Kaushi – ලාංකීය නලු නිළියන් රඟන මාලදිවයින් සිනමාපටය

Avatar Kavinu Weerakkody | July 7, 2023 254 Views 0 Likes 5 On 1 Rating

254 Views 5 On 1 Rating Rate it

ඉන්දියානු සිනමා ශිල්පීන් ලාංකේය නිර්මාණවලටත්, ලාංකේය සිනමා ශිල්පීන් ඉන්දියානු නිර්මාණවලටත් සම්බන්ධ වුනු ආකාරය මෑතකාලීන ඉතිහාසයේ කිහිප වතාවකදීම මෙරට රසිකයින්ට දැකගන්නට ලැබුනා. පසුගිය කාල වකවානුවේදී මෙරට වාණිජ සිනමාපට කිහිපයකම ප්‍රධාන භූමිකා හිමිවුනේ ඉන්දියානු නලු නිළියන්ටයි…
භූගෝලීය වශයෙනුත් එකිනෙකට සමීප රටවල් දෙකක් වශයෙන් මෙරට සහ ඉන්දියානු සිනමාව අතරෙ හි තිබෙන්නේ එතරම් ශක්තිමත් සහ සමීප සබැඳියාවක්.

නමුත් ඉන්දියානු සිනමා කර්මාන්තය තරමටම, අප වටා පිහිටි සෙසු රටවල සිනමා ක්ෂේත්‍ර සමඟ ලාංකීය අපගේ එතරම් බැඳියාවක් දක්නට ලැබුනේ නැහැ. විශේෂයෙන්ම මාලදිවයින මුල් කරගෙන බිහිවී තිබෙන දිවෛහි සිනමා කර්මාන්තය ලාංකීය අපට මේ වනතෙක්ම සමීප වී නැහැ.
නමුත් එම නුපුරුදුකම වෙනස් කරමින්, මාලදිවයින් සිනමා කර්මාන්තයත් ලාංකීය අපගේ සිනමා කර්මාන්තයත් එකට යා කළ නවතම චිත්‍රපටයක් තිරගත වීමට දැන් සියලු කටයුතු සූදානමින් තිබෙනවා. මාලදිවයෙන හි ජනප්‍රියම නලුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුගේ මූලිකත්වයෙන් නිර්මාණය වී තිබෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා සියල්ලම පාහේ රඟපාන්නේ ලාංකීය අපට හුරුපුරුදු, මෙරට ජනප්‍රිය නලු නිළියන් පිරිසක් විසිනුයි.

Kaushi යනුවෙන් නම් කොට තිබෙන මෙම විදෙස් සිනමා නිර්මාණය එළඹෙන ජූලි 19 වනදා සිට මාලදිවයින පුරා තිරගත වීමට නියමිතයි. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළත් මෙහි පුළුල් ප්‍රදර්ශනයක් සිදු කරන්නටයි චිත්‍රපටයේ නිෂ්පාදකවරු සැලසුම් කරමින් සිටින්නේ… සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූ මෙය Horror – Thriller ශානරයේ සිනමාපටයක් ද වනවා.

Kaushi චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ අමිල කරුණානායක සමඟින් රංගි රාජපක්ෂයි. නව පරපුරේ නැඟී එන නලුවෙකු වන අමිල කරුණානායකව ලාංකීය රසිකයින්ට කබඩි, ෆේස් ටු ෆේස්, පෝරිසාදයා, මොනාලිසා වැනි සිනමාපට රැසකින්ම මීට පෙර දැකගන්නට හැකිවූවා. ඔහුගේ නවතම සිනමාපටය වූ “ගුත්තිල” මේ වනවිටත් සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා. රංගි රාජපක්ෂත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. Kaushi ඔවුන් දෙදෙනාගේම පළමු විදෙස් චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටය ගෙතෙන්නේ තම පියාගේ මරණයේ සුලමුල සොයා යන කෞෂි නැමැති තරුණිය වටායි. ඇය, සිය බාල සොහොයුරිය වන දිනූ සමඟින් ඔවුන්ගේ පියාගේ අභිරහස් මරණය පිටුපස හඹා යන අතර සියලු දෙනාටම රහසින් පියාගේ මරණයට හේතුව සොයමින් එය විසඳා ගැනීමට උත්සා කරනවා. මෙහිදී ඇයට උපකාර කරන්නේ කෞෂිගේ හිටපු පෙම්වතා වන කෙවින් විසිනුයි.
නමුත් මෙම අභිරහස විසදීමේදී කිසිවෙකුත් නොසිතූ – ගුප්ත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවන අතර එක් නිමේෂයකදී ඔවුන් සියලු දෙනාගේම ජීවිත කණපිට පෙරළෙනවා. Kaushi චිත්‍රපටය දිව යන්නේ සිය පියාගේ මරණයේ සුලුමුල සොයා යන මේ පිරිස මුහුණ දෙන ගුප්ත සිදුවීම් මාලාව වටායි.

Kaushi චිත්‍රපටයේ මාලදිවයිනෙ හි තිරගත කිරීමට නියමිත, දිවෛහි භාෂාමය පිටපතට අදාළ පූර්ව ප්‍රචාරක පටයකුත් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

අමිල නිරූපණය කරන්නේ ‘අභිෂේක්’ නැමැති තරුණයාගේ චරිතයයි. ‘කෞෂි’ නැමැති තරුණියගේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ රංගි රාජපක්ෂයි. ඊට අමතරව ‘දිනූ’ ලෙසින් සකුරා අත්තනායක, ‘රොශාන්’ ලෙසින් ඉසුරු සම්පත් සහ ‘කෙවින්’ ලෙසින් බියන්ක අමරසිංහ සහාය භූමිකාවලට රංගන දායකත්වය ලබා දෙනවා.

Kaushi අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මාලදිවයින් ජාතික, ජනප්‍රිය නලුවෙකු වන Seaxen Ali විසිනුයි. දෙවතාවක්ම එරට ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබෙන ඔහු SAARC සම්මාන උළෙලේදීත් සම්මානයට පාත්‍ර වූ අයෙක්. නලුවෙකුට අමතරව අධ්‍යක්ෂකවරයෙකු, සංස්කරණ ශිල්පියෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් එරට සිනමා ක්ෂේත්‍රයට දායකත්වය ලබා දෙන ඔහු 2000 සිට මේ දක්වා වසර 25කට ආසන්න කාලයක් සක්‍රීයව සිනමාවේ නියැලෙනවා.
විදෙස් නිර්මාණයක් වුවත් මෙහි රූපගත කිරීම් සියල්ලම පාහේ සිදු වුනේ ශ්‍රී ලංකාවේ උඩහමුල්ල ප්‍රදේශය ආශ්‍රිතවයි.

මෙය සිංහල සහ දිවෛහි භාෂා ද්විත්වයෙන්ම තිරගත වන නිසා චිත්‍රපටයේ තිරපිටපත් රචනයටත් දෙදෙනෙකුට භාරදී තිබෙනවා. මාලදිවයින් පිටපත නිෆර් ඊබ්‍රහිම් විසින් සහ සිංහල පිටපත ඉෂාර ධනසේකර විසින් රචනා කරන්නේ ඒ අනුවයි. අධ්‍යක්ෂණයට අමතර Kaushi හි සංස්කරණය සිදු කර තිබෙන්නේ ද Seaxen Aliමයි. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා Shivaaz Abdulla වන අතර සංගීතය Ayyuman Shareefගෙනි. සහාය අධ්‍යක්ෂකවරයා වන්නේ Ishan Iqbalයි.
සහන් දේශප්‍රිය විසින් චිත්‍රපටයේ වේෂ නිරූපණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබෙනවා.

එළඹෙන ජූලි 19 වනදා සිට මාලදිවයින පුරා මෙහි තිරගත වීම් ඇරඹෙන අතර නුදුරු දිනකදීම ලාංකීය රසිකයින්ටත් Kaushi නැරඹීමට අවස්ථාව උදා වනු ඇති..!!!

Share

254 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.