව වේෂ නිරූපණ ශිල්පියායි. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූපකරණයෙන් එක්ව තිබෙන්නේ විරාජ් ෆර්නෑන්ඩු යි.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ ඇමරිකාව ආශ්‍රිතවත් මෙහි පුළුල් තිරගත කිරීමක් සිදු කරන්නටත් නිෂ්පාදකවරුන් විසින් සැලසුම් කරමින් සිටිනවා. Mega Live Events ආයතනයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා චිත්‍රපටය නිකුත් කරන අතර කැනඩා සහ ඇමරිකානු ප්‍රදර්ශනය සිදු කරන්නේ Ceylon Entertainment Canada හරහායි.

ශ්‍රී ලංකාව තුළ MPI මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් නිකුත් වන “විසල් ආදරේ” සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Bluesky Productions සහ Midhouse Studios සුසංයෝගයෙනුයි.

එළඹෙන මැයි 03 වනදා සිට රීගල්, KCC, ලයිට් සිනමා ඇතුළු දිවයින පුරා සිනමා ශාලා රැසකදී ඔබට මෙම සිනමාපටය රස විඳිය හැකියි.

Share

35 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.