Oppenheimer (2023) | Movie Review

Avatar Kavinu Weerakkody | July 25, 2023 205 Views 0 Likes 0 Ratings

205 Views 0 Ratings Rate it

සටහන : මහේල හෙට්ටිආරච්චි

ඔපන්හයිමර් නරඹා සිනමා ශාලාවෙන් එලියට පැමිණියේ මීට සුලු මොහොතකට පෙරය. මීට පෙර මා නැරඹූ නෝලන්ගේ ටෙනෙට් චිත්‍රපටය නරඹා සිනමාශාලාවෙන් එලියට පැමිණි මා කිසිවක් තේරුම් ගත නොහැකි වීම නිසා, සිහි විකල් ගතියක සිරවී සිටියා මට මතකය.

අද දින, මුල සිට අග දක්වා චිත්‍රපටය තුල සිදුවූ සියල්ල වටහාගන්නට සමත් වූ මා, ඒ වටහාගත් සත්‍යය හේතුකොට ගෙන විකල් වූ සිහියක් ඇත්තෙක් බවට පත්ව සිටියි. සිනමාපටය විසින් මා ඇද දමා ඇති වටාපිටාව විස්තර කිරිමට වෙනත් වචන නොමැත. තමා විසින් නිර්මාණය කල නිපැයුමකින් ලක්ශ ගණනක් වූ ජනතාව මිය ගිය බව තේරුම් ගත් විද්‍යාඥයෙකුට වඩා, තමා කල කාර්යය අතීතය වර්තමානය අනාගතය යන ත්‍රෛකාලය තුලම මිනිස් වර්ගයාගේ දුගතියටම භාවිතා වනු ඇති බව අවබෝධ කරගත් මිනිසෙකුට දැනෙනා අභ්‍යන්තර වේදනාව තේරුම් ගතිමි.

නිකොලා ටෙස්ලා සහ තෝමස් එඩිසන්ගේ එදිරිවාදීකම් පසුබිම් කරගත් The Prestige සහ, යුධ සිනමා කාව්‍යය Dunkirk යන අර්ධ සත්‍ය සිදුවීම් සහ චරිත පදනම් කරගත් සිනමාපට වලින් පසුව එන, “ඔපන්හයිමර්” නෝලන්ගේ සිනමා දිවියේ, සම්පූර්ණ වශයෙන් සත්‍ය සිදුවීම් සහ පුද්ගලයන් මත පදනම් වූ පළමු (දැනට එකම) චිත්‍රපටය ලෙස සැලකිය හැකිය. ඒ අනුව ක්‍රිස්ටෝපර් නෝලන්, පූර්ණ චරිතාපදානයක් කෙසේ අධ්‍යක්ශණය කරයිද යන පැනයට පිළිතුරු, ප්‍රේක්ශක රසික පාර්ශවයන්ට ලැබෙන්නේ අධ්‍යක්ශකවරයාගේ 12 වැනි සිනමාපටය ලෙසය.

චිත්‍රපටය පැය තුනකට ආසන්න කාලයක් ඇදෙන්නේ කිසිඳු විඩාවක් ඇසට හෝ හිතට ලබා නොදෙමිනි. සැවොම දන්නා කතාවක් වුවද, සිය ඉදිරිපත් කිරීම තුල දිගින් දිගටම කුතුහලය ආරක්ශා කර ගැනීමට නෝලන් සමත් වෙයි. නොලන් කතාව ඉදිරිපත් කරද්දී තමන්ට ඉතා පුරුදු, Non Linear කතා කීමේ ආකෘතිය, කිසිම අයුරකින් අනවශ්‍ය සංකීර්ණත්වයක් නිර්මාණය නොකර භාවිතා කරයි.

රොබර්ට් ජේ. ඔපන්හයිමර් යනු න්‍යශ්ඨික බෝම්බයෙහි පියා ලෙස විරුදාවලිය ලත් විද්‍යාඥයාය. ඔපන්හයිමර්ගේ ජීවිතය නැග්මවල් වලින් ද බැස්මවල් වලින් ද බහුලය. උගත් කම ද, මාන්නය ද, අභිමානය ද, තරුණ කාලයේ සිදු කල නොහොබිනා කම් ද, දේශාභිමානය ද, කොමියුනිස්ට්වාදය ද, මනුශ්‍යත්වය ද, ප්‍රේමය ද, රාගය ද, බිඳ වැටීම් ද, වෛරය ද, උපේක්ශාව ද, වැනි එකිනෙකට පරස්පර හැඟීම් සමුදායක සිර වී සිටි ඔපන්හයිමර්ගේ ජීවිතය, කෘතියකට නැගී ඇත්තේ “American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer” ලෙසය. එය Kai Bird සහ Martin J. Sherwin යන රචකයන් අතින් ලියැවුණකි. නෝලන් සිය සිනමාපටයට පදනම් කරගන්නේ මේ කෘතියයි.

ග්‍රීක දේවකතාවලට අනුව, මිනිසාට ගින්දර ලබාදෙන්නේ ප්‍රොමිතියස්ය. එහෙත් ඔහු ගින්දර ලබාදීමේ වරද වෙනුවෙන් සියුස්ගෙන් දඬුවම් ලබයි. ඔපන්හයිමර් නොහොත් අමෙරිකානු ප්‍රොමිතියස්ගේ කතාව ද මෙයම නොවුනත් මීට සමාන එකකි.

න්‍යශ්ඨික බෝම්බය නිපදවීම සිදුවන්නේ ඔපන්හයිමර්ගේ මූලිකත්වයෙනි. දෙවැනි ලෝක යුද්ධයෙහි උච්චම අවස්ථාවෙහි, ජර්මනිය විසින් න්‍යශ්ඨික බෝම්බයක් නිපදවමින් සිටින බව සැල වන පසුබිමක, අමෙරිකාව ද න්‍යශ්ඨික බෝම්බයක් නිපදවීම අරඹයි. “මෑන්හැටන් ව්‍යාපෘතිය” ලෙස නම් වන මෙම ව්‍යාපෘතියෙහි මූලිකත්වය ලැබෙන්නේ රොබර්ට් ජේ ඔපන්හයිමර් හටයි.

රොබර්ට්, ඒ වන විට වෛවාහක එක්දරු පියෙකි. ඔහු කාන්තාවන් කෙරෙහි දක්වන ඇල්ම සහ ඔහුගේ අනියම් සබඳතා ගැන ද සිනමාටය තුල සාකච්ඡාවට ලක් වෙයි. බිරිඳ, අනියම් පෙම්වතිය, දරුවන්, සහ සහෝදරයා, සමග ඔහුගේ සබඳතා මීට වඩා ගැඹුරකින් විස්තර කිරීමට තිබූ බව හැඟුණ ද, නෝලන්ගේ අරමුණ සිනමාපටය තුල ඔහුගේ පෞද්ගලික ජීවිතයට වඩා විද්‍යාත්මක කාර්යභාරයට සහ එම ජීවිතයේ කඩාවැටීමට මුල් තැන දීම බව පෙනේ.

බෝම්බය නිපදවීමෙන් පසු ජපානයේ හිරෝශිමාව සහ නාගසාකි වලට ප්‍රහාර එල්ල වෙයි. මේ බෝම්බ ප්‍රහාරවලින් සෘජුව මරණයට පත් වූ පිරිස එක්ලක්ශ පනස් දහසක් වන බව අද වන විට ගණන් බලා තිබේ. ඔපන්හයිමර් තමා කල ක්‍රියාව සම්බන්ධව “වරදකාරී හැඟීමක්” පවරා ගන්නේ මින් අනතුරුවය. එහෙත් තමා දායකත්වය ලබා දුන් ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට හෝ කණගාටුවීමට ද ඔහුගේ කැමැත්තක් නැත.

මේ චෛතසිකයන් ද්විත්වය ගැටීම ආරම්භ වේ.

1949 දී රුසියාව විසින් සිය පළමු න්‍යශ්ඨීක බෝම්බය අත්හදා බැලීමෙන් පසු, ඊට එහා ගිය බලපෑමක් කල හැකි හයිඩ්‍රජන් බෝම්බයක් නිපදවීමට අමෙරිකාවට අවශ්‍ය වෙයි. එය “සුපර් බෝම්බ්” ලෙස නම් වෙයි. මෙම නිපදවීමට විරුද්ධ වන්නේ කවුරුන්ද, ඒ අය අතර ඉදිරියෙන්ම සිටින්නේ රොබර්ට් ජේ. ඔපන්හයිමර් ය.

මෙතැන් පටන් අමෙරිකාව, රජය, පාලක පැලැන්තිය ඔපන්හයිමර් පසුපස එයි. ඔහුගේ කීර්තිය විනාශ කිරීමට, ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බවට සැක කිරීමට, ඔහු කොමියුනිස්ට්වාදියෙකු වීම ප්‍රශ්න කිරීමට, ඔවුන් පෙළඹෙයි. ඔපන්හයිමර් ඔසවා තැබූ, ඔහුව සියවසේ මිනිසා ලෙස නම් කල අමෙරිකාව විසින්ම ඔහුව ද්‍රෝහියෙකු කිරීමට සැරසෙයි.

ක්‍රිස්ටෝපර් නොලන්, ඔපන්හයිමර්ගේ ජීවිතයේ ආරම්භය, නැගී සිටීම සහ කඩාවැටීම යන ත්‍රිවිධ අවස්ථා මනාව නිරූපණයට සමත් වෙයි. මේ සෑම අවස්ථාවක්ම ඔපන්හයිමර් දකින්නේ යම් සේ ද, ප්‍රේක්ශකයා ද මෙම අවස්ථා එසේ දැකිය යුතු බව නෝලන් සිතනා බව පෙනේ. “ත්‍රිත්ව පරීක්ශණය” අවස්ථාවේ දිලිසෙනා ඇස් සහ අයාගත් මුව සහිතව ඒ දෙස බලාගෙන සිටි අප හට, ජපානයේ මිනිසුන් ලක්ශ ගණනක් මිය ගිය බව සිහිවන විට වේදනාවක් දැනේ.

අපි සමරන්නේ මරණය ද, ජයහ්‍රහණය ද යන දෙගිඩියාවෙන් ප්‍රේක්ශක සිත් පිරීයයි. එය, අපට මෙසේ නම් ඔපන්හයිමර් හට කෙසේ දැනෙන්නට ඇත්ද..?

නෝලන් මේ කතාව ඉදිරිපත් කරනා ආකාරය ප්‍රශංසනීයය. විවිධ කාල රේඛා අතර හුවමාරු වෙමින්, විවිධ තැන් වලින් සුදුසුම ලෙස කතාව අහුලා, ප්‍රේක්ශකයාට ඉදිරිපත් කෙරෙයි. හොයිටේ වැන් හොයිටේගේ කැමරා අධ්‍යක්ශණය මේ සෑම සියලු දර්ශනයක දී ම කැපී පෙනෙයි. බොහෝ අවස්ථාවල චරිත වල සැබෑ ස්වභාවය සහ අරගලය ඉස්මතු කිරීමට සමීප දර්ශන භාවිතා කර තිබීම හරහා චිත්‍රපටය තුල අමුතු ගුප්ත ගූඪ භවක් සැඟවී තිබේ.

මැට් ඩේමන්, එමිලි බ්ලන්ට්, ෆ්ලෝරන්ස් පියු, තම සහය චරිත වලට අතිශය සාධාරණයක් ඉශ්ට කරයි. රොබර්ට් ඩවුනි ජූනියර්ගේ රංගනය බොහෝ විට ඇකඩමි සම්මාන උළෙලෙහි හොඳම සහය චරිතයට නිර්දේශ වනු ඇත. කිලියන් මර්ෆි තම සිනමා දිවියේ හොඳම රංගනය ඔපන්හයිමර් වෙත ලබා දෙයි. කිලියන්, මේ චරිතයේ සීමාවන් හොඳින් හඳුනාගෙන ඇති බව පෙනේ. චිත්‍රපටය තුල ඔපන්හයිමර්ගේ සතුට, තරහ, වේදනාව යන අන්තයන්ට නොයන කිලියන්, තම චරිතය සෑමවිටකම උපේක්ශා සහගත තැනක ස්ථාපනය කරගනියි. ඔපන්හයිමර්ගේ බිඳුණු හඬට ද කිලියන් සිය රංගනය තුල අතිශය සාධාරණයක් ඉශ්ට කරයි.

Ludwig Göransson ගේ සංගීතය සෑම තැනකම පාහේ අසන්නට ලැබේ. සමහර තැන් වල දී එය හිසරදයක් වන අතර, සමහර තැන් වල එකී දර්ශනය තීව්‍ර කර ග්‍රහණය කරගන්නට සංගීතය සහයෝගය සපයයි. සුවිශේශයෙන්ම, ත්‍රිත්ව පරීක්ශණය තුල සංගීතය උච්ච ස්ථානය කරා ගොස් නිහඬතාවයට මග පාදයි. එම නිහඬතාවය තුල වායු සමීකරණ හඬ පවා ඇසෙනා තරමට සිනමා ශාලාවම නිහඬ වෙයි. නිහඬ බව මේ වචනයෙන් විස්තර කල නොහැකි මොහොතට සුදුසුම සංගීතය බවට පත්වෙයි.

“ඔපන්හයිමර්” විටෙක Horror ශානරයට අයත් චිත්‍රපටයක් වෙයි. තවත් විටෙක Court Room Drama ශානරය වෙතට ගමන් කරයි. තවත් විටෙක එය අගතා ක්‍රිස්ටිගේ රහස් පරීක්ශක නවකතා ශෛලියට එබී බලයි. බොහෝ සාකච්ඡා බහුල වුව ද, ඒ එකදු මොහොතක් හෝ ප්‍රේක්ශකයා හට නීරස නොවීමට නෝලන් වග බලා ගනියි. විවිධ සාකච්ඡා අතරින් එකවර පෙන්වනු ලබන රසායනික ප්‍රතික්‍රියාවන්, දීර්ඝ සාකච්ඡාවන් වල දී පවා ප්‍රේක්ශකයා අවදියෙන් තබයි.

ඔපන්හයිමර් චිත්‍රපටය තුල වර්ණ සහ කලුසුදු ලෙස වර්ග දෙකකට අයත් දර්ශන දක්නට ලැබේ. එහි එසේ වීමට හේතුව නෝලන් විසින් සම්මුඛ සාකච්ඡා කිහිපයකදී පැහැදිලි කර තිබුණ ද එහි බලපෑම එතරම්ම පැහැදිලි නැත. නොදැනෙන සුලුය. IMAX අත්දැකීමද එතරම් සුවිශේෂ එකක් නොවන බව ප්‍රතිචාර කීපයකින්ම දැක ගැනීමට ලැබුණි.

කෙසේ වෙතත්, නෝලන්ගෙ සිනමා දිවිය තුල වඩා සුවිශේෂ තැනක ඔපන්හයිමර් සිට ගනු ඇත. සමහරවිට එය නොලන් රසිකයන් බලාපොරොත්තු වූ අන්දමේ, Mind Blowing ගණයේ අත්දැකීමක් ලබා දෙන, Larger Than Life දර්ශන සහිත සිනමාපටයක් නොවිය හැකිය. එහෙත් එය මානව වර්ගයා විසින් කිසිදා අමතක නොකල යුතු, මානව වර්ගයා හට කිසිදා අමතක කල නොහැකි, උසස් මිනිසෙකු ගැන නිර්මාණය වුණු වඩා උසස් චරිතාපදන සිනමාපටයක් ලෙස අවිවාදයෙන්ම සිනමා ඉතිහාසයට එක්වනු ඇත.

සටහන : මහේල හෙට්ටිආරච්චි

Share

205 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.