ඉවසීම මේ මොහොතේ ඉතාම වැදගත් – දුලීකා මාරපන
රටතුළ උද්ගතව ඇති තත්වය සමනය වනතෙක් ජනතාව වශයෙන් ඉවසීමෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන පවසනවා. cinema.lk වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවා.
“මේ වෙලාවේ ඉවසීම ඉතාම වැදගත්. ඉවසීමෙන් සහ එකමුතුව රටක් විදිහට නැගී සිටියොත් පමණයි අපට මේ ව්‍යසනයෙන් ගැලවෙන්න හැකිවෙන්නේ. එහෙම නැතුව කලබල වෙලා හදිසි තීරණ ගත්තොත් අපට සිද්ද වෙන්නේ ආපහු අත පුච්චගන්න, හදවතින් වැඩ කරන්න ගියොත් සිද්ද වෙන්නේ විනාශය වැඩි වෙලා රටක් විදිහට අපි තවත් අගාදයකට යන එකයි. අවදානමකට ඉලක්ක වනවාට වඩා ඉවසීමෙන් රටම එකට කණ්ඩායමක් විදිහට වැඩ කලොත් අපට පුළුවන් වේවි මේ ව්‍යසනයෙන් ගැලවෙන්න”
රටක් විදිහට අපි ලජ්ජා විය යුතුයි අපේ දේශපාලකයන් ගැන. මේක ඔවුන් කරපු අනුවණම තකතිරුම වැඩක් බව කිව යුතුමයි. ඔවුන් ජනතාව සහ මුළු රටම අවදානමකට දැම්මා. නමුත් මම ආදරණිය ජනතාවගෙන් ඉල්ලන්න ඕනේ, ඔවුන්ට උත්තර දෙන්න මේක වෙලාව නෙමෙයි. දේශපාලකයා විවේචනය කරමින් කාලය ගත කරන්න ඕන වෙලාවක නෙමේ අපි මේ ඉන්නේ, මේ මොහොතේ අපට හැකි සෑම විදිහකින්ම මහන්සි වෙලා, කැපවෙලා අපි මුලින්ම මේ තත්වය සමථයකට පත් කරගන්න උත්සාහ කරමු. ඊට පස්සේ රටක් විදිහට අපි හැමෝම එකතු වෙලා මේ මජර දේශපාලකයන්ට උත්තර දෙමු, ජනතාවගේ ශක්තිය පෙන්වමු”
මේ මොහොතේ වටපිටාව පිලිබඳ තියුණු අවධානයකින් පසුවීම අතිශය වැදගත් බවත්, ආරක්ෂක අංශ වලට ජනතා සහය ලබාදිය යුත්තේ නිතිය ගරුකරමින් ඔවුන්ගේ උපදෙස් පිලිපැදීමෙන් බවත් ඇය අවධාරණය කළා. හැඟීමෙන් නොව බුද්දියෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඇය, ඉන් පසුව මේ බුද්ධි හීන, සිහිකල්පනාවක් නොමැති, බෙලහීන දේශපාලකයින්ට පිළිතුරු දීමට සැවොම එක්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Written by Nisanka Weheraduwa

