Vidaamuyarchi රූගත කිරීම් අවසන්; ඊළඟ චිත්‍රපටය ආදික් රවිචන්ද්‍රන් සමඟින්

Avatar Kavinu Weerakkody | February 2, 2024 53 Views 1 Like 4 On 1 Rating

53 Views 4 On 1 Rating Rate it

ජනප්‍රිය තමිල්නාඩු නලු විශාල්ගේ වසර ගණනක් පුරාවට රඟපෑ, අසාර්ථක චිත්‍රපට රැසකට පසුව ධනාත්මක – ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ සාර්ථක – බොක්ස්ඔෆිස් ආදායමක් ලබා ගැනීම සමත් වුනු, එකම සිනමාපටය තමයි පසුගිය මාසයේදී තිරගත වුනු Mark Antony දමිළ චිත්‍රපටය.
ඉන්දියානු කෝටි 100කටත් එහා ආදායමක් වාර්තා කළ Mark Antony සිනමාපටය, විශාල්ගේ සිනමා ජීවිතයේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය ද වනවා.

එමෙන්ම දිගින් දිගටම ඔහුගේ චිත්‍රපටවලින් දැඩි මූල්‍යමය පාඩුවක් ලැබීම නිසා, දකුනු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ගෙන් ඔහුව ප්‍රතික්ෂේප වෙමින් සිටි පසුබිමකදී, නැවතත් විශාල්ව ක්ෂේත්‍රයේ අවධානයට ලක් වන්නටත් සමත් වුනේ මෙම Mark Antony චිත්‍රපටයයි.
එම නිසා මෙම නිර්මාණය, විශාලගේ රංගන ජීවිතයේ come-back නිර්මාණය ලෙසින් හැඳින්වූවත් වරදක් නැහැ.

Mark Antony සිනමාපටය ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබා ගැනීමට සමගාමීව, එහි අධ්‍යක්ෂකවරයා වන Aadhik Ravichandran ගැනත් රසිකයින්ගේ අවධානය යොමුවුනා. විශේෂයෙන්ම කාලය හරහා ගමන් කිරීම වැනි කතා තේමාවක් වාණිජ සිනමාවට ගැළපෙන පරිදි සකස් කර ගැනීමත්, මුල සිට අග දක්වාම බොහොම විනෝදයෙන් නැරඹීමට හැකිවන පරිදි engaging තිර පිටපතක් නිර්මාණය කර තිබීම ගැනත් බොහෝ ප්‍රේක්ෂකයින් විසින් Mark Antony චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට ප්‍රශංසා කළා.
දමිළ නලු විශාල්ටත් වඩා මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට මුල්වුනු ප්‍රධානම කාරණය එහි අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවය බවයි ඔවුන් අදහස වුනේ…

Mark Antony සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Aadhik Ravichandran සිනමාවට පැමිණෙන්නේ 2015 වසරේදී “Trisha Illana Nayanthara” චිත්‍රපටය නිර්මාණය කරමින්. ඉන්පසුව 2017 වසරේදී තිරග වුනු “Anbanavan Asaradhavan Adangadhavan” සිනමාපටය ඔහුගේ දෙවන අධ්‍යක්ෂණයයි. ආදික්ගේ තුන්වන චිත්‍රපටය, “Bagheera” තිරගත වුනේ පසුගිය වසරේදී ප්‍රභූ දේවාගේ ප්‍රධාන රංගනයෙන්.
නමුත් ඔහුගේ මෙම දෙවන සහ තුන්වන චිත්‍රපට දෙකම අසාර්ථකත්වයට පත් වුනු අතර රසිකයින්ගෙන් ලැබුනේත් එතරම් හොඳ ප්‍රතිචාර නම් නොවෙයි.

කෙසේ වුවත් අසාර්ථක නිර්මාණ ද්විත්වයකට පසුව Mark Antony හරහා නැවතත් සාර්ථකත්වයේ මඟට පිවිසීමට ආදික් රවිචන්ද්‍රන් සමත් වුනා.

Mark Antony සිනමා නිර්මාණයට පසුව ආදික් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම දමිළ සිනමාපටය ගැන මේ දිනවල තමිල්නාඩු සිනමා ක්ෂේත්‍රයෙන් විවිධ ආරංචි පළවනවා. විශාල්ගේ චිත්‍රපටයෙන් පසුව ඔහු දමිළ නලු ගෞතම් කාර්තික් සමඟින් සිනමාපටයක් නිෂ්පාදනය කරන්නට සූදානම් වන බව මුලදී පැවසුවත්, දැන් වාර්තා වන පරිදි එම චිත්‍රපටය මදක් කල් දමා වෙනත් නිර්මාණයක වැඩ කටයුතු ආරම්භ කරන්නටයි ආදික් සූදානම් වන්නේ…

එමෙන්ම, ඒ නව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ තමිල්නාඩුවේ දෙවන හෝ තෙවන පෙළ සාමාන්‍ය රංගන ශිල්පියෙකු නොව; වර්තමාන දමිළ සිනමාවේ සිටින ජනප්‍රියම නලුවන් තිදෙනාගෙන් අයෙකු වන අජිත් කුමාර් (Ajith Kumar) විසිනුයි.

අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසින් Aadhik Ravichandranව තෝරාගෙන තිබෙන බවට මේ දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර චිත්‍රපටයේ තිර පිටපතෙ හි වැඩ කටයුතුත් දැන් ආරම්භ කොට තිබෙනවා.

ආදික් සහ අජිත් කුමාර් අතර හමුවක් පැවැත්වුනු පසුගිය දිනෙක ආදික් විසින් ඔහුට චිත්‍රපටයේ කතා තේමාව ගැන දළ අදහසක් පවසා තිබෙන අතර ඊට අජිත් කුමාර් පාර්ශවයෙන් එකඟතාවයත් ලැබී තිබෙනවා. Aadhik Ravichandran මෙහි තිර පිටපත රචනය ආරම්භ කර තිබෙන්නේ ඉන් පසුවයි.
ආදික්ගේ පෙර චිත්‍රපටය Mark Antony සේම මෙම නිර්මාණයක් gangster – action ශානරයේ චිත්‍රපටයක් වීමට ඉඩකඩ තිබෙනවා.
ලෝ පුරා රසික ප්‍රේක්ෂකාගාරයක් සිටින අජිත් කුමාර් වැනි නලුවෙකුගෙන් ඔහුගේ රසිකයින් පවා නිතරම බලාපොරොත්තු වන්නේ සටන් දර්ශ පිරුනු – හොඳ ක්‍රියාදාම සිනමාපට නිසා රසිකයින්ගේ බලාපොරොත්තු කඩ නොකරමින්, අජිත් කුමාර්ගේ තරු ගුණයටත් බලපෑමක් නොවන පරිදි නැවුම් කතා තේමාවක් ඔස්සේ ගොඩ නැඟුනු හොඳ Action thriller ගණයේ නිර්මාණයක් ආදික් විසින් නිර්මාණය කරනු ඇතියි.

ඊටත් වඩා අධ්‍යක්ෂක ආදික් රවිචන්ද්‍රන් මුලු ක්ෂේත්‍රය පුරාම ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අජිත් කුමාර්ගේ විශාල රසිකයෙකු ලෙසින් නිසා සිය ප්‍රියතම නලුවාගේ චිත්‍රපටයක් උපරිම ගුණාත්මක තත්වයෙන් නිර්මාණය කරන්නට ඔහු පැකිලෙන්නේ නැහැ.
Aadhik Ravichandranගේ Mark Antony සිනමාපටය සහ ඔහු අධ්‍යක්ෂණය කළ පෙර සිනමාපට පුරාම දමිළ නලු අජිත් කුමාර්ට සමීප references රැසක් දක්නට ලැබෙනවා.

අජිත් කුමාර් මේ දිනවල ඔහුගේ නවතම සිනමාපටය වන, Vidaamuyarchi හි රූගත කිරීම්වලට සම්බන්ධ වී සිටිනවා. මාසයකට ආසන්න කාලයක් එහි පළමු රූගත කිරීම් කොටස අසරබයිජාන් රාජ්‍යයේ සිදු කළ අතර මේ වනවිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව ඉතිරි රූපගත කිරීම් සිදුවෙමින් පවතිනවා.
Vidaamuyarchi ආරම්භ වුනේ අජිත් කුමාර්ගේ අවසාන චිත්‍රපටය වුනු Thunivu චිත්‍රපටය තිරගත වී වසරකටත් ආසන්න කාලයක් ගත වූ පසුවයි. පසුගිය කාලය පුරාවටම ඔහු සිය වාර්ෂික මෝටර් සයිකල් සංචාරයේ යෙදෙමින් ලෝකය පුරාම ගමන් කළ අතර මාස ගණනක් පුරාවට සිදු කෙරුනු එම සංචාරයෙන් පසුවයි සැප්තැම්බර් මාසයේ සිට Vidaamuyarchi සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ වුනේ…

Vidaamuyarchi අධ්‍යක්ෂණය කරන්නේ Thadam – Kalaga Thalaivan වැනි පෙරළිකාර චිත්‍රපට නිර්මාණය කළ Magizh Thirumeni විසිනුයි. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා සුරූපි දමිළ නිලි ත්‍රිෂා ක්‍රිෂ්නන් සම්බන්ධ වනවා. ලයිකා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනයෙන් එක්වන මෙම සිනමාපටය මුලදී අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබුනේ විග්නේශ් ශිවන් නැමැති දමිළ අධ්‍යක්ෂකවරයා විසිනුයි. නමුත් විවිධ මත ගැටුම් හේතුවෙන් අවසානයේදී ඔහු චිත්‍රපටයෙන් ඉවත්ව ගිය අතර Magizh Thirumeni විසින් අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට ගිවිසුම්ගත වුනා.

අජිත් කුමාර් – ත්‍රිෂා සුසංයෝගය මීට වසර ගණනාවකට පෙරත් විවිධ සිනමාපට කිහිපයකින්ම ප්‍රේක්ෂකයින්ට සමීප වුනු අතර Yennai Arindhal, Ji, Mankatha වැනි එම නිර්මාණ එකල රසිකයින් අතරෙ හි විශාල ජනප්‍රියත්වයකුත් ලබා ගත්තා. ඒ නිසාම වසර ගණනාවකට පසුව ඔවුන් දෙදෙනාව නැවතත් එකම තිරයකින් නරඹන්නට දමිළ සිනමා රසිකයින් බොහොම උනන්දුවකින් පසුවනවා.

ජනප්‍රිය හින්දි නලු සංජේ දත් සමඟින් අරුන් විජේ සහ අර්ජුන් දාස් යන තමිල්නාඩු නලුවන් දෙදෙනාත් Magizh Thirumeniගේ Vidaamuyarchi සිනමාපටයේ රංගනයේ දැකගත හැකි බවට විවිධ වාර්තා පළවුනත් ඒ බව තවමත් නිල වශයෙන් තහවුරු ව නැහැ.
Vidaamuyarchi හි රූපගත කිරීම් අවසන් වූ පසුව මෙම වසර අග භාගයේදී Aadhik Ravichandran අධ්‍යක්ෂණය කරන ඊළඟ චිත්‍රපටය සඳහා අජිත් කුමාර් රංගනයෙන් එක්වනු ඇති..!!!

Share

53 Views 4 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.