ලාංකික සම්භවයක් සහිත සුබාස්කරන්ගෙන් තවත් දමිළ චිත්‍රපට ද්විත්වයක්

Avatar Kavinu Weerakkody | October 11, 2022 75 Views 0 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

දමිළ සිනමාවෙන්  බිහිවූ ජනප්‍රියම නළුවකු ලෙස හැඳින්වෙන Shivaji Rao Gaekwad නොහොත් Rajinikanth, දශක හයකට අධික කාලයක් ඉන්දීය සිනමා කර්මාන්තයට සක්‍රීයව දායක වෙමින් සිටින රංගන ශිල්පියෙක්. චිත්‍රපට 169කට රංගනයෙන් සම්බන්ධ වී සිටින ඔහු වර්තමාන ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම්ලාභී නළුවන් කිහිප දෙනා අතරට ද එක්ව තිබෙනවා. වසර 30කට අධික කාලයක් දමිළ සිනමාපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කළ නළුවා ලෙසත් ඔහු හැඳින්වෙනවා.

1975 සිට 2000 දශකයේ මුල දක්වාම දිගින් දිගටම චිත්‍රපට රංගනය සඳහා සම්බන්ධ වූ ඔහු 2010න් පමණ පසු වසර කිහිපයක් යනතෙක් එතරම් සක්‍රීයව සිනමාවට එක් වූයේ නැහැ. නමුත් 2016දී Kabali දමිළ සිනමාපටයට රංගන දායක වීමෙන් පසු යළිත් සෑම වසරකම පාහේ රසිකයින්ට සමීප වුනා.  ඔහු රඟපෑ Kaala, 2.0, Petta, Darbar, Annaatthe ආදී සිනමාපට සියල්ලම  බොක්ස් ඔෆිස් ආදායමින් ද සාර්ථකත්වයට පත්වුනා.

2018 වසරේදී ඔහු රඟපෑ 2.0 චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය පමණක් ඉන්දියානු කෝටි 450කට අධිකයි. නමුත් රැජිනිකාන්ත් වටා සිටින ප්‍රේක්ෂකාගාරයේ විශාලත්වය නිසාම ඉන්දියානු කෝටි 800කට අධික ආදායමක් රැස් කරගන්නටත් එය සමත් වුනා.

Rajinikanth අවසන් වතාවට රඟපෑ Annaatthe දමිළ චිත්‍රපටය 2021 වසරේදී නිකුත් වුනු අතර එයින් පසුව ඔහු රඟන Jailer නැමැති දමිළ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට සිදුවනවා. ඉන් පසුව රැජිනිකාන්ත්ගේ නවතම සිනමා නිර්මාණය කුමක් ද යන්න ඔහුගේ රසිකයින්ට ගැටළුවක් වුනා. සාමාන්‍යයෙන් රැජිනිකාන්ත්ගේ චිත්‍රපටයක රූගත කිරීම් අරඹන්නට මාස ගණනකට පෙරදීම ඒ ගැන විවිධ rumors ක්ෂේත්‍රයෙන් ආරංචි වුවත් මෙවර ඒ කිසිවක් සිදු වූයේ නැහැ.

කෙසේ වුවත් Rajinikanthගේ නවතම සිනමා නිර්මාණය ගැන යම් තොරතුරක් ප්‍රමුඛ පෙළේ තමිල්නාඩු මාධ්‍ය ගණනාවකින්ම පසුගිය සතියේදී වාර්තා කළ අතර රැජිනිකාන්ත්ට සමීප කිහිප දෙනෙකුත් ඒ බව තහවුරු කර තිබෙනවා. ඔවුන් පවසන පරිදි රැජිනිකාන්ත් සම්බන්ධ වීමට නියමිතව තිබෙන්නේ Lyca Productions ආයතනයේ සිනමා නිර්මාණයකටයි.
‍විශේෂත්වය වන්නේ Lyca ආයතනය සහ Rajinikanth එකතුවෙන් නව චිත්‍රපට ද්විත්වයක්ම මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට නියමිතව තිබීමයි. මේ වනවිට ඒ සඳහා රැජිනිකාන්ත් පාර්ශවයෙන් ද එකඟතාවය පළ කොට තිබෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ව්‍යාපාරිකයෙකු වන Subaskaran Allirajah හිමිකාරීත්වය දරන Lyca Productions ආයතනය දමිළ සිනමාවේ තිබෙන දැවැන්තම සිනමා නිෂ්පාදන ආයතනයක්. මෙය ඔවුන් හා රැජිනිකාන්ත්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වන පළමු සිනමාපටය නොවන අතර මින් පෙර Rajinikanthගේ චිත්‍රපට දෙකකම නිෂ්පාදන පිරිවැය දැරූයේ ඔවුන් විසිනුයි. මෙතෙක් ඉන්දියානු ඉතිහාසයේ දෙවන වැඩිම නිෂ්පාදන පිරිවැය වැයවූ 2.0 (2018) සිනමාපටය ඉන් පළමුවැන්නයි. එය නිෂ්පාදනය සඳහා Lyca ආයතනයට කෝටි 500කට අධික මුදලක් වැය වුනා. ඉන්පසුව 2020 වසරේදී Darbar සිනමාපටය සඳහා ඔවුන් යළිත් එක් වූ අතර ඊට වැයවූ පිරිවැය ඉන්දියානු කෝටි 250කට ආසන්නයි.

නමුත් ලෝ පුරා විසිරී සිටින රැජිනිකාන්ත්ගේ දැවැන්ත ප්‍රේක්ෂකාගාරය නිසාම, අධික මුදලක් වැය වූ මෙම චිත්‍රපට ද්විත්වයෙන්ම ලාබ ලබන්නට Lyca Prodcutions ආයතනයට හැකියාව ලැබුනා. 2.0 සිනමාපටයේ කෝටි 800 ආදායම් වාර්තාව බිඳ හෙලන්නට කිසිදු දමිළ සිනමාපටයකට තවමත් හැකි වී නැහැ. මෙම නව චිත්‍රපට ද්විත්වයේ රංගනය වෙනුවෙන් කෝටි 200කට ආසන්න මුදලක් Rajinikanthට ගෙවීමටත් ලයිකා ආයතනය සූදානමින් සිටින බවයි පැවසෙන්නේ.

රැජිනිකාන්ත් වසරකට රඟපාන චිත්‍රපට ප්‍රමාණය ඉතා සීමිත වීමත්, ඔහු සෑමවිටම පාහේ අත්දැකීම් බහුල සිනමාකරුවන්ට වැඩි අවස්ථා ලබා දීමත් නිසා නවක අධ්‍යක්ෂකවරුන්ට රැජිනිකාන්ත් වැනි ප්‍රවීණයෙක්ව අධ්‍යක්ෂණය කිරීමට ලැබෙන්නේ කලාතුරකින්.
නමුත් Lyca ආයතනයේ මෙම චිත්‍රපට යුගලෙන් එක් නිර්මාණයක් අධ්‍යක්ෂණ කිරීමට ගිවිසුම්ගතව තිබෙන්නේ නවක අධ්‍යක්ෂක Cibi Chakravarthyයි.

මෙම වසර මුලදී නිකුත් වූ Don (2022) දමිළ සිනමාපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි Cibi Chakravarthy තම පළමු සිනමාපටයෙන්ම ඉන්දියානු කෝටි 100කට අධික ආදායමක් රැස් කරගන්නට සමත් වුනා. ඔහුට පෙර කිසිදු දමිළ අධ්‍යක්ෂකවරයෙකුට තම පළමු සිනමාපටයෙන්ම ඉන්දියානු කෝටි 100 ආදායම් වාර්තාව පසු කරන්නට හැකිවී නැහැ. එය ද Lyca Productions විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක්.

කෙසේ නමුත් ඔහු, රඟපෑමට නියමිත දෙවන චිත්‍රපටය ගැන කිසිදු විස්තරයක් මෙතෙක් පළ වී නැහැ. Kannum Kannum Kollaiyadithal හි අධ්‍යක්ෂකවරයා වන Designu Periyasamy එම නිර්මාණය බාර ගෙන ඇති බවට විවිධ ගොසිප් අඩවි තුළ සඳහන් වුවත් එහි සත්‍යතාවය මෙතෙක් අණාවරණය වී නැහැ.  කෙසේ වුවත්, Lyca Productions විසින් මෙම නිර්මාණ ද්විත්වයේ පළමු නිළ නිවේදනය 2022 වසර අග භාගයේදී දැනුම් දීමට සැරසෙන බව සැලයි.

Share

75 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.